ඉවසන්න බැරි කොළඹ පීඩනය ගිනි කන්දක් වගේ පිපිරෙන්න ළඟයි

0
227

සහල් ග්‍රෑම් 500ක් හා පොල්තෙල් කාලක කුඩා බෝතලයක් අතට ගත් සුසිලා අපට හමුවූයේ ඔරුගොඩවත්තේදීය. “ගෙදර 7 දෙනෙක් ඉන්නවා. පුංචි දරුවෝ තුන් දෙනයි. මේ හාල් ටිකයි, පොල් ටිකයි අරන් යන්නේ ඒ පොඩි එවුන්ට හරි මොනවා හරි හදලා දෙන්න.”

“දැන් මෙහෙම තමයි මහත්තයා අපේ ජීවිත ගෙවෙන්නේ. කුලී වැඩ කරලා ජීවත් වන අපිට දැන් මීට වඩා ලොකු ජීවිතයක් නැහැ ඇය කඳුළු පිරි දෑසින් එසේ කීවේ ලැජ්ජාවකින් තොරවයි.

සුසිලා කළ මේ හෙළිදරව්වත් සමඟ අපි ඔබ රැගෙන යන්නට සූදානම් වන්නේ කොළඹ නගරාශ්‍රිත වතු කිහිපයකටය. ඒ පෙට්රල්, ඩීසල් පමණක් නොව භූමිතෙල් කඳුළක්වත් සොයා ගැනීමට නොහැකිව ජීවත්වන දරු පවුල්වල දුක ඔබට කියන්නටය. එය වගකිව යුතු පාලකයන්ගේ අවධානයට යොමුවනු පිණිසය.

“කොළඹ නගරය ඇතුළේ තියෙන හැම වත්තකම මිනිස්සුන්ගේ ගෙවල් පර්චස් එකකට, දෙකකට වඩා නැහැ. ඉතින් ඒ ගේ ඇතුළේ ගෑස් ළිපක් ඇරෙන්න වෙන කිසිම ළිපක් පාවිච්චි කරන්නත් බැහැ.”

“ඉතින් ගෑස් නැතිව අපි කන්නේ බොන්නේ කොහොමද? මේ බලන්න අපිට මිදුලක් කියලා තැනක් තියෙනවාද? ඒත් නැහැ.”

මෙසේ කීවේ කුඩා දරුවන් තිදෙනකු සිටින මධුරංගය. ඔහු පෙදරේරු රැකියාවෙන් තම දරු පවුල නඩත්තු කළ ස්වාමිපුරුෂයෙකි. දැන් ඔහුට රැකියාව නැත.

“මම මගේ පුංචි ගේ ඇතුළේ දවල්ට උයනවා. ඊට පස්සේ දර ළිප නිවලා ඒක අස්කරලා රෑට එතැනම දරුවෝ එක්ක නිදියනවා. දැන් උයාගෙන කන්න දෙයක් නැති නිසා ණය වෙලා හරි, කාගෙන් හරි ඉල්ලගෙන හරි පුංචි එවුන්ට කන්න දෙනවා. ඒත් ඉස්කෝලේ යවන්න විදිහක් නැහැ.” ඔහු එසේ කීවේ ශෝකී හඬකිනි.”

“මේ සේරම නස්පැත්ති අතරේ ඇමැතිවරු තමන්ට නැති වුණු දේ ගැන කතා කරනවා. බලන්න මහත්තයා අපි ජීවත් වන හැටි!” මධුරංග අසලම සිටි ලිලී කෑ ගසා කීවාය.

රටේ ඇතිවී තිබෙන තෙල් හා ගෑස් අර්බුදයට නිසි විසඳුමක් ලැබෙනතුරු මේ වතුවල ජීවත්වන මිනිසුන්ගේ ජීවිත කිසිදු ලෙසකින් දීප්තිමත් වන්නේ නැත. ඒ තරමටම ඔවුන්ගේ ජීවිත ජරා ජීර්ණ වී විනාශ මුඛයට ඇද වැටී ඇත.

