රට හදන තැන

0
94

ගාලුමුව‍ෙදාර පිටියේදී මැයි මස 09 වැනිදා සිදුවූ පහරදීම් සහ මැති-ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තැබීම් හා අලාභහානි කිරීමේ සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස් (පාර්ලිමේන්තුව අද (20දා) පෙරවරු 10.00ට යළි රැස්වෙයි)

මාධ්‍යවේදීන්ට අත තියන්න ජනාධිපතිටවත් අයිතියක් නැහැ  : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

“ඇයි මේ අලුත් රෙගුලාසි? මාධ්‍ය මර්දනය කරන්න එපා.” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

“ස්වර්ණවාහිනියේ හා සිරසේ මාධ්‍යවේදීන් දෙපළට සිදුවූ අකරතැබ්බය මම හෙළිදරව් කළා. මම කැමැතියි ඔබතුමාගේ ප්‍රකාශය අනුකූලව කරුණු කිහිපයක් කියන්න.

ඔබේ ප්‍රකාශයෙ කීවා වෛද්‍ය මධ්‍යස්ථානය හා පුස්තකාලය අතර පමණක් ඔය වොයිස් කට්ස් ගන්න එක කරන්න කියලා. ඔබතුමත් මමත් මේ පාර්ලිමේන්තුවේ සියලුදෙනාත් දන්න කාරණාවක් තමයි කෝප් එක පවත්වන කෝපා එක පවත්වන ඒවගේම අනෙකුත් කමිටු පවත්වන අනෙකුත් කාමර දක්වා මෙතෙක් කල් මේ සියලුම මාධ්‍යවේදීන් ආවා. මම දන්නෙ නෑ ඉරක්ද කියලා. මේකයි ඇත්ත. අපි සියලුදෙනාම පාහේ අවංකවම කීවොත් මේ හැම කාමරයක් ළඟටම ආපු මාධ්‍යවේදී මහත්වරුන්ට මොන ෆෝන් එකෙන් වුණත්, කැමරාවෙන් වුණත් අපි වොයිස්කට්ස් දීලා තියෙනවා.

ඉතින් මම කියන්න කැමැතියි මොන ඇල ඉර යටතේ නියෝග පැනවූවත් මේ දේ සිදුවුණා. මේක සුපුරුදු ක්‍රියාවක්. ඒ නිසා ඔබතුමා වගබලා ගන්න ඕනේ මෙහෙම රෙගුලාසියක් තිබුණ නම් මෙතෙක් ක්‍රියාත්මක නොවුණෙ ඇයි. මාධ්‍ය නිදහස මෙතෙක් තිබ්බා. අපි සියලුදෙනා කමිටු කාමරවලින් එළියට ආපුගමන් මාධ්‍යට ප්‍රකාශ දීලා තියෙනවා. මට වගකීමෙන් කියන්න පුළුවන්. එක අවස්ථාවකදී කමිටු කාමරයකින් එළියට ඇවිත් මම ගාව, සාක්ෂි ඇතිව තියෙනවා.

දේශීය නෙවේ විදේශීය අල් ජසීරා නාළිකාවටත් මම ප්‍රකාශයක් දුන්නා. දුන්න තැනත් මම කියන්නම්. මේ පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනය තුළ මන්ත්‍රිවරුන්ට වරප්‍රසාද තියෙනවා. ඒත් නිදහස් මාධ්‍යවේදීන්ගෙන් ෆෝන් උදුරගන්න කිසිසේත්ම වුවමනාවක් නෑ. අයිතියක් නෑ. ඒකට ඔබතුමා පියවරක් ගන්න. මේක වහන්න එපා. සම්පූර්ණ වැරැදියි. ඕනේ නම් ඒ මන්ත්‍රි දෙපළට මේ සභාවට ඇවිල්ලා අපේ අතින් අත්වැරැද්දක් වුණා කියලා කනගාටුව පළකරන්න, සමාව ගන්න පුළුවන්. එතැනින් කතාව ඉවර කරන්න පුළුවන්. ඒත් මේ ඉරවල් ගැන කතා කරලා හංගන්න හදන්න එපා. මේ සභා ගර්භයට මෙහෙම කීවට සමාවෙන්න. මේක මේ සභාව නොමඟ යැවීමක්.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කුමන පාර්ශ්වයක වුණත් මාධ්‍යවේදීන්ට අත තියන්න මොනම මන්ත්‍රිවරයකුට හෝ මොන යකාටවත් ජනාධිපතිටවත් අයිතියක් නෑ. අගමැතිට, විපක්ෂ නායකට හෝ 225ටම අයිතියකුත් නෑ. 

