අන්දුන් කුන්දුන්

0
124

‘ගෝඨාගෝගම’ටත් ‘මයිනාගෝගම’ටත් පහරදුන් පොහොට්ටු මැරයන් නිසා එතෙක් දැඩි පීඩනයක සිටි ජනතාව ප්‍රකෝප වීම සිතා ගන්නට බැරි තරම් දෙයක් විය. නිර්පාක්‍ෂික අරගලයක් ලෙස ඇරැඹි ගෝල්ෆේස් අරගල භූමිය තුළ ඉන් පසුව විවිධ දේශපාලන මත දරන අය රොද බැඳගෙන තිබුණද එතුළින් රටටත්, ලෝකයටත් දුන් පණිවුඩයක් තිබිණි. එනම් “රාජපක්‍ෂලාගෙන් දූෂිත වූ මේ රාජ්‍ය නිදහස් විය යුතුයි” යන්නය. “ගෝඨා සහ මහින්ද ඇතුළු රාජපක්‍ෂවරු වහා ඉවත් විය යුතුයි” යන්නය.

මේ සටන් පාඨ පොදුවේ රටේ ජනතාව වෙත කාන්දු වූයේ දැවෙන ජීවන වියදම් ප්‍රශ්නය ගිනියම් වෙමින් තිබෙද්දීය. එනිසා පොහොට්ටුවට ඡන්දය දුන් පිරිස් හා විවිධ දේශපාලන අදහස් දැරූ ලොකු-පොඩි කවුරුත් දේශපාලන පක්‍ෂ පාට භේදයකින් තොරව “රාජපක්‍ෂලා රට කෑ නිසයි අපට මේ විපත සිදුවුණේ” යන්න වටහා ගනිමින් තිබිණි. ඒ සඳහා ඕනෑතරම් කරුණු කාරණා ජනගත වෙමින් තිබුණේය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟයත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අධික මිල ගණන් වැඩි වෙද්දී ජනතාව ඉබේටම මහමඟට ගාල්වීම නිතැතින්ම සිදුවිය. පන්ති භේදයක් නොමැතිව, ජාති භේදයක් නොමැතිව සියලු දෙනාම දුකට පත් වෙද්දී, අරලියගහ මැඳුරෙන් උසිගැන්වූ පොහොට්ටු මැරයන් සාමකාමී අරගල භූමිවලට වැදීම ජනතාව ප්‍රකෝප ගන්වන්නට හේතු විය.

නිතැතින්ම පාරට වැටුණු ජනතාව අරගලයට පහර දුන් පොහොට්ටු මැරයන් සොය සොයා ගොස් පහර දෙන්නට වූහ. එය නිතැතින්ම ආවේගයන් හරහා මතුවූවක් මිස දේශපාලන පක්‍ෂයක හා කණ්ඩායමක ආධාරකරුවන් හෝ කාඩරයන් හරහා වූවක් නොවන බව ජනතාවගේ මතයයි. ආණ්ඩු පක්‍ෂයේ පහරකෑමට ලක්වූ, තම නිවෙස් ගින්නෙන් විපතට පත්වූ නිසාවෙන් කුපිත වූ මැති ඇමැතිවරු කීවේ නම් මේ පහරදුන් අය කිසියම් පක්‍ෂයකට අයත් වූවන් බවය.

විරෝධය පෙරළා පහරදීමකට හැරෙද්දී, එය ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වෙද්දී ඊට එක්වූ කුඩ්ඩන්, මංකොල්ලකාරයන් හා අවස්ථාවාදීන් සිටියා වුවත් ඒවා විමර්ශනය කොට නිවැරදිව සැකකරුවන් පොලිසිය අල්ලා ගන්නාතුරු කියන්නට බැරිය. එනිසා ජනතාවගෙන් ආණ්ඩුවට එල්ල වූ විරෝධය නැති කරන්නට, දියාරු කර එය එසේ නොව ‘මේක පක්‍ෂයක වැඩක්’ යැයි කීම තක්කඩි කතාවක්ම බැව් කාගේත් පිළිගැනීම වී තිබෙන බැව් පෙනෙයි.

“මෙහෙම ගියොත් මැති ඇමැතිවරු කාටත් පාර්ලිමේන්තු එන්න වෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යනවා. නීතිය අතට ගත් මිනිස්සු මොනවා නොකරාවිද?” යැයි කියන තැනට ආණ්ඩුවේ සියලු දෙනාත් ඇතැම් විපක්‍ෂ මන්ත්‍රිවරුත් කියාපාන්නට වූහ.

“ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න ඕනෑ වෙලා තියෙන්නේ මිනිස්සු ඇවිස්සිලා එයාලට පහර දෙන තැනට වැටුණමයි. එයාලගේ ගෙවල් ‍ෙදාරවල්වලට පහර දුන්නට පස්සෙයි. මිනිස්සු ඇයි එහෙම ප්‍රතිරෝධයක් පෑවේ කියලා හිතන්නේ නැතිව ඇත්ත කතාව වහලා වෙනත් පක්‍ෂයක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් කියලා මේකට ලේබල් ගහන්න හදනවා. පහුගිය දවස්වල ආණ්ඩුවේ පහර කෑ මන්ත්‍රිවරුන්ගේ, ඇමැතිවරුන්ගේ කතා අහද්දී ඒ බව වැටහෙනවා.”