“මේ වතුවල ජීවත් වන හැම කෙනෙක්ම වගේ ජීවත් වන්නේ කුලී වැඩ කරලා. ඒ වගේම ත්‍රීවීලර් එකක් එළවලා. දැන් බලන්න මේ ත්‍රීවීලර් එක මම හයර් එකට අරන් දුවන්නේ දවසට රුපියල් 500 ගෙවන පොරොන්දුව පිට. දැන් පෙට්රල් නැති නිසා ඒක දුවන්න බැහැ. දැන් මම ඔය පොඩි පොඩි කුලී වැඩවලට ගිහින් ලැබෙන සොච්චමෙන් තමයි දරුවෝ හතරදෙනාට කන්න දෙන්නේ.”

“ඒ අය අහනවා ඇයි ඉස්සර වගේ අපිට කන්න දෙන්නේ නැත්තේ කියලා. මොනවාද මම පුංචි එවුන්ට කියන්නේ? කොහොමද මේ තත්ත්වය පහදලා දෙන්නේ?” එසේ කීවේ ඛෙත්තාරාම ප්‍රදේශයේ වත්තක ජීවත් වන නසාර්ය.

නසාර්ගේ බිරිය බසිලියාය. ඇය තම දරුවන්ට කුමක් හෝ ලැබෙන දෙයක් රත්කර කන්න දෙන්නේ පුංචි නිවෙසේ උඩු මහලේ කොන්ක්‍රීට් පොළොවේ සකසා ගත් දර ළිපකය.

“උයන වෙලාවට මුළු ගේම දුමින් පිරෙනවා. ඉන්න බැහැ. ඉතින් ඒ වෙලාවට හැමෝම එළියට එනවා. වෙන මොනවා කරන්නද?” ඇය කීවේ නෝක්කාඩු විලාසයෙනි.

දුගී දුප්පත්කමින් පිරුණු මේ දරු පවුල්වල බොහෝ අය දැන් දවස ගෙවන්නේ පෝලිම්වලය. එකෙකු භූමිතෙල් පෝලිමේය. තවකෙකු පෙට්රල් පෝලිමේය. තවත් කෙනකු සිටී නම් ඔහු හෝ ඇය දැන් එනවා යැයි ආරංචියට ගෑස් පෝලිමේය.

“අද උදේ භූමිතෙල් තියෙනවා කියන ආරංචියට අපේ කට්ටියක් කෝච්චියේ නැඟලා මීරිගමට ගියා. ඔන්න දැන් ඒ අය එහෙ භූමිතෙල් නැහැ කියලා දැනගෙන ආපහු කොළඹ එනවා.

ඊයේ පෙරේදා මේ කට්ටිය භූමිතෙල් තියෙනවා කියන ආරංචියට කඩුවෙලට ගියා. ගියේ පෙට්රල් ගහගෙන ත්‍රීවීලර් එකේ. අන්තිමට භූමිතෙල් නැහැ කියලා හිස් අතින් ආවා. මේවා මෙහෙම වෙද්දී දැනෙන කේන්තිය කොහොම පිට වේවිද කියලා කියන්න බැහැ.” නොරිස්සුම් ස්වරයෙන් එසේ කෑගසා කීවේ ජයන්තිය.

ඒ අතරට ආ ඇල්ලෝරා කීවේ හද පාරවන තවත් කතාවකි.

“හැමදාම රෑට කරන්ට් එක කපනවා. එතකොට ලයිට් නැහැ. දවල්ටත් පැය තුනක් විතර කපනවා. ඒ වෙලාවට ගේ ඇතුළේ ඉන්න බැහැ දහඩිය දානවා. ෆෑන් එකක්වත් දාගෙන ඉන්න බැහැනේ. ඉතින් දැන් අපේ ජීවිත ගෙවන්නේ මිදුලේ. මේ පේනවනේ. රෑට කරන්ට් එක ගියාම ආපහු ලයිට් එනතුරුම අපි ඉන්නේ එළියට වෙලා. ඇයි මෙහෙම කරුම ජීවිතයක්. ඇයි අපේ නායකයෝ අපිට මෙහෙම කළේ? අපිට කන්න නැහැ. බොන්න නැහැ. රස්සාව නැහැ. ඊළඟට යන්තම් හරි මොනවා හරි රත්කර ගන්නේ ගෑස් කුකර් එකෙන් නිසා ලොකු කරන්ට් බිලකුත් එනවා. ඊළඟට වතුර බිල්! සත පහක් හම්බ කර ගන්න බැරිව ඉන්න අපි කොහොමද මේ බිල් ගෙවන්නේ? හෙට අනිද්දා වෙද්දී ගෙදර ලයිට් කපලම දායි! වතුරක් කපයි!” ඇය කෑ ගසා කියද්දී එහි සිටි රසික් කළේ මෙවන් අනතුරු හැඟවීමකි.

