හැම ගිනි පරදවන කුසගිනි

0
132

ඉකුත් වර්ෂයේ අප්‍රේල් මස 22දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් අප රටට රසායනික පොහොර හා කෘමිනාශක ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ප්‍රකාශ කළේය. ඒ අනුව 2021 අප්‍රේල් 27දා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මඟින් එම තහනමට අනුමැතිය ලබාගත්තේය. එම වර්ෂයේ මැයි 06දා ඒ පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් විය. කිසිදු වග විභාගයකින්, මත විමසීමකින් තොරව ගත් මෙම තීරණය හේතුවෙන් මේ රටේ ගොවි ජනතාව මහමඟට වැටෙන තැනට කටයුතු යෙදිණි. සත්‍යග්‍රහ, පෙළපාළි, උද්ඝෝෂණ, විරෝධතා එකදිගට පෙළගැසෙන්නට විය.

මුලදී අතෘප්තිකර වූ නිසරු පලදාවට ගිනි තැබූ ගොවීහු පසුව කෘෂිකර්ම අමාත්‍යව සිටි මහින්දානන්දගේ පඹයන් හදාගෙන ඒවාටද ගිනි තැබූහ. පහර දුන්හ. උසුළු විසුළුවලට ලක් කළහ. තීරණවල අඥානභාවය ගැන කරුණු හෙළි කළ රජයේ නිලධාරීන්ට තනතුරු හැර දමා ගෙදර යන්නට සිදුවිය. එළැඹෙන ඉරු දිනට එනම් හෙට නොව අනිද්දාට මේ අඥාන තීරණයට වසරක් සපිරෙයි. දැන් ඒ ගැන හඬා ‍ෙදාඩා පසුතැවී පලක් නැත. රට බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

ඊයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි මුජිබර් රහුමාන් කොළඹ ජනතාව බරපතළ ආහාර අර්බුදයකට මැදිව සිටින හැටි ගැන කරුණු කියද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීවේ කොළඹ පමණක් නොව මුළු රටේම ජනතාවට මේ අර්බුදයට මුහුණදෙන්නට සිදුවී ඇති බවය. ඒ වෙනුවෙන් කළ යුතු දේ ගැනද අගමැති කතා කළේය. ආණ්ඩුවේ හිස් ඉඩම් ආණ්ඩුවම මුල් වී අස්වැද්දීමේ ඇති වැදගත්කම ගැන ඔහු කරුණු පැහැදිලි කළේය. මේ හොඳ යෝජනාවකි. අභාග්‍ය මේ යෝජනාව ක්‍රියාවට නඟන්නට සිදුව තිබෙන්නේ පොහොර අර්බුදයට වගකිවයුතු රටේ මුල් පුරවැසියාගේ ආණ්ඩුවේම ඉඳගෙනවීමය.

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරිය කියා කතාවක් තිබේ. එය ඇත්තකි. එහෙත් කවුරුන් හෝ තමන් කළ මෝඩකම් ගැන පසුතැවේ නම් ඒවා යළි නොකරන්නට වගබලා ගන්නා බවද පැහැදිලිය. මුලදී තමා ගත් තීරණ කිසිසේත්ම වෙනස් කරගන්නේ නැතැයි කී ජනාධිපති දැන් බොහෝ තීරණ වෙනස් කරන්නට සිදුවී ඇති බවට ඉඟි පළ කරමින් සිටී. අමාරුවේ වැටුණාට පසුව හෝ අමාරුවේ වැටුණේ කොහොමදැයි සොයා බලනවා නම් මැනවි. රෑ වැටුණු වළේ දහවල නොවැටෙන්නට වගබලා ගත යුතුය.

ශ්‍රී  ලංකාවේ කාබනික ගොවිතැන සඳහා යොදාගෙන ඇත්තේ සමස්ත කෘෂි ඉඩම්වලින් හෙක්ටයාර 73,393ක් පමණි. එය සියයට 2.6ක ප්‍රමාණයකි. මෙබඳු තත්ත්වයක් යටතේ උන්හිටිගමන් කාබනික ගොවිතැනට මුළු රට යොමු කරන්නට සැරසීමෙන් සිදුවුණේ බරපතළ විනාශයකි. රටින් සහල් ගෙන්වන්නට සිදුවන තැනට කටයුතු සැලසුණේ මේ නිසාය. චීනෙන්ද සහල් සහනාධාර අයදින්නට සිදුවුණේ මේ නිසාය.