මිනිසුන් තෙල් පෝලිම්වල කතා වෙන්නේ එහෙමය. තවත් සමහරු කියන්නේ. “ගෙවල් ගිනි තිබ්බ නිසා මැති-ඇමැතිවරු පාර්ලිමේන්තු ඇවිත් නාහෙන් අඬලා කියනවා එයාලා හරි අමාරුවෙන් ලෝන් ගහලා දුක් මහන්සියෙන් හදා ගත්ත ගෙවල් ‍දොරවල් විනාශ වුණා කියලා. බලාගෙන ගියාම මේ මැති-ඇමැතිවරු හරිම දුප්පත්නේ. හැබැයි සමහරුන්ගේ ගෙවල් ‍දොරවල් රජමාලිගා වගේ. දුක් මහන්සියෙන් ලෝන් ගහලා හදාගත්ත කියලා කියන එක විශ්වාස කරන්නත් බෑ වගේ. කොහොම නමුත් අන්තිමට මේ විනාශ වෙච්ච දේපළවලට ජනතාවගේ මුදල්වලින් වන්දි ලබාගෙන ඒවා තිබුණාටත් වඩා හොඳින් හදාගනීවි කියලත් හිතෙනවා මේ අය අඬන හැටියට” යි කියලාය.

අරගලයට පහරදීමෙන් අවුස්සාගත් ජනතාවගේ ප්‍රකෝප බව මහින්දට තවදුරටත් අගමැතිකමේ හෝ අරලියගහ මැඳුරේ සිටීම හෝ කළ නොහැකි තරම් විය. විදෙස් මාධ්‍ය මේ ගැන සඳහන් කරමින් කීවේ, ජන විරෝධය උත්සන්න වෙද්දී හමුදාව අගමැතිව නිල නිවෙසින් මුදාගත් බවය. පසුව දැනගන්නට ලැබුණු පරිදි හමුදාව මහින්ද ඇතුළු පිරිස ගෙනගොස් සුරක්‍ෂිතව රඳවා තබා තිබුණේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේය. මේ ක්‍රියාදාමයේ තීව්‍ර අවස්ථාවේදී ජනාධිපතිවරයාට ඊළඟ ප්‍රතිරෝධය මුදාහැරෙන බව දන්නා නිසාදෝ ගෝඨා මහින්දගේ ඉල්ලා අස්වීම භාරගෙන අගමැති තනතුර පොහොට්ටුවේ තවත් අයකුට පිරිනමා ජන විරෝධය තවත් වැඩි කර නොගෙන විපක්‍ෂය වෙත මුදාහරින උපායයක් දියත් කළේය.

“මධ්‍යස්ථ කෙනකුට අගමැතිකම දුන්නොත් මේ තත්ත්වය සමනය වේවි. ඒකට කාලයක් ඕන. ඒ කාලය තුළ ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන්ට තමන්ට රිසි පරිදි කටයුතු කරන්න වාතාවරණය හැදේවි. කොටින්ම ආණ්ඩුව තවදුරටත් ස්ථාවර වේවි. ප්‍රතිවිරෝධය අඩුවේවි” ජනාධිපතිවරයා එසේ හිතන තරමට ජනතාව ඒ ගැන කතා වෙන්නට පටන් ගත්තේය. එක්තරා අයකු තම ෆේස්බුක් සටහනේ මෙවැනි සටහනක් තබා තිබුණේය. එය මෙහි දැක්වීම වටිනා බව සිතෙයි.

“රනිල් ළඟ රාජපක්‍ෂලා කලින්ටත් වඩා සුරක්‍ෂිතයි කියලා ඊයෙයි අදයි, රනිල් පෙන්නුවා. ඊයේ ගෝඨාට විරුද්ධ විශ්වාසභංගයට විරුද්ධ වීමෙන් ඒක පේනවා. අද මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ පවා පාර්ලිමේන්තුවට පැමිණියා. මීට වඩා සාක්‍ෂි මොකටද?”

රනිල් අගමැති පදවිය භාර ගැනීම පිළිබඳව ආණ්ඩු පක්‍ෂයේ උදවිය වඩාත් හැඟීම්බරව කතා කරමින් කියා සිටින්නේ.

“විපක්‍ෂයට මේක භාර අරන් කරන්න කියලා ජනාධිපතිතුමා කිහිප වතාවක් කිව්වා. කෝ ගත්තද? කල් මර මර හිටියා. මොනව වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක භාර ගත්ත එක ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ” ය කියලාය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ කතාවලට අනුව රනිල් මේ මරාලය භාර ගැනීම ස්තුති කළ යුත්තකි. ඔවුන්ගේ අර්ථයෙන් එවැනි ස්තුතියක් රනිල්ට කරන්නේ ඇයිද යන්න ගැන සමාජයේ විවිධ කතා ඇතිවී තිබේ.

“රනිල් ආර්ථිකය ගොඩදාන කතාව ටිකකට පැත්තකට තියමු. ආණ්ඩුව සජිත්ට අගමැතිකම භාර ගන්න කියලා පස්සේ රනිල්ව තෝරගත්තේ රනිල් වඩාත් විශ්වාසදායක රාජපක්‍ෂ රැකවලා නිසයි. සජිත් භාර ගත්තනම් නීතිය හා සාමය ෆොන්සේකාට යනවා. ෆොන්සේකාට ඒ ඇමැතිකම ගියා කියන්නේ හොරකම් කරපු අයට දෙලෝ රත්වෙන වැඩක්. රාජපක්‍ෂලා විහින් අමාරුවේ වැටෙයිද? ඒ නිසා හොඳම හා එකම විකල්පය රනිල්” විපක්‍ෂයේ බොහෝ ක්‍රියාකාරිකයන් කියන්නේ එවැනි කතාවක්ය. තවත් සමහරු කියන්නේ…

“රනිල්ව තෝරා ගත්තේ බොහෝ කාලයකට පෙරයි. විශේෂයෙන් මහින්දගේ සැලසුම හා තෝරා ගැනීම තමයි රනිල්. එයා තනි මන්ත්‍රි ආසනයට එන්නෙත් අපි හිතන විදිහට රනිල් එක්ක කතා කරගෙන තිබුණු ආකාරයටයි. මහින්ද යන්න නෙවෙයි හිටියේ. ඒත් යන්න වුණු හේතුව මේ වගේ ඉක්මන් වෙයි කියලා මහින්දවත් හිතුවේ නෑ. දැන් අලුත්ම තත්ත්වය අනුව ජාත්‍යන්තරය දිනාගෙන යාන්තම් ශේප් වීමක් දාගන්න නම් රනිල් හොඳයි කියලා මහින්ද හිතුවා. මේක ඇමක් කියලා රනිල් නොදන්නවා නොවේ.

නමුත් මේ අර්බුදයෙන් තමන් ගොඩයන්නේ කොහොමද කියලා හිතාගෙනයි රනිල් වුණත් එන්නේ. රනිල් ෆේල් වෙයිද, මහින්ද ෆේල් වෙයිද කියලා අපට දැන්ම කියන්න බෑ. නමුත් රාජපක්‍ෂවරු ෆේල් කරන්න රනිල් මොනවාවත්ම නොකර ඉන්නෙත් නෑ. රනිල්, රාජපක්‍ෂවරුන් සහ සජිත්ගේ පාර්ශ්වය විනාශ කරන ගමන් තමන් රජ වෙන්න ගේම් ගැහුවත් පුදුම වෙන්න එපා. ඒ නිසයි රනිල්ගේ ඊනියා සර්වපාක්‍ෂික කැඳ හැළියට සජිත් හෝ අනුර කුමාර කර තියන්නේ නැත්තේ” වැනි කතාවකි.

මේ සියලු දේශපාලන උපාය උපක්‍රමයන් මැද රනිල්ගේ ඉලක්කය රටේ අත්‍යවශ්‍ය ගැටලු සියල්ල විසඳන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාන්විතයක් මඟින් තමන් ගත් පියවර සාර්ථක කර ගැනීමය. ඊට ඔහු විපක්‍ෂයේ බොහෝ දෙනා බිලිගෙන එම විපක්‍ෂ බලවේග මොට කර දමන්නට පුළුවන. එහිදී රනිල්ට සහාය දෙන්නන් විනාශ වන්නේ දේශපාලන කුණු බක්කියට වැටෙමින්ය.

ජනතාව අද පත්ව සිටින තත්ත්වයට රාජපක්‍ෂවරුන් බේරා ගන්නා නියෝජිතයකු වන රනිල් එය සාර්ථක කර ගනිද්දී ඊට සහාය වන්නන්ට ඡන්දයකදී හොඳින් පිළිතුරු දෙනු ඇත. රනිල්ට යළි ඡන්දයකින් දිනනවා වඩා ගේමක් ගසා තවත් පියවරක් ඉදිරියට තැබීම වැදගත්ය. මෙයින් රාජපක්‍ෂලාට යළි රැකෙන්නට ඉඩකඩක් හැදෙන අතර රනිල්ගේ පක්‍ෂයේ අයට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලැබෙනු ඇත. එහෙත් ජනමතයට අනුව රාජපක්‍ෂලාට සහ රනිල්ලාගේ කල්ලියට මොනවා වේවිදැයි සිතාගත හැකිය.

ආණ්ඩුවක් වශයෙන් ගෝඨා මෙය කෙසේ වටහාගෙන මේ යාත්‍රාව තවදුරටත් පදවාගෙන ඉදිරියට යාදෝයි කිව හැක්කේ දෙවියන්ට පමණය. එහෙත් දැන් සිදුවන නාටකවල හැටියට දෙවියන්ද අන්දුන් කුන්දුන් වන තැනකය.

ගවේෂක