“ඔව්… ආපුදෙන්කෝ කපන්න. එතකොට ඉතින් හොඳ හොඳ දේවල් බලා ගන්න පුළුවන්. අපේ හැමදේම නැති කරලා ඒකත් නැති කරනවා නම් මුන්…” රාසික් එසේ කියා පරුෂ වචන වැලක් කියා දැමුවේ හොඳ සිංහලෙනි.

“දැන් පාන් ගෙඩියක් අරගෙන පරිප්පු ටිකක් හදලා දරුවන්ට කන්න දෙන එකත් අපිට හීනයක්. පාන් රාත්තල 180යි. පරිප්පු රුපියල් 500ට වැඩියි. කොහොමද කන්නේ?” ඔහු කේන්තියෙන් කීවේය.

අපි මේ සටහනට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට පා නැඟුවේ ඔරුගොඩවත්ත, ඛෙත්තාරාම, ග්‍රෑන්ඩ්පාස් හා ආමර්වීදිය යන ප්‍රදේශවලටය. මේ ප්‍රදේශ හැරුණු කොට කොටහේන, මට්ටක්කුලිය, මාලිගාවත්ත හා මරදාන ප්‍රදේශවලද ඇත්තේ අති විශාල වතු සංඛ්‍යාවක්. මේ වතුවල ජීවත් වන බොහෝ පිරිසක් එදාවේල සොයා ගන්නේ දවසේ රස්සා කරමිනි.

“ජීවත් වෙන්න ඕන හින්දා තෙල් ටිකක් ගහගෙන ත්‍රීවීලර් එක දුවනවා. ඊයේ මම තෙල් ගන්න ෂෙඩ් එකට ගියේ හිමිදිරියේමයි. අන්තිමට තෙල් ඇවිත් ඒක ගන්නකොට පැය 26 පෝලිමටම කාලේ ගෙවිලා තිබුණා.”

“ෆුල් ටෑන්ක් ගැහැව්වහම රුපියල් 8500ක් වගේ හොයන්න පුළුවන්. ඒකෙන් 2500 විතර තෙල්වලට යනවා. ඉතිරි 6000 තමයි ජීවත් වෙන්න ඉතිරි වෙන්නේ. ඒ හයර් තිබුණොත්. දැන් ඉස්සර වගේ හයර් නැහැ. ඒ නිසාම අතට ලැබෙන ගාන ජීවත් වෙන්නත් මදි. 6000 ලැබුණොත් මොනවා ගන්නද මහත්තයා? හාල්, පොල්, එළවළු ටික ගත්තහම ඉවරයි. දරුවෝ තුන් හතර දෙනා ඉන්න අපි කොහොමද මේ ප්‍රශ්නයට උත්තර හොයන්නේ? ලයිට් බිල්, වතුර බිල් හැම එකක්ම ගෙවලනේ අපිට කන බොන දේවල් ගන්න වෙන්නේ. මොනවාද අපිට නිකම් ලැබෙන්නේ මුකුත්ම නැහැනේ!” එසේ කීවේ ආමර්, වීදියේදී හමුවූ ජූඩ්ය.

නැති බැරිකම් ඉදිරියේ ඕනම කෙනකුගේ ලැජ්ජා බය නැතිව යන්නේය. ලැජ්ජා බිය නැතිවෙන මිනිසුන් තුළ කිසි දිනෙක සදාචාර සම්පන්න බවක් ඇති වන්නේද නැත.

