“ගෝඨා-රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නන්න” අන්තරේ පාගමන ජනපති මන්දිරය දෙසට (VIDEO)

0
169

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පාගමන අද (මැයි 19) පස්වරුවේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ විය.

“ගෝඨා-රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු – ක්‍රමය පෙරළමු” යන සටන් පාඨය මූලික කර ගනිමින් එම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ.

ඒ අනුව, එම පාගමන මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය පසු කරමින් සිටින බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව, කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය ඉදිරිපිටට විරෝධතාකරුවන් ගමන් කිරීමට නියමිත බවට වාර්තා වේ.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක ම මාර්ගවල දැඩි රථවාහනට තදබදයක් පවතින බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර, පාගමනේ නිරත වන සිසුන්ට කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව, කොළඹ කොටුව පොලිස් වසමේ එන්.එස්.ඒ. වට රවුමේ සිට චෛත්‍ය පාර, එන්.එස්.ඒ. වට රවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හංදියේ සිට යෝර්ක් වීදිය මංසන්ධිය දක්වා බැංකු මාවත, පහළ චැතැම් වීදිය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසළ හන්දියේ සිට ප්‍රධාන මාවත හා ලේඩියන් බැස්ටියන් මාවත දක්වා මුදලිගේ මාවත, රෝහල් වීදිය යන මාර්ගවලට ගමන් කිරීම, එකී මාර්ගවලට ඇතුළුවීම අද (මැයි 19) නොකළ යුතු බව අදාළ අධිකරණ නියෝගයේ සඳහන් කර තිබේ.

එමෙන් ම, කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ නිල නිවාසයකට ඇතුළු වීම සහ හානි කිරීම ආදී කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු නොකළ යුතු බව ද එම නියෝගයේ සඳහන් කර ඇත.

එහි සජීවී දර්ශන මෙතැනින් නරඹන්න…

  • ඡායාරූප: අමිත තෙන්නකෝන්