ඊයේ දිනයේ මේ සභාවේ කතා කළා රටේ තිබෙන ඔෟෂධ ප්‍රශ්නය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තිබෙන බරපතළ ගැටලු – ප්‍රශ්න ගැන. මම කැමැතියි අපි සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම සමඟ ආරම්භ කර තිබෙන ඖෂධ හිඟයට රෝහල් උපකරණ හිඟයට ලබාදෙන විසඳුම්වල ප්‍රගතියක් ඉදිරිපත් කරන්න හා ඉදිරි වැඩසටහන දැනුවත් කරන්න.

හැමෝම දන්නවා අපි කොවිඩ් සමඟ ආරම්භ කළා ජාතික වැඩසටහන් දෙකක්. එකක් අධ්‍යාපනික වශයෙන් ‘සක්වළ’ වැඩසටහන. සෞඛ්‍ය අංශයෙන්’ ‘හුස්ම’ වැඩසටහන. මේ වැඩසටහන් දෙකටම අපට දායකත්වය අනුග්‍රහය ලබාදෙන්නේ සමගි ජන බලවේගයේ සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ දීමනා, වැටුප්, අපි සංවිධායකවරුන්, සම හා දිස්ත්‍රික් සංවිධායකවරුන්, සහායක සංවිධායකවරු, පාක්ෂිකයන්, දෙස් – විදෙස් සමගි ජන බලවේගයේ සංවිධාන. වැඩසටහන අපි ආරම්භ කළෙ 2020 අප්‍රේල් සිට. ඒක අද වෙනකම් අපි කරගෙන ආවා. ඊයේ දවසේ සාකච්ඡාව තුළ ඔෟෂධ පිළිබඳ යෝජනාව ආවා.

ඔෟෂධ විතරක් නොවෙයි ලක්ෂ 370ක රෝහල් උපකරණ ලබාගෙන දෙනවා. ලක්ෂ 1,386ක වැඩසටහනේ තවත් දිගුවක් ලෙසට. ඒ වගේම අපි සක්වළ වැඩසටහන පාසල් 100කට ක්‍රියාත්මක කරනවා වගේම  මේ රටේ ජීවිත බේරාගන්නා වූ මේ ඔෟෂධ වර්ග දෙක අපිට හැකි ප්‍ර‍මාණයෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ පිළිබඳ වාද විවාද මැද්දේ මෙම ධනාත්මක පණිවුඩය රජයටත් රටටත් මම ප්‍රකාශ කළ යුතුයි.

එමෙන්ම මාධ්‍යවල බොහෝම ප්‍රචලිතයි දෙපැත්තක් තර්ක විතර්ක කරගන්නවා. ඒවා  ක්‍රියාත්මක වෙනකොට එකඟතාවන් ඇති වන දේවල් බොහෝම තියෙනවා. විනිවිදකරණයේ නාමයෙන් මම යෝජනා කරනවා කමිටු ක්‍රමය මාධ්‍යවලින් රටට පෙන්වන්න. එතැනදී රටටත් පේනවා සුපුරුදු අදහස් හුවමාරුව පමණක් නෙවෙයි අවබෝධතාවයෙන් එකඟතාවක් ඇතිව දෙගොල්ල දෙපැත්තෙ ඉඳලා එක පැත්තකට එන්න ඕනේ කියලා එකක් නෑ. දෙගොල්ල දෙපැත්තෙ ඉඳලා වැඩකරන ආකාරය බොහොම ආදර්ශ්වත්ව පෙන්වන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරනවා කමිටු ක්‍රමයත් කාමරවල කරනවා වෙනුවට පෙන්නන්න කියලා.

