අනෙකාගේ කුසගින්නට  පිපාසාවට ඔබව සංවේදී කරවන නිරාහාර ශීලය

0
189

“අනෙක් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් ලෙස ජීවත් වෙනවා නම් ඔහු තමයි මේ ලෝකයේ සිටින ශේ‍ර්ෂ්ඨතම පුද්ගලයා වෙන්නේ” මෙය ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීමකි. මේ ගෙවෙන්නේ රාමසාන් උපවාස ශීල මාසයයි. ඉස්ලාම් ඉගැන්වීමට අනුව පිළිපැදිය යුතු නියමයන් පහ අතුරින් එකක් ලෙස “නෝම්බි” ඇල්ලීම, එසේත් නොමැතිනම් නිරාහාර ශීලය හඳුන්වනවා. ලෝකයේ සියලුම මිනිසුන්ට දැනෙන බඩගින්න සහ පිපාසාව ප්‍රායෝගිකව ඉගැන්වීමක් තමයි මෙමඟින් සිදු කරන්නේ. ඔබ කවදාවත් බඩගින්නේ හෝ  පිපාසාවෙන් නොසිටියා නම් ඔබ බඩගින්නේ හෝ පිපාසාවේ ඇති වේදනාව දන්නේ නැහැ.

ඒ නිසා ඉස්ලාම් ධර්මයේ නිරාහාර ශීලයෙන් සිදු කරන්නේ දුප්පත් – පොහොසත්, ජාති, ආගම්, කුලමල භේදයකින් තොරව සියලුම මනුෂ්‍යයාට පොදුවේ දැනෙන බඩගින්න සහ පිපාසාව දැනවීම සහ එමඟින් අනෙක් මිනිසුන් ගැන සිතීමට සැලැස්වීමයි. ඉස්ලාම් ධර්මයේ අනෙකාට දන්දීම සම්බන්ධයෙන් සංකල්ප කිහිපයක් තිබෙනවා. “සකාද්” නම් ඉන් පළමුවැන්නයි. සකාද් යනු තමා සතු ධනයෙන්, තමා උපයන මුදලින් දුප්පතුන්ට අනිවාර්යයෙන් ලබාදිය යුතු කොටසයි. මෙය ශුද්ධාකාර බද්දයක් ලෙසත් හඳුන්වනවා.

මේ බව “අල් කුර්ආන්” ග්‍රන්ථයේ මෙලෙස සඳහන් වෙනවා.

“සැබැවින්ම සකාද් නම්, සකාද් බදු  හිමිවනුයේ දුගියන්ටද, දුප්පතුන්ටද ඒ කෙරෙහි  වූ සේවා දායකයන්ටද, තම හදවත් ඉස්ලාමය වෙත ළැදි වූවන්ටද, වහලුන් කෙරෙහිද, ණයගැතියන්ටද අල්ලාහු මාර්ගයන්ටද මගියන්ටද හිමි වේ.”

“අක්තාඋබා 60”

ඉස්ලාමයට පමණක් නොවෙයි මෙය පොදුවේ අප සැමටම ප්‍රායෝගිකව භාවිත කළ හැකි සංකල්පයක්. පවතින ආර්ථික ක්‍රමය අනුව පොහොසතුන් ජීවිතය තිබෙන තුරුම පොහොසත්ය. දුප්පතුන් ජීවිතය තිබෙන තාක් දුප්පතුන්ය. එම නිසා සකාද් සංකල්පයට අනුව ධනවතුන්ගේ ධනයෙන් යම් කොටසක් දුප්පතුන්ට ලබාදීමෙන් ධනවතා මෙන්ම දුප්පතාද සතුටු වෙනවා. ඒ වගේම දුප්පතුන්ට තමන්ගේ ආර්ථික ශක්තිය ගොඩනංවා ගැනීමටත් මෙමඟින් උදව්වක් වෙනවා. “සකාද්” සංකල්පයට අනුව සෑම මුස්ලිම් ධනවතෙක්ම භාවිතයට නොගන්නා ධනයෙන් 2.5%ක් දුප්පතුන්ගේ සුබසිද්ධිය උදෙසා ගෙවිය යුතුය.

‘සදකා සංකල්පය’

සදකා යනු ඕනෑම පුද්ගලයකුට වුවද දිය හැකි දානයයි. දුප්පත් අයට දෙන්නත් පුළුවන්, පොහොසත් අයට දෙන්නත් පුළුවන්, දුප්පතාට දෙන්නත් පුළුවන්, පොහොසතාට දෙන්නත් පුළුවන්. මෙය මූල්‍යමය හෝ ද්‍රව්‍යමය දානයක් විය යුතු නැහැ. උදාහරණයක් විදිහට මම ඔබත් සමඟ සිනාසෙනව නම් එය පිනක්. ඒ වගේම පවුලේ අයට හොඳින් සැලකීම, පොදු ස්ථාන පිරිසුදු කිරීම, මිතුරන් අතරේ හොඳ හිත පැතිරවීම, අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කෙනකුට මුදල් ලබාදීම, රෝහලකට, වැඩිහිටි නිවාසයකට, ළමා නිවාසයකට දානයක් දීම හෝ වෙනත් ආකාරයකින් ඔවුන්ව සතුටු කිරීම සඳහා සංකල්පයට අයිති වෙනවා. නමුත් මෙවැනි දේ කළ යුත්තේ පිරිසුදු චේතනාවෙන් යුක්තවයි. තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීමට හෝ සමාජයේ කැපී පෙනෙන්නට එවැනි දේ කරනවා නම් ඒවාට පින් ලැබෙන්නේ නැහැ.

‘අදීයා සංකල්පය’

“අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයාව විශ්වාස කරවූද, කවර දෙයක් විෂයෙහි නුඹලාව නියෝජිතයන් බවට පත් කළේද එයින් නුඹලා වියහියදම් කරවූද, එබැවින් නුඹලා අතරින් විශ්වාස කළවුන්ද, අල්ලාහ් මාර්ගයේ වියදම් කළ වුන්ද ඔවුන්ට මහත් වූ ප්‍රතිඵල ඇත.” එහි තේරුම ඔබට මොනවාද භාරව තිබෙන්නේ ඒ අතරින් තමන් කැමැතිම දේ ත්‍යාගයක් වශයෙන් ලබාදීමයි. උදාහරණයක් ලෙස ඔබ අඳින ඇඳුම් අතුරින් ඔබ කැමතිම ඇඳුම තමයි වෙනත් අයකුට තෑගි දිය යුත්තේ. අපි බොහෝ වෙලාවට සිදු කරන්නේ ගෙදරින් ඉවත් කරන අපි අකමැති සහ අනවශ්‍ය දේවල් තවකකුට ලබාදීමයි. නමුත් අදීයා සංකල්පයට අනුව අපි තෑග්ගක් ලෙස ලබාදිය යුත්තේ අපි කැමතිම දේවල්ය.

වර්තමාන රටේ තිබෙන ආර්ථික අරාජිකත්වය නිසා වෙනදාට වඩා දුප්පතුන් සහ යාචකයන් වැඩිවෙලා තිබෙනවා. ඉන් සමහරෙක් තුන් වේලෙන් එක් වේලක් හෝ ආහාර නොගන්නා තත්ත්වයකට පත්ව සිටියි. එම නිසා ධනය ඇති අය මේ මොහොතේ ඔවුන්ගේ කුසගින්න නිවීමට හැකි උදව්වක් කළ යුතුය. එයට ජාතියක්, ආගමක් අදාළ නොවන්නේ අප කාගෙ කාගේත් ශරීරයේ තිබෙන්නේ එකම රුධිරය නිසාය. ඉස්ලාම් ධර්මය අනුකම්පා කිරීමට වඩා වැඩි සැලකිල්ලක් දක්වන්නේ සහකම්පනය සඳහාය.

ඔවුන් “නිරාහාර ශීලය” මඟින් ප්‍රායෝගිකව පුරුදු කරන්නේද සහකම්පනයයි. තමන්ට දැනෙන දුක, වේදනාව, සතුට, ආවේගය අනෙක් අයටද එයාකාරයටම දැනෙන බව තේරුම් ගැනීම තුළින් සමාජය තුළ ගැටලු උද්ගත නොවේ. ඇතැමුන් අනෙක් පුද්ගලයන් විඳින දුක, මානසික පීඩනය සහ දුප්පත්කම දෙස බලා සතුටු වේ. නමුත් ඒ බවක් සමාජයට නොපෙන්වා අව්‍යාජ අනුකම්පාවක් ආරූඪ කර ගනියි. ඉස්ලාම් ධර්මයට අනුව එවැනි දේ නිසා පව් රැස් වේ. අපි දුප්පතකුට, මිතුරකුට, පවුලේ සාමාජිකයකුට, පූජකයකුට හෝ කවර පුද්ගලයකුට වුවද මූල්‍යමය, භෞතිකමය හෝ ආධ්‍යාත්මිකව දෙයක් ලබාදෙනවා නම් ඒ දේවල් දිය යුත්තේ පිරිසුදු චේතනාවෙනි.

ඉස්ලාම් ධර්මයේ මෙම ඉගැන්වීම රටට ආදේශ කළොත් සියලුම මිනිසුන්ගේ ජීවිත යහපත් වේවි. ඔවුන් තුන්වේලම බඩකට පිරෙන්නට ආහාර ලබා ගනීවි. තමන්ටම අයිති ව්‍යාපාරයක හිමිකරුවකු වේවි. එමඟින් කුටුම්භයත්, මානව සමාජයත්, මුළු රටත් සීග්‍ර සංවර්ධනයකට පත් කළද හැකිය.

දුමිඳු ලංකා බණ්ඩාර