රට අදන තැන

0
95

අපි බෙදිලා සාමාන්‍ය විධියට කරන්න ගියොත් ඔක්කොම ගිලෙනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

“ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුණත් බිලියන දහයක් වුණත් ගෙවන්නට එක    මිලියනයක්වත් නෑ” යි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පැවැසීය.

“ගෑස් නැවක් පැමිණ තිබෙනවා. නමුත් කාලගුණ ප්‍රශ්නය නිසා සාමාන්‍ය ලයින් එකෙන් ගොඩ බාන්න බැරි වී තිබෙනවා. දැන් නැව වරායට ගෙනවිත් ලොරිවලින් යවන්නට සිදුවී තිබෙනවා. කාලගුණ  ප්‍රශ්නයක් නොතිබුණා නම් සාම්ප්‍රදායික විදිහට ගොඩබෑමේ කටයුතු කරන්න තිබුණා. ලොරි හොයාගෙන ලොරි යවන එක ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අපට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ පෙට්රල් සම්බන්ධවයි. මා මෙතැනට ආවේ ඒවා විසඳන්නයි. පෙට්රල් නැවකුත්  අපිට ගන්න පුළුවන්දැයි දැන් කතා කරගෙන යනවා. අපට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ලැබුණා. ඒ මුදල තෙල් සඳහා යොදවන්නට බැහැ.

එය තෙල්වලට යොදවන්න ඉඩදිය හැකි දැයි අප විමසන්න යනවා. ආසියා සංවර්ධන බැංකුවෙනුත් එවැනි මුදලක් ලැබෙන්නට තිබෙනවා. එහෙත් ගියවර අපට මිලියන  3ක් ගෙවන්නට බැරි වුණ නිසා හිරවීමක් ඇති වුණා. මා මෙහි ආවේ මේ ප්‍රශ්න විසඳීම සඳහායි. දෙපැත්තේම සහයෝගය ඉල්ලන්නේ ඒ සඳහායි. ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියා දෙයක් නැහැ. අප මෙතැනට පැමිණ තිබෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න. ජනතාවට මෙන්ම රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් වුණොත් කතා කර ඒ ආධාර මුදල ලබාදීම පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්.

ත්‍රිරෝද රථ රියැදුරන් ගැන අහන්නේ කවුද? ඒ අයටත් දුවන්න හැකියාවක් නැහැ. මගේ කාර්යාලය ඉදිරිපිට ත්‍රිරෝද රථ තිබෙනවා. අප බලන්නේ ඔවුන් සඳහා සහනයක් ලබා දීමටයි. එදිනෙදා ආදායම නැහැ. පාර්ලිමේන්තුවට බනිනවා ආණ්ඩුවට බනිනවා මොකද්ද මුන් කරන්නේ කියා අහනවා. අප බෙදිලා සාමාන්‍ය විධියට කරන්න ගියොත් අපි ඔක්කොම ගිලෙනවා. පෙට්රල් එව්වා  කියා මෙය විස‍ෙ¾දන්නේ  නැහැ. විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තු කොමිටි ක්‍රමය මාර්ගයෙන් අපි ඔක්කොම එකතු වී සාකච්ඡා කරමු.

සම්පූර්ණයෙන්ම රටට අවශ්‍ය පොහොර දැනට තිබෙනවා යැයි මා සිතන්නේ නැහැ. අපට තිබෙන්නේ මහ කන්නය සඳහා සම්පූර්ණයෙන්ම පොහොර ලබා ගැනීමටයි. යුක්රේන  යුද්ධය නිසා ලෝකයේ පොහොර හිඟයක් තිබෙනවා. මෙම තත්ත්වයට මුහුණදී මිල වැඩි කර කටයුතු කරන්නට අපට සිදු වෙනවා. අපේ තානාපතිවරුන්ට මා කතා කර තිබෙනවා. ඉන්දියාව , වොෂින්ටන් නුවර සහ චීනයේ අපේ තානාපතිවරුන් සමඟ කතා කළා. අපිට යම් කිසි කාලයක් තිබෙනවා. ඒ කාලය අමාරුම කාලය බවට පත් වෙනවා. එතැනට  අප මුහුණ දී ඉදිරියට යා යුතුයි.

මේ සිද්ධිවලට වගකිව යුතු අය සෙවිය යුතුයි. නමුත් ඒ අය කිව්වා කියලා ඒ වාර්තා අපට කන්න බැහැ. ඒ නිසා  පාර්ලිමේන්තුව එකට එකතු වී මේ ගමන යා යුතුව තිබෙනවා.”

සජබ මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා  විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්,

“එන සතියේ මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මා සකස් කරනවා ඇත්ත කියන්නවත් සමහර ඒවායේ තොරතුරු නැහැ. නැත්නම් තිබෙන තොරතුරු වැරදියි. තොරතුරු ලැබුණේ කෙසේදැයි සභාවට බලන්නට සිදුවෙනවා. ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුණත් බිලියන දහයක් වුණත් ගෙවන්න එක මිලියනයක්වත් නැහැ. මට මුහුණ දෙන්නට තිබෙන තත්ත්වය එයයි.

පාර්ලිමේන්තු තුන්වැනි සතියේ විවාදයක් තියන්න. අපේ දේශපාලන වැඩසටහනත් එවිට කියන්නම්. හර්ෂ ද සිල්වා මැතිතුමාට මෙන්ම අනෙක් අයටත් අවශ්‍ය නම් හෙට හෝ ලබන සඳුදා සම්පූර්ණ කරුණු මා විපක්ෂයට ලබා දෙන්නම්.”

නව වැනිදා සිද්ධියට ජවිපෙ සම්බන්ධයි කියනවානම් පරීක්ෂණයක් කරන්න; අපි ඊට මුහුණ දෙනවා – අනුර කුමාර දිසානායක

පසුගිය 9 වැනිදා සිද්ධියට ජවිපෙ සම්බන්ධයි කියනවා නම් ඕනෑම පරීක්ෂණයක් කරන්න  අපි මුහුණ දෙනවා යැයි ජාතික ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

“මට කලින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා කතා කළේ එතුමා පූර්ණ නිගමනයක ඉන්නවා මේක අප විසින් සැලසුම් කොට දියත් කළ ප්‍රහාරයක් කියලා. මම ඊයෙ ඇහුවා ඔබතුමා කියපු වෙලාවේ එක නමක් හෝ මට කියන්න කියලා. ඔබතුමා ඒ වෙලාවේ මට කියපු දෙයක් තමයි එහෙම නම් කිසිවක් තමා සතුව නැති බව. මට බාධා කරන්න එපා මම කතා කළ පසු  කියන්න.”

මන්ත්‍රි  අරුන්දික ප්‍රනාන්දු

“ඊයෙත් මම කිව්වා මේ සිද්ධියට ජවිපෙ ගම් මට්ටමේ සම්බන්ධ වෙච්ච අය හිටියා කියලා. මම ඔබතුමාගේ නම කිව්වෙ නෑ. ගම් මට්ටමෙන් සම්බන්ධ වූ තමුන්නාන්සේලාගේ නායකයෝ ඉන්නවා. මොකද තමුන්නාසේලාට හොඳ සමාජයක් පිළිගැනීමක් තියෙන වෙලාවක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක නිසා ඉතාමත් විනාශකාරී තැනකට තමයි මේක ගිහින් තියෙන්නෙ. මේ සම්බන්ධයෙන් ගම් මට්ටමෙන් සම්බන්ධ වූ අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න.”