කථානායකතුමනි, මේ බෙහෙත් පිළිබඳ මම උපදෙස් ගන්නේ වෛද්‍යවරුන්ගෙන්. ඔබතුමාට කියන්න ඕනේ හයිඩේ‍රාක්සික්ලෝරෆීන් ගැන කතා කළත් ප්ලැකනිල් ගැන කතා කරන වෙලාවෙත් එන්නත් ගැන කතා කරන වෙලාවෙත් ඒ මේ රටේ ප්‍රවීණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඉඳලා කතා කරන්නේ. මම සඳහන් කරන්නම් ඩොක්ටර් හම්ඩානි තමා මේක කෝඩිනේට් කරන්නේ. මට ඕන විධියට මම බෙහෙත් ගේන්න යන්නේ නෑ.

වෛද්‍ය උපදෙස් මත තමයි මම බෙහෙත් ගෙන්නන්නේ. එතුමා තමයි මට දුන්නේ මේ නම් දෙක ස්ට්‍රෙප්ටුකයිනේස් එතුමා මම හිතන්නෙ විශේෂඥ වෛද්‍යවරුන් එක්ක කතා කරලා ඔෟෂධ සංස්ථාවේ සභාපති සමඟ කතාකරලා තමයි මට කීවේ. ඒ වගේම ග්ලයිසරිල් ට්‍රයිනයිට්‍රේල් GTM ඔන්න ඔය ඔෟෂධ දෙක. ටැබ්ලට් එකක්. අනෙක් එක එන්නතක්. අපි ඒ දෙකට පූර්ණ දායකත්වයක් ලබාදෙනවා. විකෘති කරන්න එපා. මේවා මේ අපිට ඕන බෙහෙත් නෙවේ. එදා වගේම අපි අද දවසෙත් වෛද්‍ය උපදෙස් මත තමයි බෙහෙත් ගෙන්නන්නේ.”

ජනපතිගේ ඉඳලා  කිසිම කෙනකුට සතයක්වත් අඩුවෙන් ඉන්ධන නිකුත් කරන්නේ නැහැ  : ඇමැති කංචන විජේසේකර

ඊයේ රාත්‍රියේ ඉඳලා සමාජයේ වැරදි මතයක් පළවීම තුළ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රිවරුන්ට බරපතළ අසාධාරණයක් සිදුවී තිබෙනවා යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය.

ඛනිජ තෙල් සංස්ථාව මේ මොහොතේදීවත් මීට පෙරදිවත් කිසිම අවස්ථාවක කිසිම මන්ත්‍රිවරයෙක්ට වෙළෙඳපොළ මිලෙන් අඩු මුදලකට කොහෙවත් තෙල් මිලදී ගැනීම සඳහා ඉඩ සලසලා දීලා නැහැ. ඒක මේ මොහොතේ දීලත් නැහැ. මීට පෙර  දීලත් නැහැ. ඉදිරියට දෙන්නෙත් නැහැ. ඒක වැරදි විදිහට සමාජගත වෙච්ච දෙයක්.

මේ පිළිබඳව අද සමාජයේ කතිකාවක් ඇතිවෙලා තියෙන්නේ ඉන්ධන අර්බුදයත් එක්කයි. ඔබතුමා විශේෂයෙන්ම පොලිස්පතිගෙන් ඉල්ලීමක් කරලා තිබුණා පසුගිය දවසේ පාර්ලිමේන්තු භූමියේදී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රිවරුන්ට ඒ අවශ්‍ය ඉන්ධන පහසුකම් ලබාගැනීම සඳහා යම් ඉඩකඩක් ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව.

එතකොට මේ පොලිස් ස්ථානයේ පවතින ඉන්ධන පිරවුම් හලෙන් සාමාන්‍යයෙන් අලෙවිය සිදු කරන්නේ නැහැ. පොලිසිය මිලදී ගැනීමේ කටයුත්ත කරනවා. අපිට ඒ අදාළ මුදල් ගෙවලා ඉවර වෙලා තමයි ඉන්ධන මිලදී ගැනීමේ කටයුත්ත පොලිසිය විසින් සිදු කරන්නේ. ඒ වගේම පොලිසියේ නිලධාරීන් නිකුත් කරන්නේ මුදලට නෙවෙයි. ඔවුන්ට ලීටර් ප්‍රමාණයට පමණයි ඔවුන්ගේ නාරාහේන්පිට ගරාජයෙන් නිකුත් කිරීමේ කටයුත්ත කරන්නේ. ඒක තමයි මෙතෙක් පැවැති සාම්ප්‍රදායික ක්‍රමය.