එසේ සදාචාර සම්පන්න බවකින් මිදුණු සමාජයක් තුළ හැදියාවක් හා අනෙකාට ගරු කරන තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ නැත. කොළඹ නාගරික වතු ජනතාව අතර අද උද්දීපනය වෙමින් පවතින්නේ එවන් පරිසරයකි. මේ පරිසරය තුළ ඔවුන් පවතින රජය හා එහි ක්‍රියාකාරීන් සම්බන්ධව මත පළ කරන්නේ දැඩි වෛරයකිනි.

“ඩිංගක් අර ග්‍රෑන්ඩ්පාස් පෙට්රල් ෂෙඩ් එක ළඟට ගිහින් බලන්න මහත්තයා. මඟ මැරෙන තරමට දුර්වල වෙලා ඉන්න වයස්ගත අම්මලා, තාත්තලා, ආච්චිලා, සීයලා තමයි පේව්මන්ට් එකේ වරු ගණන් වාඩිවෙලා ඉන්නේ. භූමිතෙල් ගන්න කෑන් එක අතේ තියාගෙන හිඟන්නෝ වගේ එතැන ලැගලා ඉන්නේ. මුන්ට කතිරේ ගහලා අපි විඳින මේ දුක කොයි විදිහට කොහොම පිට වේවිද කියලා අපිම දන්නේ නැහැ.

මේ මිනිස්සු වැඩි හරියක් ඉන්නේ මහ පාරේ. ගෙදර ඇඳකට වෙලා නිදහසේ හුස්ම ගන්න ඕන කාලේ දූවිලි කාගෙන මහ පාරේ වරු ගණන් ඉන්නවා. මොන තරම් දුකක්ද?” එසේ කීවේ එළිසබෙත්ය.

ඕනෑම නිවෙසක අගහිඟකම් ගැන කුස්සියේ අඩු පාඩු ගැන දන්නේ අම්මලාය. ස්වාමියා වෙහෙස මහන්සි වී සොයාදෙන මුදල් අරපරිස්සමින් වියහියදම් කරන්නේත් ඔවුන්ය.

කන්න බොන්න හරි හැටි නොලැබෙන විට ඇඬු කඳුළින් දරුවන් රණ්ඩු කරන්නේත් අම්මා එක්කය. එහෙත් ඒ අම්මලාට ගෙදර ඉන්න හිටින්න තරම් නිදහසක් තියා මානසික සහනයක් වුව නැත.

“දැන් උදේම බත් ටිකත් උයලා මොනවා හරි හොද්දක් හදලා ඊළඟට අපිට යන්න වෙන්නේ තෙල් පෝලිමට. කකුල් දෙක රිදෙනකම් ඉඳලා ආපසු හැරිලා ගෙදර එන්නේ ‘භූමිතෙල් නැහැ’ කියන කාලකණ්ණිම වචනේ අහලා.

ඊළඟට දරුවන්ගේ තාත්තා ගෙදර එනවා පෙට්රල් නැහැ ත්‍රීවීලර් එක දුවන්න විදිහක් නැහැ කියලා. මේ වෙලාවට ඉතින් ආණ්ඩුව කරන එවුන්ට හෙණ හතම ගහන්න ඕනෑ කියලා ශාප කරන්නේ නැතිව හිනාවෙලා ඉවසගෙන ඉන්නද අපිට කියන්නේ?”

“දරුවන්ගේ බඩගින්නවත් හඳුනන්නේ නැති අප්පච්චිලා තමයි බලනකොට අපිට ඉඳලා තියෙන්නේ.

අපේ ගෙවල්වල ඉන්න වැඩි හරියක් හරියකට ඉගෙන ගෙන නැහැ. ඒ නිසා අපි මේ අපා දුක් විඳිනවා. ඒ නිසාම අපි හිතුවා අපේ දරුවන්ටවත් හොඳින් උගන්වන්න ඕනෑ කියලා. දැන් ඒ දරුවන්ව ඉස්කෝලේ යවන්න සල්ලි නැහැ. බඩගින්නේ ඉස්කෝලේ යවන්න පුළුවන්ද? බැහැනේ! හැබැයි උන් කතා කරන්නේ දරුවන්ගේ අනාගතේ ගැන.