මන්ත්‍රි අනුර  දිසානායක

“මේ ටිකේම මේ ප්‍රහාරය සම්බන්ධව අප ඉලක්ක කරගෙන සිටින බව අපි දන්නවා. නියෝජ්‍ය කථානායකතුමනි ඔබ  මට මගේ සම්පූර්ණ කතාව කරන්න ඉඩ දෙයි කියලා මා විශ්වාස කරනවා. ඊයේ පත්වීම අරගෙන කළ කතාව ඇත්ත හෘදසාක්ෂිය සහිත කතාවක්ද? එහෙම නැත්නම් එය වංචනික කතාවක් නම් ඔබතුමා මට බාධා කරන්නට ඉඩදේවි. ගිය 9දා වැනිදා අත් දෙකේ ලේ ගෑවුණෙ කාගෙද කියලා කියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අහගන්න විශේෂයෙන්ම අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් ඇති තරම් බැටකාපු ව්‍යාපාරයක්. 1988/ 89 පිළිබඳ දීර්ඝ විස්තරයක් මේ පාර්ලිමේන්තුවේදී කියනවා. අපි වෙන වෙලාවක දවස් තුන හතරක් වුණත් කමක් නෑ විවාද කරමු. අපි අපේ පැත්තෙන් සිදුවූ අඩුපාඩුකම් බාර ගන්නත් පැකිළෙන්නෙ නැති දේශපාලන ව්‍යාපාරයක්. විශේෂයෙන් 1994 නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වූ පසු අපි විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ  ශක්තිමත් කරමින් ඒ තුළ රැ‍ෙ¼දමින් අපේ දේශපාලනය ඉදිරියට යා යුතුයි කියලා විශ්වාස කරන ව්‍යාපාරයක්.

අපිට 1997දී අපේ සහෝදරයෙක් කිරුළපනදී එස්.බී. දිසානායක විසින් ඝාතනය කරන්නේ. අපි ගල් කැටයක්වත් අතට ගන්නෙ නෑ. 1998 පළාත් සභා මැතිවරණයේදී අපේ මාතලේ සිරිදේව සහෝදරයා ඝාතනය කරනවා. අපි ගල් කැටයක්වත් අතට ගන්නෙ නෑ. ඒ වගේම 2007දී ගම්පහ මැතිවරණ ව්‍යාපාරයේ දී අපේ නන්දන බාලගේ සහෝදරයා ඝාතනය කරනවා. අපි ගල් කැටයක්වත් අතට ගන්නෙ නෑ. 2010දී අම්බලන්ගොඩදී අපේ නාගරික මන්ත්‍රිවරයෙක් සජින් වාස්ගේ මැර කණ්ඩායමක් යොදා ඝාතනය කරනවා. අපි ගල් කැටයක්වත් අතට ගන්නෙ නෑ. 2012 දී  අපේ නලින්ද ජයතිස්ස සහෝදරයා කතා කරමින් සිටි වේදිකාවට ජූලම්පිටියේ අමරේ වෙඩි තියලා අපේ සහෝදරයෙක් ඝාතනය කරනවා. ඡායාරූප තියෙනවා. අපි ගල්කැටයක්වත් අතට ගන්නෙ නැහැ. ඒ වගේම අනුරාධපුර පළාත් සභා වේදිකාවේදී දහයියාගම හන්දියේදි මැර කණ්ඩායම විසින් අපේ දෙදෙනෙක් ඝාතනය කරනවා. අපි ගල් කැටයක් අරන් නැහැ. මේ  හැම මැතිවරණ ව්‍යාපාරිකයකදීම වාගේ තමුන්නාන්සේලාගේ මැර කණ්ඩායම් දාලා  අපේ සහෝදරයෝ ඝාතනය කළා. අපි ගල් කැටයක්වත් අතට අරන් නෑ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථාව ව්‍යුහමය වෙනස්කම්වලදී විශේෂයෙන් දාහත්වැනි සංශෝධනයේදීත් 2001දී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරයන් ගැනීමට අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න කටයුතු කළ ව්‍යාපාරයක්.

හැබැයි ඕගොල්ලන්ට 2010 තුනෙන් දෙකක බලය ලැබුණා විතරයි. 17 අයින් කරල 18 ගෙනාවා. ඒ වගේම 2015 යහපාලන ආණ්ඩුවේදී අපි විධායක සභාව නියෝජනය කළා. ඒ අන් කවරක්වත් නිසා නොව 19 වැනි සංශෝධනය වෙනුවෙන්. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති ඔබට මතක ඇති. අපි ඒ ගැන කොච්චර සංවාද කළාද කියලා. තමුන්නාන්සේලාට බලය විතරයි ඒකාධිපති ව්‍යවස්ථාවක් වෙනුවෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. කවුද ඝාතකයෝ? කාටද අවශ්‍ය වී තිබෙන්නේ මේවා? ඒ නිසා වඩාත් වැදගත් දේශපාලන භූමිකාව මේක. 1983දී අපි කිසිසේත්ම සම්බන්ධ නොවුණ කළු ජූලියක් නිර්මාණය කළා. අපේ පක්ෂ තහනමට ලක්කරපු ඒ වෙලාවේ බොහෝ දෙමළ සහෝදරවරු ආරක්ෂා කළේ අපි. අපේ දෙමළ සහෝදරවරු, අපේ සිංහල සහෝදරවරු ආරක්ෂා කළා. අපි ජාතික සමගිය වෙනුවෙන් පෙනී හිටියා 1983දී. ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ ඉතාමත් වැරැදි ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා කළා. ඡන්දය කල් දැම්මා. කම්කරුවෝ එළියට දැම්මා. කම්කරු ලක්ෂ දෙකක් එළියට දැම්මා.

සංවර්ධන සභා මැතිවරණය වෙලාවේ යාපනය පුස්තකාලය ගිනි තබමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් ගියා. ඒ ගමනට එරෙහිව සිටි මිනිස්සු අපි, 1982  ඊනියා ජනමත විචාරණ විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ අපි. 1982 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන්. හැබැයි කිසි දෙයකට සම්බන්ධ නැති අපේ පක්ෂය තහනම් කළා. අපේ වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මා. අපි ජාත්‍යන්තර සංවිධානවලට ගියා. අදත් මේ රටේ වංචාවට දූෂණයට එරෙහිව අපි සටන් කරනවා. ඒක නවත්තන්න කෙඳිරිලිවලට බෑ. කුඩා හඬ නැංවීම්වලට බෑ.  අපි බය නෑ. අදත් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කොතැනද ඒකට විරුද්ධව අපි නැඟිටිනවා. අදත් එදා වගේම අපේ රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික පීඩනයට එරෙහිව සටන් කරනවා. ඒක නවත්තන්නෑ. හැබැයි ඒ සටනකම 1994 සිට මේ දක්වා ගෙවුණු අවුරුදු 28ක කාල පරිච්ඡේදය තුළ සහෝදරවරු ඝාතනය වුණා. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි දේවල්වලින් අපිට විශාල දේවල් නැති වුණා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආරක්ෂා කරන්න කැපවුණා.