ඒ වගේම ඔබලාගේ ඉල්ලීම මත පොලිස්පතිවරයා අපෙන් ඉල්ලීමක් කළාම මේ අදාළ දින කිහිපය පමණක් අත්පිට මුදලට ලබා දෙන්න කටයුතු කරන්න කියන එක ඛනිජ තෙල් සංස්ථාව පැහැදිලිවම ඔවුන්ට ලිඛිතව අවසරය ලබා දීල තිබුණේ වෙළෙඳපොළේ පවතින සිල්ලර මිලට ඒ කියන්නේ පෙට්රල් ලීටරයක් ගත්තොත් එහෙම 334.19ක මුදල. ඒ වගේම ඩීසල් ලීටරයක් 289.13 කියන මුදල. මේ මුදලට පවතින කොන්දේසි යටතේ ඒ කියන්නේ මේ රටේ මේ වෙලාවේ පවතින්නේ රුපියල් 8000යි උපරිම මුදලකට තමයි ඉන්ධන පිරවුම් හල්වල ඕනෑම කෙනෙක්ට ඉන්ධන ලබා දෙන්නේ. අපි ප්‍රවාහන කටයුතු කරන ඒවාට විතරයි සීමාවක් නොමැතිව ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000, මෝටර් සයිකල් සඳහා රුපියල් 2000යි. මේක තමයි පවතින නීතිය.

මේ නීති යටතේ තමයි පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරන අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් අයට අත්පිට මුදලට ලබාදීමේ කටයුත්ත තීරණය කරන්න කියලා තිබුණේ. තමුන් බරපතළ වැරැද්දක් සිද්ධ කරලා තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ ගරාජය විසින් වීරසුමන මන්ත්‍රිතුමා කිව්වා වගේ මේ තිබෙන ඩිස්පෙන්සර් එක යාවත්කාලීන කරලා නැහැ. අවුරු 3,4කින්. මේ 121ක අගය තියෙන්නේ මාස කිහිපයකට පෙර තිබුණු අගයක්. ඔවුන් ඒ තාක්ෂණික වැරැද්ද සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා අපි වහාම විශේෂයෙන් අත්පිට මුදලට වෙළෙඳපොළේ පවතින මුදලට ලබා දෙන එකත් අද උදෑසන ඉඳලා නවත්වන්න කියන එක ඔවුන්ව දැනුවත් කරලා තියෙනවා.

ඒ වගේම මේක යාවත්කාලීන නොකිරීම පිළිබඳව අපි පරීක්ෂණයක් පවත්වන්නැයි කියලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ කිසිම මන්ත්‍රිවරයෙක්ට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ ජනාධිපතිවරයා වෙන්න පුළුවන්. ඔබතුමා වෙන්න පුළුවන්. අගමැතිවරයා, විපක්ෂ නායකවරයා වෙන්න පුළුවන්. ඇමැතිවරු කිසිම කෙනෙක්ට වෙළෙඳපොළේ පවතින මිලට සතයක්වත් අඩුවෙන් ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීලා නැහැ කියන එක පැහැදිලිවම කියන්න ඕනෑ. ඒක ලබා දෙන්න කටයුතු කරන්නෙත් නැහැ.

නමුත් අපි ක්‍රමයක් ලබාදීලා තිබුණා හැම ඉන්ධන පිරවුම්හලකම ප්‍රාදේශීය ලේකම්වරයාගේ බලප්‍රදේශයක එහෙම නැත්නම් පොලිස් බල ප්‍රදේශයක එක ඉන්ධන පිරවුම්හලක් විශේෂයෙන්ම රෝහල්වලට අවශ්‍ය ගිලන් රථවලට ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කරන පොලිසියේ හෝ හමුදාවේ රථවලට. අපෙන් ඉල්ලීම් කරලා තිබුණා. මේ අධිකරණ පද්ධතියේ ඉන්න පිරිස් පිළිබඳ. නමුත් ඒ කිසිවකට දුන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා සඳහා පවත්වාගෙන යන ගිලන් රථ සඳහා පමණමයි අපි ඒ කටයුත්තට අවසර ලබා දී තිබුණේ.

