ඉදිරියේදී කොහොම ටෙලි නාට්‍ය කරන්නද කියලා හිතාගන්න බෑ

0
53

පසුගියදා පැවති සිග්නීස් උළෙලේදී 2019 වසරට ආදාළව වැඩිම සම්මාන ගණනක් ලබාගත් චිත්‍රපටය වන විෂම භාග චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාව මෙවර හදගැස්ම කතා බහට සම්බන්ධ කර ගැනීමට අප සිතුවා. ඔහු ලලිත් රත්නායකයි. මීට අමතරව බොහෝ ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් වූ තාත්තා, One Way වැනි නිර්මාණ හරහා පුංචි තිරය ආලෝකවත් කළ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ඔහුව හඳුන්වා දිය හැකියි.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මම අවුරුදු පහකට පමණ පසුව ටෙලි නාට්‍යයක් කළා. එහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතිනවා.

අලුත් නිර්මාණය ගැන කතා කරමු?

නිර්මාණයේ නම තවමත් නිශ්චිතව තීරණය කර නැහැ. දැනට “ජීවිතයේ එක් දවසක්” යන නම යටතේ වැඩකටයුතු කරගෙන යනවා. මේ නාට්‍යය තුළින් කතා කරන්නේ කාලීන සමාජයේ ජීවත්වන තරුණ යුවළක් සහ ඔවුන් දෙදෙනාට මැදිවූ ඔවුන්ගේ දරුවා පිළිබඳවයි. කඩවසම් සැමියෙක් සිටින බිරියකට හෝ සුරූපී බිරියක් සිටින සැමියෙක්ට ඔවුනොවුන් කෙරෙහි පවතින අවිශ්වාසය, සැකය නිසා මතුවන ගැටලු මේ කාලයේ සුලබයි. මේ ගැටලු නිසා දරුවන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් ගැන තමයි මේ කතාව තුළ සාකච්ඡා කරන්නේ. මේ වන විට රූගත කිරීම් සිදුකර අවසන් කරලා සංස්කරණ කටයුතු සිදු කරමින් පවතිනවා. බිමල් ජයකොඩි, කලනි ‍ෙදාඩංතැන්න, සමනලී ෆොන්සේකා, පුබුදු චතුරංග, නයනතාරා වික්‍රමාරච්චි ආදී පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වනවා. මේ ටෙලි නාට්‍ය තව මාස දෙකකින් පමණ විකාශය කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

මෙවැනි කාලයක නිර්මාණයක් කිරීම අභියෝගයක් නොවෙයිද?

අනිවාර්යයෙන්ම විශාල අභියෝගයක්. මම මේ නිර්මාණය කරන්න ආරම්භ කරන විට කොවිඩ් වසංගතය හැරුණු විට වෙනත් ගැටලුවක් රටේ තිබුණේ නැහැ. අපි මෙහි මූල්‍යම සැලැස්ම හදලා ඒ අනුව රූගත කිරීම් ආරම්භ කරලා දින කිහිපයක් යනවිට විදුලිය කප්පාදු කරන්න පටන් ගත්තා. ඉන්ධන නැති වුණා. රටේ උද්ඝෝෂණ පටන් ගත්තා. ඒවා මධ්‍යයේ තමයි රූගත කිරීම් අවසන් කළේ. රූගත කිරීමේ කාලය දීර්ඝ වීම, ඉන්ධන සඳහා වෙන් කළ මුදල දෙගුණ වීම, ආහාර පාන සඳහා වෙන් කළ මුදල දෙගුණ තෙගුණ වීම ආදී මේ ගැටලු නිසා අපි සැලසුම් කළ මුදලට වඩා විශාල පිරිවැයක් දරන්නට සිදු වුණා. මේ තිබෙන තත්ත්වය සමඟ ඉදිරියේදී කොහොම ටෙලි නාට්‍ය කරන්න වෙයිද කියන ගැටලුව මතු වෙනවා.

විෂම භාග දේශීය විදේශීය වශයෙන් සම්මානයට පාත්‍ර වුණා. ඒ ගැනත් කතා කරමු?

මෙවර සිග්නීස් සම්මාන උළෙලේ 2019 වසරේ වැඩිම සම්මාන හිමිකර ගත්තේ විෂම භාග චිත්‍රපටයයි. ප්‍රධාන සම්මාන 6, ජූරියේ විශේෂ සම්මානයක්, කුසලතා සම්මාන 2ක් අපිට ලැබුණා. මගේ පළමු චිත්‍රපටය ලෙස ලංකාවේ පළමු සම්මාන උළෙල තුළින්ම ඇගයීමට ලක්වීමට ලැබීම විශාල සතුටක්. ඒ වගේම යූ ටියුබ් හරහා විදේශ රටවල සිටින පිරිස් මේ චිත්‍රපටය නරඹන බව අපිට පෙනෙනවා. ඒ වගේම විදෙස් රටවල චිත්‍රපටය තිරගත කළ අවස්ථාවලදීත් අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. එය මම ඇස් දෙකට දැක්කා. ඊට අමතරව ඒ ශ්‍රේණියේ සම්මාන උළෙලවල් ඇතුළුව විවිධ විදෙස් සම්මාන 56ක් වැනි සංඛ්‍යාවක් ලබා ගන්නට අපට හැකියාව ලැබුණා.

කෙටි චිත්‍රපටයක් අවුරුදු දහසයකට පසුව චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ ආකාරය ගැන මතක් කළොත්?

විෂම භාග කියන්නේ 2002දී පමණ කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කළ එකක්. එය ලෝක ළමා දිනය දවසේ ජාතික රූපවාහිනියේ විකාශය වුණා. එහි ප්‍රධාන භූමිකාවන් රඟපෑවේ ජෝ අබේවික්‍රම මහත්මයා, ජයලත් මනෝරත්න මහත්මයා සහ චාන්දනී සෙනවිරත්න මහත්මිය.