මේ 9 වැනිදා සිද්ධියට අදාළව අනුරාධපුරයේ එකොළොස්දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. එක ජේ.වී.පී. සහෝදරයෙක් අපේ නෑ. කෑගල්ලේ, දෙණියාය එකොළොස් දෙනෙක්. දෙවුන්දර හයක් අරන් තියෙනවා. එක සාමාජිකයෙක් අපේ නෑ. කඹුරුපිටිය තුනක් අරන් තියෙනවා. අපේ එක සාමාජිකයෙක්වත් නෑ. හැබැයි අපි දන්නවා  1988/ 1989 කාල වකවානුවල අමාත්‍යවරුන්ගේ ගෙවල්වල වධකාගාර තියන් ගියා. එජාප මන්ත්‍රිවරු ඇමැතිවරු ලැයිස්තු හැදුවා. ශ්‍රීලනිපය සමහර සාමාජිකයන්, සමහර ක්‍රියාකාරිකයන් ලැයිස්තු හදලා පොලිසිය අත්අඩංගුවට අරන් ඝාතනයට ලක්කරා. අදත් අපි දන්නවා මන්ත්‍රිවරු දැන් ලයිස්තු හදන බව. ඒ නිසා ඕනෑම පරීක්ෂණයක් කරන්න. අද පොලිස්පතිවරයා මොකද කියන්නේ පොලිස් ස්ථාන 184 කින් 182කට දේශපාලන පත්වීම් තියෙන්නෙ  කියලා පොලිස්පතිම කියනවා. එදත් එහෙමයි අදත් ඒ විදිහටමයි මන්ත්‍රිවරු ඇමැතිවරු තමන්ට අවශ්‍ය පොලිස් නිලධාරීන් පත් කරගන්නවා.

මේ විදිහට වැරැදි නම් දෙන්න පටන් ගත්තා. ඉතින් මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනෑම පරීක්ෂණයකට අපි ලෑස්තියි. මේක මුල ඉඳල පටන් ගන්න ඕනි දෙයක්. සාමකාමී උද්ඝෝෂණයක් තිබුණා. කොතැනකවත් ගැටුම් තිබ්බෙ නෑ. හැබැයි විශාල පීඩනයත් තිබුණා. පුරවැසියන් නව දෙනෙක් තෙල් පෝලිම්වල මියගියා. ඒ අයට වේදනාවක් තිබෙනවා. ඒ වගේම පැය හත අට පෝලිම්වල ඉන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට වේදනාවක් තිබෙනවා. කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශ වුණා. මිනිස්සුන්ගෙ කැකෑරෙන කෝපයක් තිබුණා. අදත් ඒක  තේරුම් ගන්නේ නැත්නම් මේකට විස¾දුම් හොයන්න බෑ. පහුගිය අවුරුදු දෙක හමාර තුළ හිතුවක්කාරී නායකයෙක් මේ රට පාලනය කළේ. කිසිවකට ඇහුම්කන් දුන්නේ නෑ. ඒකෙ ප්‍රතිවිපාක බවට පත් වුණේ ජනතාවගේ බුර බුරා නැඟෙන කෝපය වර්ධනය වීමයි.

ඒ කෝපය විවිධාකාරයෙන් පුපුරන්න ගත්තා. අපි දැක්කා මිරිහාන සිද්ධියෙන්  පස්සේ පොලිස් ඇමැති ප්‍රසන්න රණතුංග  මොකද කිව්වේ. ජේ.වී.පී. වැඩක් කිව්වා. සිද්ධිය වෙලා මාසයකට ආසන්න කාලයක් ගතවෙලා තිබෙනවා. එක තොරතුරක් හෙළිදරව් කරලා තියෙනවද? පොලිස් ඇමැති තමන්ගේ බලය යොදාගෙන මේවා කියනවා. ඊළඟට සාමකාමී උද්ඝෝෂණයක් තිබුණා ගෝල්ෆේස්වල. ඒක ඉතාම සාමකාමීයි. කවුද අරලියගහ මන්දිරයට මැර කණ්ඩායම් ගෙනාවේ. මහියංගණ හන්දියෙන් යාචකයෙක් හැටියට ඉන්න මනස විකෘති වුණු මානසික ආබාධයක් තියෙන අය පවා ගෙන්නුවා. බස්වලින් මැර කණ්ඩායම් කැඳෙව්වෙ. එහෙම නගර සභාවේ සේවකයන් කැ‍ෙ¼දව්වා. වටරැක  හමුදා කඳවුරේ එළිමහන් සිර කඳවුරුවල හිරකරුවො ගෙන්නුවා. සිරකරුවන් ගෙන්වා පහරදීම් සැලසුම් කළා. දිගටම පහර දෙන්න පටන් ගත්තා. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසමට ගිහින් ප්‍රකාශයක් කර තිබෙනවා මට මේක වළක්වන්න තිබුණා. ක¾දුළු ගෑස් ගෙන  ආවට පියවර ගන්න තිබුණා. ඉහළ දෙන්නෙක් ඉඩ දුන්නේ නැහැ කියලා.”

මන්ත්‍රි ලොහාන් රත්වත්තේ

“මම ඉතාමත් වගකීමෙන් කියනවා වටරැක හිටපු කිසිම සිරකරුවෙක් අරගලයට  ගැහුවේ නෑ කියලා.”

මන්ත්‍රි අනුර කුමාර දිසානායක

“මම දන්නේ නෑ රත්වත්තේ තාමත් බන්ධනාගාර ඇමැතිද කියලා.  මොකද හිරේට ගිහින් ප්‍රශ්නත් දාගත්තනෙ.”

අරුන්දික  ප්‍රනාන්දු

“පොලිස්පති කියනවා 150ක් ජවිපෙ ප්‍රබල සාමාජිකයො කියලා.”

අනුර කුමාර දිසානායක

“එහෙනම් නියෝජ්‍ය කථානායකතුමනි, පොලිස්පති ඔවුන්ට ජේ.වී.පී.  සාමාජිකත්වය දෙන්න ඇති.”

අපි මෙතන මරා ගත්තොත් නැවත ආර්ථික පීඩනයක් ඇවිත් ඉතුරු ගෙවල් ටිකටත් ගහයි – නිමල් ලාන්සා

“අපි වන්දි ඉල්ලුවා කියලා සමාජයට ගියා. ආධාර දෙන්න යනවා කියලා. අපි වන්දි ඉල්ලුවෙත් නෑ. ආධාර ඉල්ලුවෙත් නෑ. නමුත් සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕන” යැයි හිටපු රාජ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාන්සා  පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“විශේෂයෙන් මේ සභාවේ නිවැරැදි කිරීමක් කළ යුතුයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරු ගත්තම දෙවැනියට වැඩිම හානිය වුණේ මට. මට වැඩිම හානිය වුණාම මගේ නෝනට කිව්වේ අපි ඉපදෙද්දී මුකුත් ගෙනාවෙත් නෑ. මැරෙද්දී මුකුත් ගෙනියන්නෙත් නෑ කියලා. ඒ අනුව මම ඒක විඳ දරා ගත්තා. අද මට ඇඳගෙන ඉන්න එළියෙ තියෙන වස්ත්‍රය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම වෙලත් මම ඊයේ මේ සභාවේ මුකුත් කිව්වේ නෑ. අදත් මම මුකුත් කිව්වේ නෑ. මම ඉතාමත් පැහැදිලිවම කියන්න ඕන සජබ මේකට සම්බන්ධයක් නෑ. ඒ වගේම එජාපය මේකට සම්බන්ධ නෑ. මම සම්බන්ධ වෙච්ච අය සියලුදෙනාම දන්නවා. අපේ විනාශය වෙලා ඉවරයි කථානායකතුමනි.