ඒ නිසා අද ඉඳලා අපි මේ පිළිබඳව වඩාත් නිරීක්ෂණය කරනවා. පරීක්‍ෂණ කටයුතු කරනවා, එහෙම කවුරු හරි වෙනත් ක්‍රමයක් සිදු කරලා තියෙනවද කියලා.

මාධ්‍ය මේක නොදැනුවත්ව නොවේ. මාධ්‍ය මේක දැනුවත්ව තමයි මේ දිගින් දිගටම මන්ත්‍රිවරු තුළ හිතාමතා වෛරය ඇති කිරීම සඳහා කළ කාරණයක් කියනවා. ඒ නිසා ඔබතුමාගේ වගකීමක් තියෙනවා එවැනි ආයතනවලට කතා කරලා ඒක නිවැරැදි කිරීමටත් ඔවුන් නිවැරැදි කිරීමට කටයුතු කරන්නේ නැත්නම් විශේෂයෙන්ම මේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ පියවර ගන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

අහිංසක මන්ත්‍රිවරයෙක් මරා දැමීමට පාර්ලිමේන්තුවේ සිටින 225 තුළ සිටින  ‘බූරු රැළ’ හේතු වුණා  :  වීරසුමන වීරසිංහ

පාර්ලිමේන්තුවේ සිටි අහිංසක මන්ත්‍රිවරයෙක් මරා දැමීමට පාර්ලිමේන්තුවේ සිටින 225 ම කියන ‘බූරු රැළ” හේතුවී යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“අද ඇඳගෙන ඉන්න ඇඳුමක් පවා නැති මන්ත්‍රිවරු සිටින බවත් මේ පාර්ලිමේන්තුව රැස්වන වාරයක් වාරයක් පාසා එළියේ තියෙන වෛරය වැඩිවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ මහතා පැවැසීය.

කථානායකතුමනි, ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ 225ම ආරක්‍ෂාව රකින එක්කෙනා. ඔබතුමා දන්නවා ඔබතුමා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ම්ලේච්ඡ විදිහට ඝාතනය කළා. මේ පාර්ලිමේන්තුවේ අහිංසක මන්ත්‍රිවරයෙක්. ඒ මන්ත්‍රිවරයාගේ ඝාතනයට වගකියන්න ඕන මේ 225 ඉන්න බූරු රැළ.

මේ පාර්ලිමේන්තුව වෛරයෙන් වැපිරුවා පසුගිය මාස දෙක තුනේම. ඔබතුමාට මම කිව්වා මෙහෙම ගියොත් 225ටම ගෝල්ෆේස් එකේ ගුටි කන්න වෙනවා කියලා. ඔබතුමා පෞද්ගලිකව අපි ගැන දන්නවා. අපි රුපියලක්වත් හොරකම් නොකරපු මිනිස්සු. අද පණ බයේ ජීවත් වෙනවා.

අද ඇඳගෙන ඉන්න ඇඳුමත් නැති මන්ත්‍රිවරු ගණනාවක් ඉන්නවා මේ ඇවිල්ලා මෙතන ජනප්‍රිය වෙන්න රූපවාහිනියටයි අරවටයි මේවටයි කතා කරනවා.

ගොවි ජනතාව පාරට  ඇද දාලා වැලේ වැල් නැතිව හිටපු විපක්ෂයට ජනපතිවරයා සටන් භූමියක් හදා දුන්නා  : නිමල් පියතිස්ස

රටේ ජනගහනයෙන් 70%ක් පමණ වන ගොවි ජනතාව පාරට ඇද දාලා එල්ලෙන්න වැලේ වැල් නැතිව හිටපු විපක්ෂයට සටන් භූමි හදල විපක්ෂයට ස්වර්ණමය අවස්ථාවක් සලසා දුන්නේ ජනාධිපතිවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස පැවැසීය.