එවකටත් හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය විධියට මෙය සම්මානයට පාත්‍ර වුණා. මොකද ඒ කාලයේ කෙටි චිත්‍රපට කියලා කාණ්ඩයක් ලංකාවේ සම්මාන උළෙලවල තිබුණේ නැහැ. ගුරු කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමයෙන් මිදිලා ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයට යා යුතුයි කියන පණිවුඩය මේ තුළ තිබූ නිසා ඉන් පසුව ජාතික අධ්‍යාපන ආයතනය ගුරු පුහුණුවීම් සඳහා මේ කෙටි චිත්‍රපටය වසර විස්සක් මුළුල්ලේ ගුරුවරුන් ලක්ෂ ගණනකට පමණ පෙන්වූවා. පසුකාලීනව අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ චිත්‍රපටයක් කරමු කියලා ආරාධනා කළ විට මම යෝජනා කළා මේ කෙටි චිත්‍රපටය තුළින් චිත්‍රපටයක් කරන්න. උන්වහන්සේත් එකඟතාව පළ කළා. 

අවුරුදු විස්සකට පෙර නිර්මාණය කළ නිර්මාණයේ කතා තේමාව අදටත් වලංගුයි. ඔබ සමාජයට දෙන්න උත්සාහ කළ පණිවුඩය සමාජය ග්‍රහණය කරගෙන තිබෙනවාද කියන ගැටලුව මතු වෙනවා නේද?

නිර්මාණකරුවන් හැටියට චිත්‍රපට හැදූ පමණින් සමාජයක් වෙනස් කරන්න අපට පමණක් බැහැ. මෙහි අධ්‍යාපනික වටිනාකමක් තිබෙන බව පැවැසුවේ ඒ සම්බන්ධ විද්වතුන් මේ චිත්‍රපටය නැරඹීමෙන් පසුවයි. මම මගේ පාසල් ජීවිතයේ ලබපු අත්දැකීම් කාලාන්තරයක් තිස්සේ මගේ සිතේ තිබුණා. එය මේ වගේ කතාවක් හැටියට ලියවුණා. සෞන්දර්යට ළැදි දරුවෙක් පාසල් පන්ති කාමරයක් තුළ කොන් වෙන ආකාරය මම අත්දැකලා තිබෙනවා. ඉන්දියාවේ මේ චිත්‍රපටය පෙන්වූ විට ඉන්දියාවේ විචාරකයන් පැවැසුවා ඉන්දියාව තුළත් මේ ගැටලුව මේ විධියටම තිබෙනවා කියලා.

නිර්මාණකරුවෙක් වගේම පුරවැසියෙක් විධියටත් මේ රටේ තිබෙන තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද?

මගේ ජීවිත කාලය පුරාම මම දකිනවා විවිධ පක්ෂවල නායකයෝ පාලනයට එනවා. නමුත් ඔවුන් සෑම කෙනෙක්ම ඔවුන්ගේ පුද්ගලික අභිමතාර්ථ දිනා ගැනීම සඳහා පමණක් වගේම ඔවුන් ඔවුන්ගේ පරම්පරා නායකත්වයේ රඳවා ගන්න උත්සාහ ගන්නවා. රටට ඇත්තටම ආදරය කළ, රට ගොඩගන්න වැඩ කරපු අය අඩුයි. ඒ අතරින් විශේෂ කෙනෙක් විධියට මම දකින්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. එතුමියගේ කාලයේ මම කුඩා දරුවෙක්.

මම අසා, දැක තිබෙන දේවල් සමඟ බැලූ විට ඇය කරගෙන ආ වැඩපිළිවෙළ දිගටම කරගෙන ආවා නම් ආර්ථිකමය වශයෙන් යම් තැනක අපි මේවන විට සිටින්න ඉඩ තිබුණා කියලා මම සිතනවා. කලාකරුවෙක් හැටියට මමත් අරගල භූමියේ සිටිනවා. නමුත් අවසානයේ සිදුවූයේ අපි නොසිතපු දෙයක්. මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්නය මිනිසුන්ගේ කුසගින්නේ මිය යනවාද කොහොම හරි ජීවත් වනවාද කියන එක බව පෙනෙන්නට තිබෙනවා.

අලුත් නිර්මාණකරුවන් ගැන ඔබ මොකද සිතන්නේ?

නිර්මාණාත්මක අදහස් තිබෙන දක්ෂ තරුණ පරම්පරාවක් සිටිනවා. ඔවුන් සමඟ විවිධ අවස්ථාවල මම වැඩ කරලා තිබෙනවා. අපේ කාලයට සාපේක්ෂව ඔවුන්ට ලෝක සිනමාව පරිශීලනය කරන්න තිබෙන අවස්ථා වැඩියි. ඒකමද ගැටලුව කියන්න මම දන්නෙ නැහැ. ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙන්නේ නැහැ. බොහෝ විට නිර්මාණය කරන්නේ අමු කොපි. නිර්මාණයක් නැරඹූ වූ විට අපි තුළට ඒ නිර්මාණය යනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් ස්වතන්ත්‍රව නිර්මාණ කරන්න උත්සාහ ගන්න අවශ්‍යයි.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

සිනමා නිර්මාණයක් කරන්න අදහසක් තිබෙනවා. නමුත් මේ රටේ තිබෙන තත්ත්වය සමඟ නිෂ්පාදනය පැත්තෙන් ගැටලු කිහිපයක් මතුවී තිබෙනවා. චිත්‍රපට නරඹන්න ප්‍රේක්ෂකයන් ශාලාවලට පැමිණෙයිද කියන ගැටලුව තිබෙනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර