“රට ප්‍රගතිය කරා යන බවක් පේනවා: ගෑස්-ඉන්ධන-විදුලිය-ජලය මිල තවත් ඉහළ දැමිය යුතුයි”

1
605

නීත්‍යනුකූල නොවන ආකාරයෙන් උපයා ළඟ තබා ගෙන සිටින ඩොලර් බැංකුවල තැන්පත් කිරීම සඳහා සති 2ක සහන කාලයක් ලබා දෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ මුදල් ප්‍රතිපත්ති විවරණයට අදාළව මහ බැංකුවේ ඊයේ (මැයි 19දා) පැවැති මාධ්‍ය හමුවේදී ය.

දැනට පවතින නීතිය අනුව අමෙරිකානු ඩොලර් 15,000කට වඩා වැඩි මුදලක් ළඟ තබා ගැනීම නීත්‍යනුකූල නොවන බව ද ළඟ තබාගත හැකි එම ඩොලර් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව ද අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

නීත්‍යනුකූල නොවන පරිදි ළඟ තබාගෙන ඇති ඩොලර් සම්බන්ධයෙන් වන මහ බැංකු නීති රෙගුලාසි යටතේ පියවර ගෙන ඒ සම්බන්ධව නීත්‍යනුකූලව කටයුතු කිරීම සඳහා අදාළ අංශවලට දැනුම් දීමට කටයුතු කරන බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

වෘත්තීයවේදීන් ඇතුළුව බොහෝ පුද්ගලයන් ආයෝජනයක් ලෙස ඩොලර් එකතු කිරීමට පටන්ගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද එහිදී ප්‍රකාශ කළ මහ බැංකු අධිපතිවරයා අදාළ ඩොලර් බැංකුවල තැන්පත් කර සියයට 20ක පොළියක් ඇතුළුව වැඩිම වටිනාකමක් ලබාගැනීමට ඇති හොඳ ම අවස්ථාව දැනට පවතින තත්ත්වය බව ද පැවැසීය.

අමෙරිකානු ඩොලරයේ රුපියල් වටිනාකම ඉදිරියේදී රුපියල් 350ත් 340ත් දක්වා අඩුවීමට හැකියාවක් ඇති බව ද එම හේතුව මත ඩොලර් එකතු කර ගෙන සිටීමෙන් අලාභයක් ලැබීමට පමණක් සිදුවන බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

නීත්‍යනුකූලව සන්තකයේ තබාගෙන සිටිය හැකි ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඩොලර් හිඟයට පිළිතුරක් ලෙස මහ බැංකුව එම තීරණයට එළඹ ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වනවිට තාක්ෂණික මට්ටමේ සාකච්ඡා සිදුවෙමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මෙරට අර්බුදකාරී තත්ත්වයක් නොපැවතුනහොත් සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාස 06ක කාලයක් ඇතුළත එකඟතාවකට පැමිණිය හැකි බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙරට පවතින ආර්ථික අර්බුද තත්ත්වයට විසඳුම් සෙවීමේදී දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත් බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය. මුදල් අමාත්‍යවරයෙකු ඉතා ම ඉක්මනින් පත්කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද අධිපතිවරයා පැවසීය.

කෙසේ වුව ද මේ වනවිට මෙරට පවතින ඩොලර් අර්බුදය සඳහා විදේශ විනිමය ඉපයීමේ මාර්ග වැඩි කළ යුතු බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

මේ වනවිට මෙරට බදු ආදායම පහළ මට්ටමක පවතින බව ද රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට යම් අර්බුදයක් ඇත්නම් සිදුකළ යුත්තේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම බව ද මහ බැංකු අධිපති වැඩිදුරටත් පැවසීය.

ගෑස්, විදුලිය, ජලය හා ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ දැමීමට තමා නිර්දේශ කරන්නේ යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (මැයි 19) පැවසීය.

අදාළ පරිභෝජන භාණ්ඩ හා සේවා පවත්වාගෙන යන ආයතන පාඩු ලැබීම නිසා එවැනි නිර්දේශයක් කරන්නට සිදුව ඇතැයි වීරසිංහ මහතා කීය.

කෙසේ වෙතත් මේ වනවිට අගමැතිවරයෙකු පත්වී පාර්ලිමේන්තුව අඛණ්ඩව රැස්වීම හමුවේ රට ප්‍රගතිය කරා යන මාවතක් පෙන්නුම් කරමින් තිබෙන්නේ යැයි ද මහ බැංකු අධිපතිවරයා කීය.

සියලු දෙනා ම එකතු වී රට වෙනුවෙන් යමක් කළ යුතු බවට පාර්ලිමේන්තුවේ මතයක් නිර්මාණය වීම යහපත් තත්ත්වයක් යැයි කී හෙතෙම අනීතික තත්ත්ව නතර වී බැංකු ක්‍රමයට ඩොලර් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද පැවැසීය.

අගමැතිවරයා ලංකාවට ලැබී ඇති බව කීවේ ලෝක බැංකුවෙන් පවතින ව්‍යාපෘති යටතේ වෙන්කළ ඩොලර් මිලියන 600ක මුදල්වලින් කොටසක් ගැන යැයි ද වීරසිංහ මහතා වැඩිදුරත් සඳහන් කළේ ය.

  • අමිල අබේරත්න, බිඟුන් මේනක ගමගේ

1 COMMENT

Comments are closed.