අමරකීර්ති ඝාතනයේ ප්‍රධාන සැකකරු තුවක්කුවත් සමඟ අල්ලයි

0
104

පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂකයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ප්‍රචණ්ඩකාරීන් විසින් මන්ත්‍රිවරයාගෙන් පැහැරගත් එම්. පී. 22 ගිනි අවියද නිට්ටඹුව මූලස්ථාන පොලිසිය ඉදිරිපිට ඇති එළවළු සහ පලතුරු විකිණීමේ කඩයක් ආසන්නයේ තිබී සොයා ගැනීමටද නිලධාරීන්ට හැකිවී ඇත.

එම ගිනිඅවිය සමඟ හිටපු හමුදා සෙබළකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ගිනිඅවිය උදුරාගෙන ඇත්තේ මන්ත්‍රිවරයා සහ ආරක්‍ෂකයා දිවි බේරා ගැනීම සඳහා රැඳී සිටි නිට්ටඹුව සුප්‍රසිද්ධ රෙදිපිළි ආයතනය තුළදී බව පොලිසිය සැක කරයි. මේ අතර මන්ත්‍රිවරයා ජීප්රියෙන් බිමට බස්සවා ඔහුට මුල්ම පොලු පහරදී ඇත්තේ මෙම ප්‍රධාන සැකකරු බවද විමර්ශනයේදී හෙළිවී ඇත. අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක සැරයන් ගුණවර්ධන ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.

කීර්ති මෙන්ඩිස්