ඇඟිලි තුඩු තබා තෙරපා ඕනෑම ලෙඩක් සුව කළ හැකි පුරාණ සිංහල වෙද විස්කම්

0
77

අත්-පා වලංගු නැතිව, කිසිවක් කර කියා ගන්නට බැරිව පැත්තකට වැටෙන රෝගීන්ට පුරාණ ඉසිවර වෙද්දු සිදු කළ ප්‍රතිකාර හරිම ඉහළයි. වෛද්‍යවරයා මුළු සර්වාංගය ගැනම දැනුමක් ඇති කෙනෙක් වුණොත් රෝගියා කුමන තත්ත්වයෙන් තමන් වෙත ගෙන ආවත්, හොඳින් නිරීක්‍ෂණය කර බලනවා. අපහසුව, වේදනාව ඇත්තේ කොතැනකදැයි හඳුනා ගන්නවා.

“ශරීරයේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය කොයි තරම් තත්ත්වයක තියෙනවාද කියලා මුලදීම බලනවාද?” ඔබට එහෙම හිතෙන්නට පුළුවනි.

එසේ සිතන එක වැරදි නෑ. සත්‍ය වශයෙන්ම ශරීරයේ ධාතුන් වෙනස් වීමේ, නිපදවීමේ ක්‍රියාවලිය සමබර කරගනිමින් විශාල කාර්ය භාරයක් සිදු කෙරෙන බව අප අමතක නොකළ යුත්තක්. අප දන්නා විදිහට අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය අඩුවීමේදී දියවැඩියා රෝගය හැදෙනවා. නමුත් අප නොදන්නා කරුණක් තමයි මෙම අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය වැඩිවීමේදී, එනම් අධික ක්‍රියාකාරි මට්ටමකදී අපට රුධිර අවපීඩනය, ඉරුවාරදය, හිසරදය සහ මද්‍යසාර භාවිතයේදී ශරීරයට සිදුවන හානිදායක තත්ත්වයන් ඇති වන බව.

පළපුරුදු වෛද්‍යවරයා ඔත්පළ වූ රෝගියාගේ සිරුරේ අදාළ තැන් මත ඇඟිලි තුඩු තබා තෙරපා බැලුවාම ඔහුට දැනෙනවා අභ්‍යන්තර ශක්ති උත්පාදනය, උනන්දුව හා ප්‍රාණ භාවය ඇති කරන තැන් වෙහෙස වෙලාද? මැරී යමින් පවතිනවාද? රුධිර සංසරණය කොහොමද කියලා. අදාළ තැන්වලට ලේ ගමනය වෙන්නේ නැතිනම්, ඒ තැන් අකර්මණ්‍ය නම් අන්න රෝගයේ මුල හොයා ගත හැකි ඉඟියක් පළවෙන හැටි. නිල සම්බාහනය කියන විෂයය වැදගත් වෙන්නේ මෙතැනදියි. ඒ මඟින් අදාළ ග්‍රන්ථීන් සියල්ල පාලනය කරමින් ඒවායේ ක්‍රියාකාරිත්වය පණ ගන්වන්න පටන්ගත යුතුයි. නිල තෙරපුමේ දැනුවත්කම වගේම අත්වාසිය වැදගත් වුණත් ඒත් එක්කම මේ වෙනුවෙන්ම සැකසූ ඔසු තෙල් ඉතාමත් වැදගත්. එය ඒ ඒ රෝග පීඩාදියේ තරාතිරම අනුව වෙනස් වෙන්න පුළුවන්. එය දන්නේ නිල තෙරපුම කරන දැනුවත් වෛද්‍යවරයාමයි. මෙය හරියටම කළොත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පුරුදු වී තිබුණු වැරදි පැවැත්ම මඟහරවා ගත හැකියි. ඒවායේ අතුරු ඵල ලෙස හටගත් ලෙඩ රෝගද වළක්වා ගත හැකියි.

අප අංශභාග තත්ත්වයට පත්වන විවිධාකාර හේතු තියෙන්නට පුළුවන්. සමහර දේවල් අප විසින්ම හදා ගන්නා ඒවා වෙන්න පුළුවන්. සමහරුන්ට මහලු වෙන්නටත් පෙර දෙපාවල ආබාධ මතුවෙනවා. ඒ අය දැන් පෙරටත් වඩා වැඩි වෙලා. තරුණ වයසේ ළඳුන්ටත් දෑත්-දෙපා ආබාධ බහුලයි. බොහෝ අයට එවැනි ආබාධ ඇති වීමට හේතුව නම් විලාසිතාව ඉහවහා යෑමයි. ශරීරයේ පිටකොන්දට දරාගන්න බැරි තරම් හානියක් වෙන අස්ථි පුරුක්වලට විශාල බරක් දැනෙන විදිහට ඉතා උස අඩි ඇති පාවහන් නිතර පැලඳීමෙන් ඇවිද ගන්න බැරිවන තරමට ඔත්පළ වූ රෝගීන් බොහෝමයි. ඒවා විහින් කරගත් දේවල්.

නමුත් සමහරුන්ට එවැනි පුරුදු නැතිව වුණත් දෙපාවල, අත්වල වේදනා, ස්නායු ක්‍රියාකාරී නොවන ගතිය, හරි හැටි ක්‍රියාකාරී නොවන ගතිය වැනි රෝගාබාධ හට ගන්නවා. සමහර ඒවා මුල් අවධියේ වෙන්න පුළුවන්. ඇතැම් ඒවා මැදි අවධියේ වෙන්න පුළුවන්. නමුත් බොහෝමයක් දෙනා අප වෙත කැඳවාගෙන එන්නේ ඔත්පළ වූවාට පසුවයි. දෝතින් ඔසවාගෙන එන රෝගීන්ගේ මුල හොයා බැලුවාම ඒ අයට එකිනෙකාට වෙනස් ශාරීරික හේතු තිබෙනවා. කතා බහේදී රෝගියා අවංකව ඇත්ත කිව්වොත් ඉතා ඉක්මනින් ප්‍රතිකාරය පටන් ගත හැකියි. බොහෝ දෙනා එහෙම කියන්නේ නෑ. එවිට ප්‍රතිකාරය පමා වෙනවා. නමුත් කීවත් නොකීවත් සිරුර පිරික්සද්දී පළපුරුදු දැනුමැති වෛද්‍යවරයකුට හංගන්න බෑ. රෝගය හටගත් හැටිත් දැන් එහි තත්ත්වයත් කොයිතරම් ඉක්මනට ප්‍රායෝගිකව ලෙඩා නිට්ටාවටම සුව කළ හැකිද කියාත් දැන ගන්න පුළුවන්. ඒ තමයි උතුම් වූ පුරාණ සිංහල වෙදකමේ මහිමය.

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849