හඳුනා නොගත් වකුගඩු රෝගයකට හේතුව පොහොර හා රසායනිකවලින් බැහැරවන කැඩ්මියම් හා ආසනික් බවට මතයක් සමාජගත විය. එහෙත් රටින් ගෙන්වූ සහල් සම්බන්ධව එවැනි මතයක් කරළියට ආවේ නැත. අදූරදර්ශීව ගත් අමනෝඥ තීරණ නිවැරැදි බවට ඒත්තු ගන්වන්නට ආණ්ඩුව ගත් පියවර අසාර්ථක වූයේ ගොවි ගැටලු විසඳාලිය හැකි විකල්ප වැඩපිළිවෙළක් කිසිදු පාර්ශ්වයකින් යෝජනා නොවූ හෙයිනි. වසවිසෙන් තොර ආහාර සම්පාදනය ගැන කිය කියා සිටි උදවියටද රටේ උද්ගතව ඇති ආහාර අර්බුදය ගැන නිසි වැටහීමක් නැතිවා සේය. අර්බුදය ක්‍රමයෙන් මුහුකුරා යද්දී කටපියාගෙන පසෙකට වී සිටි මන්ත්‍රි රතන හිමිත් ඊයේ මැති සබයෙහිදී කීවේ තමන්ගෙන් ආණ්ඩුව කිසිදු වැඩක් ගත්තේ නැති බවය. රතන හිමි ඉල්ලා සිටින්නේ කෘෂිකර්ම අමාත්‍ය තනතුරදැයි සැක සිතේ.

අර්බුදය ඇති කළේ කවුරුන්දැයි සොය සොයා චෝදනා නඟ නඟා ඉන්නට දැන් කාලයක් නැත. රටේ ජනතාවගේ ආහාර ගැටලුව වහා විසඳාලන්නට පියවර ගත යුතුව තිබේ. අගමැති වික්‍රමසිංහ හුණුවටයේ නාටකයේ ගෘෘෂා ගැන කියමින් ඉඟි පළ කරන්නේ ඉදිරි කාලය තුළ මුළු රටටම මුහුණදෙන්නට සිදුවිය හැකි දරුණු සාගතයක් පිළිබඳවය. ඉන්ධන, ගෑස්, විදුලිය, අගහිඟකම්ද ආහාර අර්බුදයේම පෙර නිමිතිය. ගොවීන්ට, කර්මාන්තකරුවන්ට සහ පොදුවේ සමස්ත රටවැසියන්ටම එකිනෙක පෙළගැසෙන මේ අගහිඟකම් බරපතළ පීඩා ගෙන දෙනු ඇත.

සියල්ලටම වඩා ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ ආහාර ගැටලුවටය. ඒ සම්බන්ධව පියවර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කොට කඩිනමින් විසඳුම් ඉදිරිපත් කිරීමට කාගෙ කාගේත් සහයෝගය අවශ්‍ය බව ඊයේ අගමැති අවධාරණය කළේය. ඉතිහාසයේ මෙබඳු අර්බුද පැන නැඟුණු බොහෝ අවස්ථාවල අලුත් යෝජනා ඉදිරිපත් වීම අලුත් දෙයක් නම් නොවේ. වැදගත් වන්නේ ඉදිරිපත් වන යෝජනා ප්‍රායෝගික වීම හා ඒවා ඉටු කළ හැකි තැනට කටයුතු සලස්වාලීමය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වුණු මොහොතේ විෂය භාර අමාත්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනා එකතු කොට මුද්‍රණය කළහොත් එය ග්‍රන්ථ ඉතිහාසයේ ලොකුම පොත වනු ඇත. එහෙත් ඒ යෝජනාවලින් ඵලදායක වුණේ කීයෙන් කීයද? රටට යම් යහපතක් උදාකළේ කොයි යෝජනාවද? සාර්ථකව ක්‍රියාවට නැඟුණු එකම යෝජනාව රටින් රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමය. ඒ යෝජනාව ගෙන ආ අයත් ඊට අනුබල දුන් අයත් අන්තිමට කීවේ ඒ වැඩේ නොකළා නම් හොඳ බවය.

හුණුවටය නාටකයට පසුබිම් වූ කතන්දරය ජනප්‍රවාදයක් වුවත් එහි සැබෑ වස්තුබීජය ගොවිබිම් පිළිබඳ අරගලයකි. බිහිසුණු යුද අරගල මැද ජන ජීවිතය අවුල් වියවුල් කළ කාලපරිච්ඡේදයකි. නඩු විභාග විසඳූ අසඩක් පල් හොරෙකි. විනිශ්චය අහඹුවකි. රටක අර්බුද විසඳාලනු හැකි වන්නේ ඒ ඒ විෂය ක්ෂේත්‍ර පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති, මනා අත්දැකීම් ඇති උදවියටය. රනිල් ඒ බව හරියට වටහා ගත්තොත් අත ඇති දරු පැටවා බේරාගෙන වැල් පාලමෙන් ගොඩයන්නට ඔහු අසමත් නොවනු ඇත.