 “තව මිලියන 22ක් ජනතාව ජීවත් වෙනවා. තව මහජන නියෝජිතයෝ ඉන්නවා. මේ අයට මේක නොවෙන්න තමයි මේ ප්‍රශ්නය ගැන කටයුතු කරන්න උත්සාහ කරන්නේ. මේ මිනිස්සු එළියට බැස්සේ ආර්ථික පීඩනයත් එක්ක. අපි සියලු දෙනා එකතු වෙලා මේ ආර්ථික පීඩනය අඩු කළොත් තමයි ජනතාවට ජයග්‍රහණයක් අරන් දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි මෙතන මරාගත්තොත් නැවත ආර්ථික පීඩනයක් ඇවිල්ලා ඉතුරු ගෙවල් ටිකටත් ගහයි. ඒක තමයි වැරදි පූර්වාදර්ශය.

ඒ නිසා කථානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ මට සියලු දේවල් නැති වුණා. මට තාත්තාගෙන් හම්බුණු ඒවා, සීයාගෙන් හම්බුණු ඒවා, මම හම්බු කරපු දේවල් නැති වුණා. ඒක මට ප්‍රශ්නයක් නැහැ. නමුත් සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕන. කමිටුවක් දාන්න ඕන. “මයිනා ගමට ගැහුවා නම් ඒක වැරදියි. මම තමයි මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා එළියට ආපු පළමු මිනිහා ආණ්ඩුව කරන සමහර ක්‍රියාමාර්ගවලට විරුද්ධව. මම දිගින් දිගටම ආණ්ඩුවේ සමහර ප්‍රතිපත්තිවලට විරුද්ධ වුණා. මම දන්නවා ආර්ථික ක්‍රියාවලිය මෙහෙම සිද්ධ වෙනවා කියලා. හැබැයි මට තමයි වැඩිම හානිය වුණේ. මම හිත හදාගෙන ඉන්නේ. මට මුකුත් නැති වුණාට කමක් නෑ. මම හම්බ කරපු මගේ මිත්‍රයෝ ඉන්නවා. ඒ සියලු දෙනාම ගෙවල් දෙකට ගෙවල් දහයක් දෙන්න කතා කරනවා. අද උදේත් මේ රටේ ප්‍රධාන හෝටල් සමූහයක ව්‍යාපාරිකයෙක් කිව්වා, අපේ හෝටලයේ ඕන තරම් කාලයක් ඉන්න කියලා.

අද මේ රටේ මිලියන 22ක් විශාල ආර්ථික අර්බුදයකින් මිරිකිලා ඉන්නේ. අද සමහර දුප්පත් අයට කන්න නෑ. සමහර අයට සල්ලි තිබුණත් ගන්න ගෑස්, තෙල් නෑ. ඒ නිසා අපි මෙතන ඇන කොටාගෙන වැඩක් නෑ. අද විපක්ෂ නායකතුමායි අගමැතිතුමායි අද සුහද සාකච්ඡාවක් ගියා. අපි ප්‍රාර්ථනා කරනවා මේවාගේ තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ. රටේ ජනතාව ආරවුල් කර ගන්න, කර ගන්න මේ රටට එන සංචාරකයෝ එන්නේ නෑ. ආයෝජන එන්නේ නෑ. ආදායම් වැඩි වෙන්නේ නෑ. තවත් ප්‍රශ්න වැඩි වෙනවා. ඒ නිසා අගමැතිතුමා අලුත් වැඩසටහනක් සියලු පක්ෂ එකතු වෙලා කරන්න පටන් අරන් තියෙනවා. සියලු භේද අමතක කරලා රටේ ආර්ථිකය ගොඩගන්න අපි වෙනුවෙන් අපි කටයුතු කරමු” යැයි කීය.

තාවකාලිකව බෙදී වෙන්වී තුවාල වුවත් සදාකාලිකව එක්ව සුවපත්ව නැඟී සිටිය හැක – ඩලස් අලහප්පෙරුම

“තාවකාලිකව බෙදී වෙන්වී තුවාල වුවත් සදාකාලිකව එක්ව සුවපත්ව නැඟී සිටිය හැකි ශිෂ්ට සම්පන්න ජාතියක් මේ පින්බිම මත නොනැසී ජීවත්වන බව ලෝකයාට පෙන්වන්නට අපි මේ විනාශය හැරවුම් ලක්‍ෂ්‍යයක්, ආශීර්වාදයක්, බලකිරීමක් ලෙස පාවිච්චි කරමු” යැයි හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“වර්තමානයේ අප මුහුණදී තිබෙන මෙම පෙර නොවූ විරූ අවාසනාවන්ත පීඩාකාරී වාතාවරණය ගැන මගේ අදහස් වැදගත් කරුණු පාර්ශ්ව දෙකක් පදනම් කරගෙන ඉදිරිපත් කරන්නට මා කැමැතියි.

ඉන් පළමුවැන්න, මේ ගතවුණු මාස කිහිපය තුළදී ඇතිවුණු අභියෝගාත්මක තත්ත්වයන් අතරේදීත් සිදුවුණු ඉතාමත් අභාග්‍ය සම්පන්න සිදුවීම් දාමයේදීත්, පාර්ලිමේන්තුව තුළත් පිටතත් වැඩිහිටි වගකිව යුතු අප සියලු දෙනාගේ හැසිරීම, කතිකාවන්, සංවාද, විසංවාද, ගැටුම්, අරගල මේ සියල්ලේම එක් මහපොදු සාධකයක් තිබෙනවා. මේ කිසිම තැනකදී අප අවධානයක්, ප්‍රමුඛතාවක් දුන්නාද අපේ දරුවන්ට?

ඉංගී්‍රසි ජාතික නවකතාකරුවකු වූ පී.ඩී. ජෙම්ස් (P.D. James) රචනා කළ අපූරු විද්‍යා ප්‍රබන්ධයක්. එහි නම වුණේ (Children of Men) “චිල්ඩ්රන් ඔෆ් මෙන්”. එහි කියවුණේ අනාගත ඩිස්ටෝපියානු ලෝකයක් ගැන අපූර්ව කතාවක්. පෘථිවියේ මිනිසුන්ට දරුවන් ලැබීම නැවතී මුළු ලෝකයම දරුවන් නැති ලෝකයක් බවට පත්වී තිබෙනවා. මේ මෑතකාලයේ අපි සියලු දෙනාම හැසිරෙන්නේත් අපි දරුවන් නැති රටක ජීවත් වෙනවා වගේ නොවේද? මේ තීරණ ක්‍රියාදාම සියල්ලක් තුළ දරුවන් ගැන. ඔවුන්ගේ සුබසිද්ධිය ගැන කිසිම කෙනෙක් මොහොතකටවත් සිතුවාද? මතක තබාගන්න භෞතික සම්පත් අහිමි වුණත් නැවත ලබා ගන්නට පුළුවන්. අපේ රටේ දරුවන්ට නැතිවුණේ තමන්ගේ ජීවිතයේ කවදාවත් නැවත ලබාගන්නට බැරි ළමා කාලයයි.

