“කොළඹ නගරයේ විශාල අසහනයක්”: ලෝකයේ ආහාර හිඟයක්: රනිල් කරන්න යන දේ (VIDEO)

0
423

පවතින අර්බුද හමුවේ කොළඹ නගරය තුළ විශාල අසහනයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (මැයි 19) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

මේ වන විට ජනතාවට දෛනික ආහාර සඳහා මුදල් සපයා ගැනීමේ ගැටලුවක් උද්ගත වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් එළඹෙන සතියේ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ය.

මේ අතර, රට තුළ ඇති විය හැකි ආහාර අර්බුදය මග හරවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර වගා කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, රජයට අයත් කොළඹ පිහිටි හිස් ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ය.

ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගේ සහය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

එමෙන් ම, ඒ සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් කමිටු ඇති කිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

“විශාල අසහනයක් කොළඹ නගරයේ තියෙනවා. එකක් ඉන්ධන ලබා ගන්න එක. ඒ වගේ ම අපිට දැන් එන වාර්තා අනුව ඇත්ත වශයෙන් ම තමන්ගේ දෛනික ආහාරවලට ත් මුදල් මදි. ඒ ගැන අපි එන සතියේ කතා කරන්න ඉන්නේ.

මේ දෛනික ආහාර ගැන ප්‍රශ්නේ, කොළඹට විතරක් නොවෙයි. ලෝකේ හැම තැන ම සිදු වෙන්න යනවා. මම දැක්කා ලෝක බැංකුව FAO ඩොලර් බිලියන 30ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේ ම, අමෙරිකාවේ මුදල් ඇමති භාණ්ඩාගාර ලේකම් ජැනට් හෙලන් කියලා තියෙනවා විශේෂයෙන් ම ලෝකෙට ම මුහුණ දෙන්න තියෙන ලොකු ම ප්‍රශ්නයට ඒගොල්ලෝ ලැස්ති වෙනවා කියලා.

මේ අවුරුද්දේ ඇත්ත වශයෙන් ම ආහාර හිඟයක් ඇති වෙනවා. සමහර තැන්වලට ආහාර නැති වෙනවා කියලා. ඒකෙ සඳහන් කරලා තියෙන එක රටක් තමයි ලංකාව. අනික තමයි ඇෆ්ගනිස්ථානය.

ඉතින් අපිට යම් කිසි වැඩසටහනක් කරන්න වෙයි, අපි සාකච්ඡා කරන්නේ උවමනා ආහාර වගා කර ගන්න. ඒ වගේ ම කොළඹ, නුවර නගරවල, කොළඹ කොළොන්නාවේ මම හිතන්නේ ඔය හැම තැන ම, මොරටුව, දෙහිවල හැම තැන ම තියෙනවා. ඒ ගැන විශේෂ වැඩසටහනක් ගේන්න. දිස්ත්‍රික්ක මට්ටමින් අපි වෙන කමිටු ඇති කරමු ඒ ඒ ප්‍රදේශවල කරන්න.

කොළඹ මන්ත්‍රීතුමන්ලාගෙන් ආධාර අවශ්‍ය යි. හිස් ඉඩම් සියල්ල ම රජයේ අපි වගාවට යොදවමු. වගා කරන එක කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පාලනය කරන්න අවශ්‍ යයි. අපිට එකතු වෙන්න වේවි, කොළඹ මන්ත්‍රීවරු සියලු දෙනා ම.”