“අපි 1977 ඉඳලා මේ වෙනකල් පවත්වාගෙන යන විවෘත ආර්ථික ක්‍රියාවලිය නමැති රටටත් අපටත් රටේ සභ්‍යත්වයට මෙන්ම සංස්කෘතියටත් නොගැළපෙන ආර්ථික ක්‍රමවේදයක් කරපින්නාගෙන ඇවිත් ඒ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලයක් විදිහට අද අපේ රටේ ජාතික ආර්ථිකයක් නැති, නිෂ්පාදන ආර්ථිකයක් නැති රටක් විධියට එන අභියෝගවලට මුහුණ දෙන්න බැරි වාතාවරණයක් නිර්මාණය කර ගත්තා. ගත වෙච්ච කාලපරිච්ඡේදය පුරාවටම ආණ්ඩු කරපු නායකයෝ සහ ආණ්ඩුව මේ කටයුත්තට වගකියන්න ඕනෑ.

හැබැයි මේ සමස්ත අනතුර හඳුනා ගන්න අපි විශේෂයෙන් 70, 80, 90, 2000 දශකයන් තුළ මේ පවතින සහ පවත්වාගෙන ආපු වැරැදි ආර්ථික ක්‍රමය වෙනස් කරලා රටට ගැළපෙන ආකාරයට පරිවර්තනය කරන්න, රටේ මහපොළොවට, මහජනයාට ගැළපෙන විදිහට ප්‍රතිනිර්මාණය කරන්න සියලුම ආණ්ඩු සහ ආණ්ඩුවල නායකයෝ අසමත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2019 වනවිට අලුත් බලාපොරොත්තුවක් තබා ගන්න මේ රටේ ජනතාව 69 ලක්ෂයකගේ ජනමතයට අනුකූලව නව ජනාධිපතිවරයෙක්, දේශපාලකයෙක් නොවන ජනාධිපතිවරයෙක් මේ රටේ ජනතාව නිර්මාණය කර ගත්තේ. ඔහු පිළිබඳව මේ රටේ තරුණ පරපුර, සමස්ත ජනතාව, රාජ්‍ය සේවකයෝ, මහ සංඝරත්නය විශාල බලාපොරොත්තුවක් තබලා තමයි ඔහුට මේ අවස්ථාව ලබා දුන්නේ.

විපක්ෂය විදිහට ගත්තාම එල්ලෙන්න වැලේ වැල් නොතිබුණ වටපිටාවක ජනාධිපතිවරයා තමයි සමස්ත රටේ 70%ට වඩා වැඩි ජනගහනයක් විදිහට අපි සලකන ගොවි ජනතාව පාරට ඇදලා දැම්මේ. සටන් භූමි හදලා විපක්ෂයට ස්වර්ණමය අවස්ථාවක් ලබා දුන්නේ.”    

තෝරු මෝරු හිටිද්දී  හාල්මැස්සන් ඇල්ලීම  නීතිය හරිහැටි  ක්‍රියාත්මක  කිරීමක් නෙවෙයි  : හර්ෂණ රාජකරුණා

පාර්ලිමේන්තුවේ දවස් තුනක් පුරා කතා කරන දේවල් දිහා බැලුවම ආපහු ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මකවේද කියන සැකය තිබෙනවා යැයි සජබ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පැවැසීය.

“දැන් අපිට තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීම පමණයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී උදේ හවස සිදු වූ සියලු දේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඕනේ. අද අපි කවුරුත් දන්නවා අරලියගහ මන්දිරයේදී ඒ ප්‍රකෝපකාරී වැඩපිළිවෙළ නිසා තමයි හවස්වරුවේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වුණේ කියලා. මම ඒක කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. පෙරවරුවේ වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඊට වඩා අනුමත කරන්නේ නෑ. මේ වෙච්ච දේ පිළිබඳව මේ මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා නීතිය ක්‍රියාත්මක කරයිද කියලා. අද පාර්ලිමේන්තුවේ ඉන්න ඔබ දන්නවා මන්ත්‍රිවරු දෙන්නෙක්ව අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

ඒක හරියට මුහුදෙ ඉන්න හාල්මැස්සො දෙන්නෙක් ඇල්ලුවා වගේ වැඩක්. තෝරු මෝරු ටික තාම නිදැල්ලේ. හාල්මැස්සො දෙන්නෙක් අත්අඩංගුවට ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීම නොවේ. නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා නම් අද මේ ඉදිරියේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, හිටපු කැබිනට් ඇමැතිවරු, හිටපු අග්‍රාමාත්‍යවරු මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනි. එහෙමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි සාධාරණය ක්‍රියාත්මක වෙන්නේ.”