දවසක මේවාට විරුද්ධව කොළඹ මිනිස්සු නැඟිටනවා මහත්තයා. එතකොට ඔය අරගලේ ඉන්න ළමයින්ට වඩා අපි දරුණු වේවි. බලන්නකෝ මේ ඉවසීමේ සීමාව පැනලා ගිය දාට මොකද වෙන්නේ කියලා!” තිදරු මවක වූ ඇය සේ කීවේ තම අනන්‍යතාව පවා හෙළි කරමිනි. එහෙත් අපි නම් ගම් තොරතුරු හෙළි කිරීමට නොසිතුවෙමු.

“මහත්තයලා මේ අයට කියන්න… අපි මුන්ගෙන් නිකම් කන්න බොන්න ඉල්ලන්නේ නැහැනේ. නිකම් තෙල් ටික ඉල්ලන්නෙත් නැහැ. ගෑස් ටික ඉල්ලන්නෙත් නැහැ. සල්ලි දීලා ගන්න පුළුවන් විදිහට හදලා දෙන්න කියලයි ඉල්ලන්නේ. අපිට කෙළින්ම පිටරටින් ගේන්න පුළුවන් නම් මුන්ට අපි මෙච්චර බැගෑපත් වෙන්නේ නැහැ” ඇය කීවේ ඉහවහා ගිය කේන්තියෙනි.

කොළඹ නගරයේ වතුවල ජීවත්වන බොහෝදෙනා සුපිරි ජීවිත ගත කරන උදවිය නොවේ. ඔවුන් තවමත් ජීවත්වන්නේ අඩු පහසුකම් මැදය.

“මේ බලන්න මහත්තයා අපි පාවිච්චි කරන පොදු වැසිකිළිවල තත්ත්වය කොහොමද කියලා. මේ කොළඹ 10. නමුත් වැසිකිළි කළුම කළු පාට, ‍ෙදාරවල් කැඩුණු, සිමෙන්ති තියෙනවද කියලවත් පෙනෙන්නේ නැති ජරාවක්! මේවාට තමයි අපේ පවුල්වල අය යන්නේ. ඊළඟට ඔරුගොඩවත්තේ ඇළ උතුරන කාලෙට අපේ ගෙවල් ඒ ජරා වතුරට යට වෙනවා. මේවා මැද්දෙ තමයි අපි සමහර දවස්වලට මහ රෑ කට්ට කරුවලේ ජීවිතේ ගෙවන්නේ.

ඔය අපේ දුක සැප හොයනවා කියන එකම එක දේශපාලකයෙක්වත් මේවා බලන්න ඇවිත් නැහැ. ආවේ ප්‍රේමදාස මහත්තයා විතරයි. මේ ජරා වැසිකිළි, නාන කාමර බල්ලකු නාවන්න තරම්වත් සුදුසු නැහැ. ඒත් අපි මේවා ඉවසාගෙන හිටියා. දැන් ඉවසන්න බැහැ. බඩගින්න ඉදිරියේ මිනිස්සු දරුණු වෙනවා. ඒක නවත්තන්න කාටවත් බැහැ. අන්තිමට අපි හොරු මංකොල්ලකාරයෝ වේවි” ඇය නැවත කීවේ කේන්තියෙනි.

කොළඹ නගරයේ එදාවේල සොයාගන්නා බොහෝදෙනා රාජකාරි කරන්නේ පෑලියගොඩ මැනිං මාර්කට් එකේ හෝ යම් යම් සමාගම්වලය. ඔවුන්ගේ රැකියා මාසික වැටුපක් ලැබෙන ඒවා නොවේ. අපේ වචනයෙන් කියනවා නම් ඒ බොහෝ රැකියා කුලී වැඩය.

