බුලත් කරටි-බෙලි කොළදෙහි ඇතුළත්-සෙම බහුල ඇදුම රෝගයට ප්‍රතිකාරයක්

0
125

පෙණහලු තුළට වාතය ගෙනියන්නේ නාළ පද්ධතියක් මඟින්. මෙම නාළ පද්ධතියේ ආස්තරණයක් පවතින අතර එය සිනිදු මතුපිටකින් යුක්තව පවතිනවා.

සාමාන්‍ය අවස්ථාවලදී මෙහි කිසිදු අවහිරතාවක් පවතින්නේ නෑ. ඒ නිසා මේ නාළ පද්ධතිය හරහා පෙණහලු තුළට වගේම පෙණහලුවලින් පිටතටත් බාධාවකින් තොරව වාතය ගමන් කිරීම සිදුවනවා.

නමුත් ඇදුම රෝගය වැලඳුණාම පෙණහලු තුළට වාතය ගෙනයන මේ නාළ පද්ධතියේ ආස්තරණයේ ප්‍රදාහයක් (Inflammation) ඇතිවෙනවා. එම නිසා මෙම නාළ පද්ධතිය තුළ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ශ්ලේෂ්මල (Mucous) ප්‍රමාණයක් නිපදවනවා. මෙවැනි අවස්ථාවක මෙම නාළ පද්ධතිය හරහා වාතය ගමන් කරන්නේ මඳ අපහසුතාවක් සහිතවයි.

එවිට කැස්ස, පපුවේ තද ස්වභාවය, පපුවේ රාං රූං ශබ්දය, හුස්ම ගැනීමේ අපහසුතාව හා වෙහෙසකර ස්වභාවය ඇතිවීමට පුළුවන්.

තවද හිසේ බර ගතිය, නාසයේ වේළුණු ස්වභාවය, හිස, නළල ආශ්‍රිත තද වේදනාවද ඇතිවිය හැකියි. මේ රෝගය උත්සන්න වූ අවස්ථාවක ප්‍රදාහය, ශ්ලේෂ්මල ශ්‍රාවය හා ශ්වාසනාළයේ ඇති සිනිදු පේශී සංකෝචනය මඟින් තවදුරටත් වර්ධනය වන නිසා කුහර ගොඩක් පටු වෙන්න පුළුවන්. මෙහිදී මෙම ශ්වාසනාළ කෙළවර තිබෙන ගර්ත නමින් හඳුන්වන කෝෂ තුළ වාතය සිරවීමට පුළුවන්. එවැනි අවස්ථාවක දරුණු ලෙස කැස්ස, රාං රූං ශබ්ද වගේම හුස්ම ගැනීමේ අපහසුතාවද ඇතිවන්න පුළුවන්. මෙම රෝගීන්ට ප්‍රධාන වශයෙන්ම නිදාගැනීමට අපහසුතාවක් පවතින අතර එවිට හුස්ම හිරවීම සිදුවන බව රෝගියාට දැනීම සිදුවනවා.   

ඔබත් ඇදුම රෝගියෙක් නම් සෙම් බහුල හා ශීතල ආහාර ගැනීමෙන් වළකින්න. ශීතල පරිසර සාධකවලට නිරාවරණ වීමෙන් වැළැකිය යුතුයි. දූවිලි වැනි සාධක ද මෙම රෝගීන්ට ඉතා අගුණයි.

එසේම ඇදුම රෝගීන්ට වැටකොළු,  වම්බටු,  මෑකරල්, නිවිති, සාරණ, තම්පලා, බණ්ඩක්කා වැනි දේ ඉතා අගුණයි.

ඇදුම රෝගීන් පානය සඳහා උණුවතුරද නෑම හා සේදීම් කටයුතු සඳහා ඇල්වතුර පාවිච්චිය ද සෙම් සහිත ආහාරවලින් වැළැකී  සිටීමද කළ යුතුයි.   

ඇදුම ඇතුළු ඕනෑම සෙම් රෝගයක් ආයුර්වේදීය ප්‍රතිකාර මඟින් සුව කරගත හැකිය. මුලින්ම කළ යුත්තේ ශරීරයේ ලේවලින් සෙම සෑදීම පාලනය කිරීමය. සෙම් සහිත ආහාරපාන පාලනය කර නිවැරදිව ආයුර්වේද ප්‍රතිකාරවලට යොමු වුවහොත් සෙම් සහිත ඇදුම තත්ත්වය නිට්ටාවටම සුව කරගත හැකියි. 

නවීන වෛද්‍ය විද්‍යානුකූලව රෝගීන් ශ්වසන යන්ත්‍ර (Inhaler) පාවිච්චියට පුරුදු වී සිටියි. මින් ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ ශ්වාසනාළ පළල් කර ශ්වසන ක්‍රියාවලිය පහසු කරදීමයි. නමුත් කිසිවිටකත් ඉන් සුව වීමක් බලාපොරොත්තු විය නොහැකියි. නිසි වෛද්‍ය උපදෙස් අනුව ආයුර්වේද ප්‍රතිකාර මෙන්ම පුරාණ ඉන්දීය කේරළීය ප්‍රතිකාර මඟින් ඔබගේ ඇදුම තත්ත්වය සුව කරගත හැකි අතර ඔබගේ බලවත් අපහසුතාව මඳක් අවම කර ගැනීමට සංයෝග කිහිපයක් පහතින් දක්වමි. 

• බුලත් කරටි ඉස්මවලට සීනි දමා රාත්‍රියට පානය

• තලතෙල්, බෙලි කොළ ඉස්ම සමඟ කලවම් කර ටිකක් රත්කර පපුවේ ගාන්න.

 • පාවට්ටා, දෙහි,  යකිවනස්ස, නික, බෙලි කොළ තම්බා දිනකට දෙවරක් දුම් ඇල්ලීම.

 විජිත කේ. පතිරණ