අරුන්දිකගේ චෝදනාව ගැන ජවිපෙ පොලිස්පතිට ලියයි

0
523

ප්‍රචණ්ඩ සිදුවීම්වලට අත්අඩංගුවට ගත් පිරිසෙන් බහුතරය ජ.වි.පෙ. සාමාජිකයන් බවට පොලිස්පතිවරයා උපුටා දක්වමින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ත් ඒ සඳහා සාකච්ඡාවකට දිනයක් දෙන්නැයි ද සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර ඇත.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් කරුණු මෙසේ ය.

“පසුගිය 9 වන දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව අප පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා විසින් පෙරේදා (මැයි 18) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටි අවස්ථාවේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් පළ කරන ලද අදහසක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමු.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කරන්නේ, තමන් ඒ මොහොතේ පොලිස්පතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගත් බව ත් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් 450ක පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් 150ක් සිටින බවට පොලිස්පතිවරයා කියා සිටින බවත් ය.

මෙම අත්අඩංගුවට ගන්නා ලද පිරිසේ දේශපාලන පසුබිම සොයා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති තත්ත්වයක් තුළ සහ කිසිදු සාක්ෂියක් හෝ පදනමක් නොමැති තත්ත්වයක් තුළ මෙසේ 150ක පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බවට කරන ලද ප්‍රකාශය අතිශය බරපතළ ය. එම සාහසික ප්‍රකාශය ප්‍රචණ්ඩ ක්‍රියාවල වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීම සඳහා ගනිමින් තිබෙන ආණ්ඩුවේ නිර්ලජ්ජිත උත්සාහයේ ම කොටසක් බව අපි තරයේ ප්‍රකාශ කරමු.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින අප පක්ෂය සම්බන්ධයෙන් එල්ල කරන ලද මෙම චෝදනාත්මක ප්‍රකාශය බරපතළ වන බැවින් ඒ පිළිබඳව කඩිනම් පැහැදිලි කිරීමක් පොලිස්පතිතුමා ලෙස ඔබගෙන් අපේක්ෂා කරමු. එසේ ම ඔබ විසින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට මෙබඳු තොරතුරක් ලබා දෙන ලද්දේ නම් මීට අදාළව අත්අඩංගුවට ගත් පිරිසේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ඔබ විසින් විශේෂ හඳුනා ගැනීමක් සිදු කර තිබේ ද යන්නත් ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සමස්ත පිරිසේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ඔබ විසින් කරන ලද වර්ගීකරණය රට හමුවේ තැබීමට කටයුතු කරන ලෙසත් අපි ඉල්ලමු.

සමස්ත සිදුවීම් දාමය උපයෝගි කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ දඩයම් කිරීම සඳහා ආණ්ඩුව නිර්ලජ්ජිත හා කුමන්ත්‍රණකාරී උත්සාහයක නිරත බව පැහැදිලිව ප්‍රදර්ශනය වෙමින් ඇති බැවින් මේ පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කරගැනීම වෙනුවෙන් ඔබතුමා හමුවීමට කඩිනමින් දිනයක් හා වේලාවක් ලබා දීමට කටයුතු කරන ලෙස අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු.”