වසංගතයෙන් වසර දෙකකට වඩා බැටකෑ ඔවුන්ට යන්තම් ඔළුව උස්සගෙන පාසලකට ගිහින් නැවත ජීවිතය සාමාන්‍යකරණයට හැරෙන්නට පටන් ගත්තා පමණයි, නැවතත් වැඩිහිටි අපි විසින් ගන්නා ලද අමනෝඥ, අසංවේදී, අශිෂ්ටසම්පන්න, අවිනීත, අවරගණයේ තීන්දු තීරණ නිසා නැවතත් එම ජීවිතය කඩාකප්පල් වන තැනට පත්ව තිබෙනවා. මීට සති තුනකට කලින් තමයි ඔවුන් අලුත් පාසල් වසරක් ආරම්භ කළේ. වෙනදාට ජනවාරි මුල ඇරැඹෙන අලුත් පන්තියට ඔවුන් ගියේ අප්‍රේල් අග. ඒ ගිහිල්ලත් නිවීහැනහිල්ලේ පාසල් යන්නට තරම් ඉස්පාසුවක් ඒ අහිංසක දරුවන්ට අපි ඉතිරි කළාද?

මං මේ පාර්ලිමේන්තුවේ සහෝදර ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන්ද, පාර්ලිමේන්තුවෙන් පිටත සිටින සියලුම ක්‍රියාකාරිකයන්ගෙන්ද, සමස්තයක් ලෙස මේ රටේ වැඩිහිටි පුරවැසියන්ගෙන්ද බැගෑපත් ඉල්ලීමක් කරන්න කැමැතියි. ලබන සඳුදා අපේ දූ පුතුන් ලක්‍ෂ 6කට වඩා සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගි වනවා. දවස් දහයක් ඔවුන් එම විභාගයත් සමඟ පොර බදිනවා. මතක තබාගන්න සාමාන්‍ය පෙළ දරුවෙක්ගේ අනාගත දිශානතිය තීරණය කරන වැදගත්ම විභාගයක්. එම නිසා දරුවන්ගේ නාමයෙන් එම කාලසීමාව තුළදීවත් අපි මේ පසුගිය කාලයේ පෙන්නුම් කළ හැසිරීම් රටාවන්ගෙන්  මිදී ඔවුන්ට නිදහසේ, නිරවුල් මනසකින් යුතුව, තම ජීවිතයේ වැදගත්ම කඩඉම් විභාගයකට මුහුණදිය හැකි පරිසරයක් සකස් කරදෙන්නට මානුෂීය වන්නට යැයි මා බැගෑපත්ව ආයාචනය කර සිටිනවා.

ඉතින් අපි ඒ යැපුම් මානසිකත්වයෙන් මිදී අවශ්‍ය වෙනස කර නොගත්තොත් තවත් වසර 3ක් හෝ 4ක් යන විට නැවතත් මේ අර්බුදයටම අපට නැවතත් මුහුණදීමට සිදුවීම වැළැක්විය නොහැකි බව අපි සිහිතබා ගත යුතුයි.

අවසාන වශයෙන් මා සඳහන් කරන්නට කැමැතියි මීට දවස් 9කට පෙර අප මුහුණ දුන්නේ 83 කළු ජූලියෙන් පසු රට මුහුණ දුන් අවාසනාවන්තම සමාජ කැලඹීමත්, එහි අතුරු ප්‍රතිඵල ලෙස සිදුවූ විනාශකාරී වාතාවරණයයි. මහජනයා, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන සියලුම පාර්ශ්ව පිළිබඳ කෙලෙසුණු ගෞරවය, විශ්වසනීයත්වය, ප්‍රකෝප මුල් කරගෙන නීතියේ ආධිපත්‍යය, නීතිය හා සාමය නොසලකමින් අරාජික මානසිකත්වයකින් යුතුව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලියක නිරත වන තැනට තල්ලුවුණා. රටේ අරාජිකත්වය, පාලන තන්ත්‍රයේ අරාජිකත්වය ගැන කතා කරමින් සිටි සමාජය, පුරවැසියාද අරාජික මනසකින් හැසිරුණු බව දුටුවා. විශේෂයෙන්ම පුරවැසියා එවැනි තත්ත්වයකට පත්වීම රටකට සමාජයකට කිසිසේත්ම හිතකර ප්‍රවණතාවක් නොවන බව අප සියලුම දෙනාම ඉතාමත් බරපතළ ලෙස අවබෝධ කරගත යුතුමයි.

මාස ගණනක් තිස්සේ රටේ ජනතාව ඔවුන් මුහුණ දෙන අපහසුතාවන්ට අප සංවේදී වේ යන බලාපොරොත්තුව පෙරදැරි කරගෙන අපව නිරීක්‍ෂණය කරමින් සිටියා. නමුත් අපිට අර ගමේ බාසාවෙන් කියනවා වගේ ඒ ගැන වගේ වගක් තිබුණාද? මීට මාස 6කට ඉහත අයවැය විවාදයේදීත් මා සහෝදර පාර්ලිමේන්තු සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළා, අප එක්ව එකට පුරවැසියාගේ පැත්තෙන් සිටනොගත්තොත් අප සියලුම දෙනාට පොදුවේ අත්විය හැකි ඉරණම ගැන. අප මෙය අවබෝධ කර නොගන්නට මූලිකම හේතුව කුමක්ද? අප සියල්ලෝම මේ මහපොළොවේ යථාර්ථය තේරුම් නොගැනීමයි. එයට ආසන්නම උදාහරණය ලෙස ඊයේ නියෝජ්‍ය කථානායක තෝරා ගැනීමේදී සිදුවූ සිද්ධිදාමය සඳහන් කළ හැකියි.

මා විශ්වාස කරනවා දැන්වත් අප ජනතාවගේ ගැටලුවලට ප්‍රමුඛත්වය දෙන, ඔවුන්ගේ අර්බුදයන්ට සංවේදී වෙන චර්යාවකට පරිවර්තනය නොවුණොත් නුදුරේදීම පුරවැසියාටත්, ප්‍රතිපත්ති සම්පාදකයාටත්, මුළු රටටත් අත්වෙන්නේ නැවත ප්‍රතිවර්තනය කළ නොහැකි තත්ත්වයක්. අර විපක්‍ෂ නායකතුමා නිතර පවසන බයිබලයේ සඳහන් වන ආමගෙඩන් (Armageddon) නැතිනම් ලෝකයේ අවසානය යන වචනයෙන්ද අරුත්දිය නොහැකි තරම් අවසානයක් ලොවට කෙසේ වෙතත් අපේ රටට නම් උරුම වන බවයි.”

විපක්ෂ නායක පුටුව ජනපති පුටුව මට ලොකු නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

“විපක්ෂනායක පුටුව, ජනපති පුටුව මට ලොකු නැහැ. කූඩැල්ලා වගේ බදාගෙන ඉන්නේ නැහැ ජනතාව කිව්වොත් ගෙදර යනවා” යැයි විපක්ෂ නායක පැවැසීය.

“පසුගිය 9 දා සිදුවුණේ ජාතික ඛේදවාචකයක්. 10 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩත්වය එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. එයින් හිංසනයට පත්වූ දේපළ ජීවිත අහිමි වූ සියලු දෙනාට අපේ කනගාටුව පළ කරනවා.