වගකීම  රනිල්ට දීලා ජනපතිට ගැලවෙන්න බැහැ : එස්.වී. රාධා ක්‍රිෂ්ණන්

ලිබියාවේ ගඩාෆි මහ මඟ මරා දැම්මේ ඒකාධිපතියෙක් වූ නිසා. අපේ ජනාධිපති  එවන් තත්ත්වයකට පත් නොවෙන්න කටයුතු කළ යුතු යැයි සජබ මන්ත්‍රි එස්.වී. රාධා ක්‍රිෂ්ණන් පැවැසීය.

“පසුගියදා සිදු වූ සිද්ධිය මේ රටට අලුත් සිද්ධියක් නෙමෙයි. මීට පෙර සිදු වූ දේවල්වලින් දසදහස් ජනතාව දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව මෙවැනි තත්ත්වයන්ට මුහුණදීලා තිබෙනවා. අපි ඒ ඉතිහාසය දන්නවා. කොහොම වුණත් මෙවන් ක්‍රියාකාරකම්  සිදුවීම  අපිට අනුමත කරන්න බෑ. රටේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රශ්න ආර්ථික කඩාවැටීම හා ඒ තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ හේතු කියන්නට පුළුවන්. මේ දේශපාලන අස්ථාවරභාවය නැති කිරීමට සියලු දෙනා සහාය දැක්විය යුතුයි.

එසේම අද රට තුළ මෙම තත්ත්වයට හේතුව වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. ඔහු ජනාධිපති  පදවියෙන් ඉවත්විය යුතුයි කියන ඉල්ලීම සියල්ලන්ගේම ඉල්ලීමක් වෙලා තියෙනවා. ඔහු මෙම තනතුරේ තවදුරටත් රැඳී සිටීම තමයි ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. ජනාධිපතිවරයා තමන්ගේ කටයුතු රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්කර බේරෙන්නට පුළුවන් කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. අදත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව  මේ රටේ සම්පූර්ණ බලය සහිත ජනාධිපති හැටියට තමයි එතුමා සිටින්නේ.”

ම්ලේච්ඡ තිරිසන් සංස්කෘතියෙන් දැන්වත් අප මිදිය යුතුයි : ඉමිතියාස් බාකීර් මාකාර්

“දැන්වත් මේ ම්ලේච්ඡ තිරිසන් සහගත සංස්කෘතියෙන් සමාජයක් ලෙස අප මිදිය යුතුව තිබෙනවා” යැයි සජබ මන්ත්‍රි ඉම්තියාස් බාකීර් මාකාර් පැවැසීය.

මේ ගැන සඳහන් කිරීමේදී අප අදහන ශේ‍ර්ෂ්ඨ ආගම් තරම් වටිනා මඟපෙන්වීම් මගේ සිහියට එනවා, ධම්මපදය ගාථාව තුළින් කියවෙන වෛරය ජයගත හැක්කේ අවෛරයෙන්ම බවට අදහස මට මතක් වෙනවා. කේන්ති ගැනීම තුළින්, වෛර කිරීම තුළින් සැනසීමක් ලබාගත නොහැකි බව අපේ සියලු ආගම්වල අපට උගන්වනවා. එදා සාමකාමී බව අවිහිංසාවාදී හා නිර්මාණශීලී බව හේතුවෙන් මේ උද්ඝෝෂණ පෙන්නුම් කෙරුණේ තමන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කිරීමයි.

අද ලෝකයේ තාක්ෂණයේ දියුණුව නිසා එදා ඒ තීරණාත්මක දිනයේදී සිදුවූයේ කුමක්ද කියා අප කාටවත් වසන් කරන්නට බෑ.

දැන් සිදුවිය යුත්තේ වගකිවයුත්තන්ගේ වචන හරඹවලින් හෝ කාලයා විසින් මේ සියල්ලේ උණුසුම නිවී යනු ඇතැයි සිතමින් උපායමාර්ග උප්පරවැට්ටි යෙදීම නොව සාධාරණත්වය යුක්තිය ඉටු කිරීම සඳහා නීතිය තරාතිරම නොබලා නිවැරදිව ක්‍රියාවට නැඟීමයි.

මේ උද්ඝෝෂණයන් හා සම්බන්ධ කරන වදහිංසා පැමිණවීම් දේපළ හානි ගැන සැලකිලිමත් වෙනවා මෙන්ම මේ තත්ත්වයන් නිර්මාණය වීමට මුල් වූ නිධානය අප ඇමැතිය යුතුව තිබෙනවා.”

රට බංකොලොත් කළ ජනාධිපති එක්ක ආණ්ඩු හදන්න අපි සූදානම් නැහැ : ලක්ෂ්මන් කිරිඇල්ල

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩු හදන්න අපි සූදානම් නෑ. එහෙම හදලා වැඩකුත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා නැති සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි සූදානම්. අපේ රට බංකොලොත් වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

“පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට අත්වූ ඉරණම පිළිබඳව මා කම්පා වෙනවා. අපි පාර්ලිමේන්තුවේ වාද විවාද කෙරුවට අපි කවුරුත් හතුරෝ නෙවේ. සමහර අයගේ පරම්පරාවෙන් ලැබුණු දේපළ පවා විනාශ වෙලා තිබුණා. රුපියල් සතවලින් එම හානිය මනින්න බෑ. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ කෙහෙළිය ඇමැතිතුමාගේ නිවෙස, මොකද එතුමා පාර්ලිමේන්තුවට එන්න කලිනුයි ඒ නිවෙස හැදුවේ.

මේවා ඇත්ත වශයෙන්ම මංකොල්ලකාරයන්ගේ වැඩ. එම නිසා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වත්මන් ආණ්ඩුව පටන් ගත්ත දවසේ සිට නීතිය ක්‍රියාත්මක කරන්න මුල්තැන දුන්නේ නෑ. 20 වැනි සංශෝධනය ගෙනාවා. 19 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවට, කථානායකතුමාට තිබ්බ බලතල ජනාධිපතිවරයාට දුන්නා. ඒ බලතල හරියට පාවිච්චි නොකළ නිසයි මේ හැම ප්‍රශ්නයක්ම ඇතිවුණෙත්. ගෝඨා ගෝ හෝම් ඇතිවුණේ ඒ නිසයි. ජනතාව ගෝඨා ගෝ හෝම් කිව්වට අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි ගෙදර ගියේ. ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නෑ.

වර්තමාන අග්‍රවිනිසුරුතුමා නීතිපති කාලයේ පවරපු නඩු 35ක් නි‍ෙදාස් කොට නිදහස්. මේවා හොඳට හොයලා බලලා පරීක්ෂා කරලා දාපු නඩු. එහෙම බොරු නඩු පවරන්නේ නෑ. නීතිය විහිළුවක් වුණා. මොකක්ද කරන්නේ හරියට මේ නඩු මෙහෙය වන්නේ නෑ. දුර්වල සාක්කි මෙහෙය වෙනවා. වත්මන් ආණ්ඩුව දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පච වෙලා ඉන්නේ. එහෙම පච වෙලත් තාම එල්ලීගෙන ඉන්නවා. දැන් ආණ්ඩුවක් හැදුවා.

නමුත් අයි.එම්.එෆ්. කිව්වේ ඒ අය උදවු කරන්නේ නව ආණ්ඩුවකට කියලා. මේක අලුත් ආණ්ඩුවක්ද? පරණන වයින් අලුත් බෝතල්වල. තවම කැබිනට් එක පත් කර ගන්න බැරි වුණා. මම එකක් කියන්නම් ගෝඨාභය රාජපක්ෂ යටතේ හදන කිසිම ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නෑ. අයි.එම්.එෆ්. ණය ලැබුණත් ලැබෙන්නේ ඉතාමත් සුළු මුදලක්. ජනතා මතය ඉස්මතු වන අලුත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ.”

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි