“අද ත් පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා”: පිරවුම්හල්වලට හරියට ම පෙට්‍රල් ලැබෙන දිනය ඇමති කියයි (VIDEO)

0
322

පෙට්‍රල් නිකුත් නොකරන බැවින් අද (මැයි 19) දිනයේදී ද පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අද (මැයි 19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඉන්ධන රැගත් නෞකාවකට මහ බැංකුව අද දිනයේදී මුදල් ගෙවූ බව ත් එම නෞකාව අද වරායට පැමිණ ඇති බව ත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, එම නෞකාවෙන් ඉන්ධන ගොඩ බෑමේ කටයුතු අද රාත්‍රියේදී අවසන් වන අතර එය ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීමට දින දෙකක් පමණ ගත වන බව ය.

“කාරුණිකව ඉල්ලනවා රැස් වෙලා ඉන්න එපා මොක ද කිසිසේත් ම අද දවසේ පෙට්‍රල් ලබා දීමට ක්‍රමයක් නැහැ මේ පිරවුම්හල්වලට”

මේ අතර, ඉන්ධන සම්බන්ධයෙන් අදහස් දක්විමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, අද දිනයේදී තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව ය.

එමෙන් ම ජූනි මාසයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට ඇණවුම් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව රනිල් වික්‍රමසිහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.

“ඊයේ රෑ එකක් ආවා. අද ඊළඟ නැව එනවා. නැව් දෙකකට පෙට්‍රල් ඇවිල්ලා තියෙනවා. ඒ පෝලිම් ඉවර කරන්නේ නැහැ. පෝලිම් කෙටි කරන්න බලන්නේ මොකද අපි ආපහු ඉන්ධන සංචිතයක් ඇති කරන්න ඕන. එක නැවක් කල් ගියොත් ආපහු ඒ ප්‍රශ්නය එනවා. දැනට ජූනි මැද වෙනකන් එනවා. තෙල් සංස්ථාව ජූනි මාසයට ඇණවුම් කරගෙන යනවා කියලා දැනුම් දීලා තියෙනවා.”