ඒ ප්‍රචණ්ඩත්වය දින කිහිපයක්ම පැවතුණා. එය ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය පැවතියදියි. අරලියගහ මන්දිරයේදී ප්‍රකෝපකාරී ප්‍රකාශ කරලා උසි ගන්වලා කරපු දේ පිළිගන්න බැහැ. රාජ්‍ය ත්‍රස්තවාදයට කොළ එළි දැල්වූවා. දින තිහක් පමණ සාමකාමී අරගලයක් සිදුවුණා. අරලිගහ මන්දිරයේ සාමකාමීව සිදුනොකර රාජපක්ෂ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ නිසයි මහා කළු අරගලය සිදුවුණේ. මේ ගැහිලි සියල්ල සිදුවුණේ සාමකාමී සමුගැනීමක් අරලියගහ මැඳුරේ සිදු නොවූ නිසයි. එම අරගල භූමියේ මැර ක්‍රියා සිදුවුවත් තවත් සිදු කළ ම්ලේච්ඡත්වය අපි හෙළා දකිනවා. මන්ත්‍රිවරුන්ගේ දේශපාලනඥයන්ගේ දේපළ විනාශ වුණා. වගකිවයුත්තන් වහා නීතිය හමුවට ගෙන ආ යුතුයි. නීතිය එක හා සමානව ඉටු විය යුතුයි.

පාර්ලිමේන්තුවේ 225ම ප්‍රතිපත්තිගරුක විය යුතුයි. අපට ලැජ්ජාව භය තියෙනවා. ගෝඨා ගෝ හෝම් පාවා දීමට ලැජ්ජා භයක් තියෙනවා. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම පාවාදීමට ලැජ්ජාවක් තියෙනවා.

එදා මට 09 වැනිදා සිදු වූ දේ රටම දැක්කා. මම නිර්දේශපාලන අරගලයට යන්නේ නැහැ කිව්වා. ඒත් කවදා හෝ ආණ්ඩුව අත තිබ්බොත් අපි ඒ අය වෙනුවෙන් පෙනී සිටින බව කිව්වා. ඒ නිසා අපි ගියා. එහි සිටි පිරිසක් තමයි මේ විදිහට හැසිරුණේ.

දැඩි සත්කාර සේවා වැහිලා. ඒවාට කවුද මුදල් දෙන්නේ. අපි ලබන සතියේ සිට රෝහල්වලට අවශ්‍ය උපකරණ දෙනවා. අනාථ වූ පාසල් දරුවන්ට තොරතුරු තාක්ෂණය ලබාදීමට ක්‍රියා කරනවා.

අද නීතියේ යුවතිය ඇස් බැමි නිරාවරණය කරලා එයා දඬුවම් කරන්නේ ආණ්ඩුවේ අයට විතරයි – රමේෂ් පතිරණ

“මේ 09 වැනිදා අපේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් වන බව දන්වලා, ඊට කලින් දවසේ එතුමාට සමුදෙන්න සුබපතන්න පිරිස් රැගෙන එන්න කියලා අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලියගහ මන්දිරයට ඒ පිරිස් ගියා. ඒ පිරිස් බහුතරයකගේ පරම අභිලාෂය වූයේ දීර්ඝ කාලයක් මේ රටට සේවය කළ අගමැතිවරයාගේ ධුරයෙන් ඉවත් වන දවසේ එතුමාට ගෞරවාන්විත සමුදීමක් දෙන්න. ඒ රැස්වීමේ අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කනගාටුවෙන් සඳහන් කරන්නේ මුග්ධ දේශපාලනඥයන් කිහිප දෙනෙක් එතැනට ආ ජනතාවට අනියම් බලපෑමක් කළා. ඒ බලපෑමට නතුවෙලා ආපු පිරිසෙන් සියයට දහයකටත් වඩා අඩු ප්‍රමාණයක් මේ ගෝඨාගමට පහර දෙන්න ඕන කියන මානසිකත්වයෙන් ගාලු පාරේ ගමන් කළා. ඒ සිදුවීම ඉතාම අවසනාවන්ත සිදුවීමක්.

මේ අරගලය මාසයක් එතැන තිබුණා. ජනාධිපතිතුමාටවත්, ආණ්ඩුවටවත් කිසිම අවශ්‍යතාවක් කවදාවත් තිබුණේ නැහැ මේ උද්ඝෝෂණයට ගලක්වත් ගහන්න. ඒ නිසා තමයි ඒක එදත් තිබුණේ අදත් තියෙන්නේ, ඒකට සම්පූර්ණ ආරක්ෂාව සැලසුවා. අපි කඳුළු ගෑස්, ගල් පහරක්වත් එල්ල කළේ නැහැ. ඒක මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා අපි භාවිත කළ ප්‍රතිපත්තිය.

හැබැයි ඒ අවසනාවන්ත සිදුවීමෙන් පස්සේ මෙතැනට පිරිසක් ගියා. ඒ පිරිස යනකොට මම ඒ අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ හිටියේ. මම එතැන ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ට කතා කළා. මෙහෙම අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වෙන්න යන්නේ කරුණා කරලා මේක නවත්වන්න. ච්ධ්ට්  තෙන්නකෝන් මහත්තයා මට කිව්වා කිසිම ගැටලුවක් නැහැ සර්. සියලුම මාර්ග බාධක දාලා තියෙන්නේ, අපි මේක නවත්වනවා කියලා. ඒ කෝල් එක දීලා මම ජනාධිපති මන්දිරයට ගියා ජනාධිපතිවරයාගේ රැස්වීමකට. රැස්වීමට යනකොට මට කතා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ. එතුමා කතා කරලා කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා, ඇමැතිතුමා වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්න කියලා. එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා විශාල ගැටලුවක් සර් එතැන ලොකු අර්බුදයක් වෙන්න යනවා. වහාම මැදිහත් වෙලා නවත්වන්න කියලා. එතකොට ජනාධිපතිතුමා, අපි ඉදිරිපිට ඇමැතිවරු කිහිප දෙනෙක් හිටියා.

දුරකථන ඇමැතුමක් ගත්තා. “උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ” කියලා ඇහුවට පස්සේත් ච්ධ්ට්  තෙන්නකේන් කිව්වා “සර් මට 12.40ට පොලිස්පතිතුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා.” නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට කිව්වා මේක නවත්වන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වා කියලා. ජනාධිපතිතුමා කිව්වා “තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා” කියලා කිව්වාට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්න ජනාධිපතිතුමා කටයුතු කරන්න මැදිහත් වීමෙන් පස්සේ තමයි නියෝජ්‍ය කථානායකතුමනි, කටයුත්ත මේ මට්ටමට බේරුණේ.

ඒ නිසා අනුර කුමාර දිසානායක මහතා කියපු කතාව ඇත්ත. දෙන්නෙක් අද මානව හිමිකම් කොමිසම සාක්ෂි දුන්නා. මේ ප්‍රහාරයට ගියපු මුග්ධ පිරිස නවත්වන්න එපාය කියලා නියෝග කළේ පොලිස්පතිතුමත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමාත් කියන කාරණය තමයි සත්‍ය කාරණය.

