අන්තරේ විරෝධතාව වළක්වන්න වැලිකඩ පොලිසිය ගත් උත්සහය අධිකරණය ඉවත දමයි

0
218

පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන පොල්දූව මංසන්ධිය අසල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, වැලිකඩ පොලිසිය විසින් එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබ ඇති බව ය.

අදාළ උද්ඝෝෂණය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමට බාධා එල්ල වන බව පොලිසිය කරුණු දක්වා ඇත.

එමගින් ඔවුන්ගේ වරප්‍රසාද කඩවීමක් සිදුවන බව ත් ඒ හේතුවෙන් අදාළ උද්ඝෝෂණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිට තිබේ.

අනතුරුව කරුණු සලකා බලා ඇති කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව, එම ස්ථානයේ සාමය කඩවීමේ සිද්ධියක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කටයුතු කිරීමට පොලිසියට හැකියාව පවතින බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.