“ඩීසල් නැහැ කියලා ලොරිවලින් බඩු අදින්නේ නැහැ. තව තව දේවල් ලංකාවට එන්නේ නැහැ කියා හුඟාක් සමාගම්වලින් සේවකයෝ නවත්තලා. ඉදිකිරීම් නැති නිසා සිමෙන්ති අනන්නවත් දැන් නැහැ. ත්‍රීවීලර් දුවන්නේ නැහැ. බස් දුවන්නේ නැහැ. මේ නිසාම තමයි දැන් කොළඹ ඉන්න හුඟාක් අයට ජීවත්වෙන්න විදිහක් නැත්තේ. එහෙම වෙලාවක මීට වඩා අපි ගැන බලන්න ඕනෑ. තෙල්, ගෑස්, භූමිතෙල්, හාල් ටිකක් තියා පාන් ගෙඩියක්වත් ගන්න බැරි විදිහට පරිසරය හැදිලා තියෙනවා නම් එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ මහත්තයා” එසේ කීවේ රාමයියාය. වෘත්තියෙන් ත්‍රීවීලර් රියැදුරකු වූ ඔහු දැන් තම නිවෙස ඉදිරිපිට ත්‍රීවීලරය නවතා බකංනිලා සිටින්නේ කර කියා ගන්නට කිසිවක් නැතිවය.

“මගේ වයස අවුරුදු 60ක්… කොහොමද කිලෝමීටර් දෙක තුනක් විතර දිග පෝලිම්වල අව්වේ වේළි වේළී, වැස්සේ තෙමි තෙමී ඉන්නේ? ආණ්ඩුවේ මිනිස්සු කොළඹ අපිත් එක්ක තරහයි. ඇයි හැමදාම ඔය කට්ටිය කොළඹින් පරාද වෙනවනේ. ඒ වාඩුව තමයි මේ අපෙන් ගන්නේ. කරුමේ කියන්නේ දිනන මිනිස්සුවත් අපි ගැන සොයා බලන්නේ නැති එකයි. ඒ ගොල්ලෝ ඔය පාර්ලිමේන්තුවේ කෑගහන එකට වඩා දෙයක් මේ වෙනුවෙන් කරන්න ඕනෑ. අඩුම ගානේ අපේ දරුවෝ ගැනවත් හිතන්න ඕනෑ. අද සපත්තු දෙකක් ගන්න බැරිව ඉස්කෝලේ යන්න බැරි දරුවෝ කොච්චර නම් කොළඹ ඉන්නවද? රුපියල් 3,000 වගේ දීලා සපත්තු දෙකක් ගන්න පුළුවන් වත්කමක් අද කොළඹ වතුවල ජීවත්වන අම්මලා තාත්තලාට නැහැ. රුපියල් 180කට පාන් ගෙඩියවත් ගන්න බැරි මිනිස්සු මහත්තයා දැන් මේ වතුවල ඉන්නේ.”

“මේ සමහර මිනිස්සු පුංචි පුංචි තේ කඩ, කෑම කඩ දාගෙන ජීවත් වුණා. අද ගෑස් නැතිව ඒ කඩ සේරම වැහිලා. ආප්පයක් විකුණා ගන්නවත් විදිහක් නැහැ. රොටියක් පුච්චලා කන්නවත් විදිහක් නැහැ” රාමයියා එසේ කීවේ දැඩි වේදනාවකිනි.

කොළඹ නගරයේ ජීවත්වන බොහෝ දුගී දුප්පත් මිනිසුන්ගේ ජීවිත දැන් මේ ආකාරයට අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇත. එහෙත් ඔවුන් කියන්නා සේම මහ මන්දිරවල ජීවත්වන එසේත් නැතිනම් දියවන්නාවේ කෑමොර දෙන බොහෝ ඇත්තන්ට මේ ප්‍රශ්නය එතරම්ම දුරට දැනී නැත. හැඟීමක් නැත. ඒ හැඟීම එන්නට නම් ඔවුන් ජීවත්වන මේ කුඩා වතුවලට රිංගා අහුමුළු පිරික්සා බැලිය යුතුය. එසේ නැතිව වටින් පිටින් ඇසෙන දැනෙන දේ අල්ලාගෙන කෑගසා තේරුමක් නැත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

ඡායා – මංජුල දයාවංශ