ගාල්ල දිස්ත්‍රික්කයේ මුලින්ම ගිනි තිබ්බේ මගේ නිවෙස. ඒ මගේ නිවෙස මගේ විතරක් නෙවෙයි, මගේ සහෝදරියන් දෙදෙනාට මගේ මවුපියන් මේ මහපොළොව මත උරුම කළ එකම දේපළ. ඒක ගිනි තියනකොට මට වේදනාවක් ඇති වුණා. ඒ වේදනාව ඇති වෙලා පැයක් යනකොට මොහාන් කිව්වා මගේ ගෙට ගිනි තියනවා කියලා. තව පැයකින් නගරාධිපතිතුමත් කිව්වා මගේ ගේත් ගිනි තියනවා කියලා. තව ටිකකින් සභාපතිවරයා කිව්වා මගේ ගෙටත් ගිනි තියනවා කියලා. මට මුලදී ඇතිවුණ දුක වේදනාව මම නිවා ගත්තා. මට දුකක්, වේදනාවක්, වෛරයක්, කේ‍රා්ධයක් නැහැ. මම ඒ මොහොතේම ඒක සමනය කර ගත්තා. මට විතරක් නෙවෙයි ගාල්ල දිස්ත්‍රික්කයේ විනාශ කළ ගෙවල් 29ක් තියෙනවා. ඒ සෑම කෙනෙක්ම මට වඩා අසරණයි. ආර්ථික වශයෙන් පහත්. අපි ඒ කට්ටියට සමාව දෙනවා. මම ඒ අයට සමාව දීලා තියෙන්නේ. ඒ සමාව දුන්නේ මේ ඉතිහාසයේ මහජන නියෝජිතයන් හැටියට මේ රටේ දේශපාලන ධාරාව පිළිබඳව මේ රටේ ජනතාව අතර යම් පක්ෂිත බවක් ඇති වෙලා තියෙන නිසා.

ජනතාවත් දුක් විඳින කාලයක්. ඒ වේදනාව පිටවෙලා තියෙනවා. දුක පිටවෙන්න කරුණු කාරණා දෙකක් තියෙනවා. පසුගිය දින කිහිපය තිස්සේ දකින වේදනාව තමයි, එකක් ආණ්ඩු විරෝධය. ගෑස්, තෙල් නෑ. ජීවන වියදම වැඩි වෙලා. ඒක සාධාරණයි. අනෙක් පැත්තෙන් 225 කෙරෙහිම ප්‍රබල වෛරයක් තියෙනවා.

මේ 225 කටයුතු පිළිබඳ අද සමාජයේ විශාල පිරිසක් විවේචනය කරනවා. අද උදේ අපි රණ්ඩු වුණේ මොකටද පුටුවක් පිළිබඳව. මූලාසනයේ පැවැරීම පිළිබඳව. ඊයේ මොකටද? ඡන්ද විමසීමක් පිළිබඳව. සාධාරණ නෑ නේද කියලා අපිටත් බලන් ඉන්නකොට හිතෙනවා.

මගේ පාර්ලිමේන්තු කාලය අවුරුදු 12යි. මේ අවුරුදු 12 කාලය තුළ මගේ අතිනුත් මේ සමාජයට සාධාරණ දෙයක් ඉෂ්ට නොවුණා නේද කියන හැඟීම මට හැඟෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව මීට වඩා වැදගත් තැනක් බවට පත් කර ගන්න අපි කටයුතු කරමු.

පසුගිය අවුරුදු 5ත් -10ත් බැලුවොත් මේ ඉන්න 225න් 25,30ක් තමයි අවිනීත විධියට මේ සභාවේ ගරුත්වය කෙලෙසන විධියට හැසිරෙන්නේ. 200ක් හොඳ මිනිස්සු ඉන්නවා මෙතැන. හැබැයි මේ 25ත් 30ත් කරන නොමනා ක්‍රියා නිසා තමයි මේ සම්පූර්ණ සභාවම ජනතා අප්‍රසාදයට පත්වෙලා තියෙන්නේ.

මම කථානායකතුමාට යෝජනා කරනවා ඔබතුමාලා කරුණා කරලා නොමනා විධියට හැසිරෙන 25-30 නම් කරලා සතිපතා පෙන්වන්න. මේ අය තමයි මේක කරන්නේ. එහෙම නොවුණොත් මේ 200 ගරුත්වය ජීවිත ආරක්ෂාව පලුදු වෙලා තියෙන්නේ. ඒක අපි පෙන්වමු.

මේ රටේ ජනතාව හිතන් ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අධික සුඛවිවරණ සහිත ජීවත් වෙන පිරිසක් කියලා. එහෙම නැහැ. හොඳ මිනිස්සු ඕන තරම් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය නැති වුණාට පස්සේ ගෙදර ගිහිල්ලා කන්න අඳින්න විධියක් නැති මන්ත්‍රිවරු කොච්චර අපි දන්න අය ඉන්නවාද? ඒක නේද ඇත්ත කතාව. මේ විශ්‍රාම වැටුප මොකක්ද? ඒ විශ්‍රාම වැටුප රු. 30,000යි ලැබෙන්නේ. මහ දෙයක් නෙවෙයි. ඒකත් 5 තිබුණ එක 10 බවට පරිවර්තනය කළා පසුගිය අය _ වැය ලේඛනයෙන්. හොඳයි එහෙම කළ එක. මහ ලොකු දෙයක් හැටියට ලැබෙන මේ බලපත්‍රය පිළිබඳ තමයි ජනතාව කතා කරන්නේ. එහෙම නැත්නම් ජනතාව හිතනවා අපි දවස් 365ම පවුලේ සාමාජිකයෝ ඔක්කොම එක්ක ඇවිල්ලා මේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ රජ බොජුන් වළ¼දනවා කියලා. මන්ත්‍රිවරයෙක් දවස් 3,4ක් කෑම කයි මාසයට උපරිමයෙන් ඕන නම්.

අපි යෝජනා කරනවා කථානායකතුමනි, අපි ලියුමකුත් අස්සන් කළා සාධාරණ මුදලකට සාමාන්‍ය කෑම වේලක් අරගෙන දෙන්න.

ඒකට සම්පූර්ණ මුදල අය කරන්න කියලා අපි යෝජනා කරනවා. අපි අස්සන් කළා අද සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සියලුදෙනාට සාමාන්‍ය මුදලකට කෑම පැකට් එකක් ගෙනැල්ලා දෙන්න. අපි සාධාරණ ගාණක් ගෙවන්නම්. නැත්නම් ජනතාව හිතන්නේ අපි පවුල් පිටින් ඇවිල්ලා දවස 3ටම තුන්වේලම කනවා කියලා.

මේ වෛරය ඒකයි. ඒ සමාජ වෛරය නැති කිරීමටත් කටයුතු කරමු අපි මෙතැන ඉඳගෙන. අපේ ගෙවල් ගිනිබත් වුණාට කමක් නැහැ. අපිට ඒක හදාගන්න පුළුවන්. ජීවිත නැති වුණේ නැහැනේ. අපි සෑම කෙනෙක්ම එකතු වෙලා රට වෙනුවෙන් දෙන්න පුළුවන් පොඩි හරි දායකත්වය දෙන්න කටයුතු කරමු.”

කබ්රාල්ව මහ බැංකු අධිපති කරන කොට මේ අපරාධය කරන්න එපා කියලා අපි කිව්වා – විජයදාස රාජපක්‍ෂ

දේශපාලනය කිරීම, ජනතාව වෙනුවෙන් කැපවීම, ජනතාව වෙනුවෙන් සේවය කිරීම ගහල මරන්න තරම් වරදක් නම්, ගෙවල් ගිනි තියන්න තරම් වරදක් නම් ඇයි අපි මේ රටේ දේශපාලනය කරන්නේ. කොහෙද අපිට වැරැදිලා තියෙන්නේ. හරියටම මීට අවුරුදු 18ට කලින් අද වගේ දවසක මම මුලින්ම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් බවට පත්වෙලා වසර 18ක් තිස්සේ අපේ ජීවිතයේ වැඩි කොටසක් අපි වෙන් කරලා තිබුණේ මේ රටේ ජනතාව වෙනුවෙන්. අපේ සහ තම තමන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ චෝදනා තියෙන කිහිපදෙනෙක් ඉන්න පුළුවන්. අපි දන්නවා එහෙම අයව. හැබැයි ඒ කිසිවක් නැතිව සමස්තයක් විදියට දේශපාලනඥයන් මරා දාලා, ගෙවල් ගිනි තියලා යම්කිසි දෙයක් කවුරු හරි දිනා ගන්න හදනවා නම් ඒ දිනා ගන්න හදන්නේ කවුද කියන එකත්, ඒ දිනා ගන්න හදන්නේ මොනවද කියන එක පිළිබඳවත් අපි කල්පනා කරලා බලන්න ඕන.

මේ ගැටලු පිළිබඳව බොහෝ දෙනා කතා කළේ අද තියෙන දේශපාලන අර්බුදය පිළිබඳවයි. හැබැයි අමතක කරන්න එපා මේ දේශපාලන අර්බුදය නිර්මාණය වුණේ අපේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක. ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ නැත්නම් මේ වගේ අරාජික තත්ත්වයකට රට පත්වෙන්න ඉඩකඩක් තිබ්බේ නෑ. ඒ සම්බන්ධව අපි මතුපිටින් කතා කළා මිසක්, අපි රෝගයේ ලක්‍ෂණ පිළිබඳව කතා කළා මිසක් අපි රෝග නිධානය ගැන කතා කළේ නෑ.

එදා 2015 මේ රටේ මේ පාර්ලිමේන්තුවේ හදපු පුංචිම ආණ්ඩුව 47ක් එක්ක අපි මේ රටේ විශාල ප්‍රතිසංස්කරණ රාශියක් කළා. 19 වැනි සංශෝධනයත් එක්ක. නමුත් 20 වැනි සංශෝධනය ගේන අවස්ථාවේදී අපි දැක්කා මේකේ තියෙන බරපතළ ඛේදවාචකය. අපි අනතුරු ඇඟෙව්වා මේ සම්මත කරන ඒ සංශෝධන හරහා මේ රටට විශාල අභාග්‍යසම්පන්න තත්ත්වයක් උදාවෙනවා කියන එක. ඒ එක්කම 2/3 බලයක් දීලා පත්කර ගත්ත ආණ්ඩුව ආරම්භයේදී ගත්ත වැරැදි තීන්දු තීරණ නිසා තමයි අද මේ ආර්ථිකය කඩා වැටුණේ. එදා මේ ආණ්ඩුව ඇවිල්ලා මුල්ම පත්වීම ජනාධිපති ලේකම් ධුරයට පී.බී. ජයසුන්දර මහතාව පත් කරන කොට කිව්වා මේ වගේ ආර්ථික ඝාතනයක් සිදු කරපු මිනිහෙක්ව නැවත එම තනතුරට ගැළපෙන්නේ නෑ කියලා. බිලියන ගාණක් මේ රටට වංචා කරපු, දූෂණය කරපු කබ්රාල් වගේ කෙනෙක් මහ බැංකුවේ අධිපතිකමට දාන කොට අපි කිව්වා මේ අපරාධය කරන්න එපා කියලා. එදා ආණ්ඩු පක්‍ෂයේ සමහරු සිතුවේ අපි හතුරෝ කියලා.

අපිට එදා මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව දුන්නේ නෑ. පසුගිය අවුරුද්දටම මට දුන්නේ විනාඩි 10යි. කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් පෙනී ඉන්න මහජන නියෝජිතයන් විධියට කතා කරන්නේ. අපි මේ අනතුරු අඟවන ඒවා ආණ්ඩුවට මේ හතුරුකමට කරනවා කියලා. නෑ අපි දේශපාලනයේදී කවදාවත් පෞද්ගලික න්‍යාය පත්‍ර ඉලක්ක කරගෙන පළිගැනීම් මත හෝ ලාභ ලබා ගැනීම මත මේ දේශපාලනය කරලා නෑ.

අපි හැමදාම මේ රටේ ජනතාවගේ අයිතිය වෙනුවෙන්, ආරක්‍ෂාව වෙනුවෙන් විතරයි අපි දේශපාලන කටයුතු කරලා තියෙන්නේ. එදා ජනාධිපතිවරයා පී.බී. ජයසුන්දර මහතාගේ උපදෙසින් බදු සහනයක් දුන්නා. ඒ බදු සහනය දුන්න එක නුසුදුසුයි, වැරැදි කියලා දැන් එතුමාම පිළිගන්නවා. එදා ඒ පී.බී. ජයසුන්දර ජනාධිපතිවරයාව නොමඟ යැව්වේ නැත්නම්, ඒ බදු සහනය නොදුන්නා නම් අද අපි ඒ රුපියල්වලින් නැවත පසුගිය අවුරුදු දෙකේ බදු මුදල් ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් අපේ රටේ තියෙනවා. අපි ඒක නැතිකර ගත්ත නිසා බිලියන 2, 3න් අද අපිට හිඟා කන්න වෙලා තිබෙනවා. මහ බැංකුවේදී අපි කිව්වා පසුගිය වාරික ගෙවන්න එපා. මේවා අපි නැවත හදලා සැලසුමක් ඇතුව කරගෙන යමු කියලා. කබ්රාල්ට කිව්වා. ඕන තරම් ඩොලර් තියෙනවා කියලා ගෙවලා දැම්මා. අන්තිමට භාණ්ඩාගාරයේ එක ඩොලර් එකක්වත් නෑ කියන තත්ත්වයට පත් වුණා.

ඒ නිසා තමයි මිනිස්සු පෝලිම්වල මැරුණේ. මේ ආර්ථික අර්බුදය නිර්මාණය කරපු මිනිස්සුයි මේකේ වගකීම ගන්න ඕන. අද ඒ මිනිස්සු වෙනුවට අද ගෙවල් ගිනි තියන්නේ දේශපාලනඥයන්ගේ. එදා අපෙත් වරදක් තියෙනවා තමුන්නාන්සේලාගෙත් වරදක් තියෙනවා. ඒ වගේ දූෂිත මිනිස්සු පත් කරන කොට ජේ‍යෂ්ඨ ඇමැතිවරු විධියට, අත්දැකීම් ඇති අය විධියට ඔබලාට තිබුණා මේවාට විරුද්ධවෙලා වළක්වා ගන්න. ඒ වළක්වා ගත්තේ නැති එකේ ප්‍රතිවිපාක තමයි අද අපි මේ අත්විඳින්නේ.