බැසිල් සහ විසිල්

0
345

“94 ගාමිණී දිසානායක පැය භාගයක් ඉස්සර වුණා නම්, එක්කෝ විජේතුංග මහත්තයා පැය භාගයක් පමා වුණා නම් අලුත් ආණ්ඩුව ගාමිණී පිහිටුවනවා. චන්ද්‍රිකාට තිබ්බේ එක වැඩි ආසනයයි. හැබැයි අවුරුදු ‍ෙදාළහක් චන්ද්‍රිකා ආණ්ඩු කළා.”

තරමක් වියපත් මාධ්‍යවේදියෙක් එහෙම කීවේය. හරියට බැලුවොත් ඔහුගේ කතාව ඇත්තය. එදා තොණ්ඩමාන් – අෂ්රොෆ් දෙන්නා ගොඩදාගත්තා නම් ආණ්ඩුව යූ.එන්.පී.ය.

අනෙක් පැත්තෙන් බැලුවම එක ආසනයක් වැඩියෙන් තියාගෙන හරි හමන් ප්‍රොජෙක්ට් එකකුත් නැතිව චන්ද්‍රිකා අවුරුදු ‍ෙදාළහක් දිවුවාය. වසර දෙකක් හැරුණු කොට 94 සිට 2015 දක්වා ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු බලය දැරුවේ චන්ද්‍රිකා දැමූ පීල්ලේමය.

හැබැයි එදා චන්ද්‍රිකාට මහා ලොකු බලයක් තිබුණේ නැත. ජනතාව චන්ද්‍රිකාට දුන්නේ එක වැඩි ආසනයක් තියෙන ආණ්ඩුවකි. 2002 වසරේ රනිල් අගමැති වූ කෙටි කාලය හැරුණුකොට 2015 දක්වා ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩුවක් පැවැතියේ චන්ද්‍රිකා දැමූ පීල්ලේම ඇවිල්ලාය.

හැබැයි මහින්ද තමන්ගේ අතට බලය ගන්න විට ඔහුට ඕන වුණේ විශාල බලයකි. ඒ නිසා මහින්ද කළේ ප්‍රබලම විපක්ෂ වෙච්ච එක්සත් ජාතික පක්ෂය කුඩු සංසාර කරන එකය. එහෙම කරපු මහින්ද තමන්ගේ සැලුන් ‍ෙදාර ඇරියේ ඕනෑ තරම් එජාප මන්ත්‍රිවරුන්ට තමන්ගේ කඳවුරට එන්නට ඉඩ තියලාය. අන්තිමට 160කට වැඩි දැවැන්ත බහුතර බලයක් මහින්ද කෘත්‍රිමව හදා ගත්තේය. හැබැයි 2015දී ඒ බලසම්පන්න ආණ්ඩුව බිත්තර කට්ටක් මෙන් කුඩු වී ගියේය.

2019 ගෝඨාභය ජනාධිපති වුණාට පස්සේ තිබ්බ මහ මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකකට ආසන්න බලයක් ගත්තේය. තුනෙන් දෙක ඉක්මවා යන්නට ඕන නිසා සමගි ජන බලවේගයේ මුස්ලිම් ජාතික මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම බිලිබා ගත්තේය.

බැසිල් 2005 මහින්ද දිනුවට පස්සේ ලංකාවට ඇවිත් මහින්දගේ දිනපු ආණ්ඩුවේ වැඩ පෙන්වූ වැඩකරුය. එක් අතකින් ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ යුව රජුය. ඔහුගේ බල පරාක්‍රමය යට එවක සියලු දෙනා සිටියේ තැතිගෙනය. අනෙක් අතට ඒ ආණ්ඩුවේ අතිමහත් ආර්ථික බලයක් සහ දේශපාලන බලයක් තුළින් ඔහු දූෂිත කොට තිබිණි.

සියල්ලට වඩා ඔහු මහින්දගේ පරාජයෙන් පසු සූක්ෂ්මව නමුත් නින්දාසහගත ලෙස රටින් පලාගියේය.

කලකට පසු යළි මෙරටටවිත් ඔහු ශ්‍රීලනිපය තීරණාත්මකව කඩා වෙන් කළේය. පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක් බවටත් ඡන්ද බලයෙන් ඉතිහාසයේ දරුණුම සෝදාපාළුවටත් ලක්කිරීමේ අත්මිදිය නොහැකි පාපයේ මොළකරු බැසිල්ය.

1977දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුල්කිරිගල ආසනයට තරග කළ ඔහු පරාජයට පත්වූ අතර පසුව සිය දේශපාලන කඳවුර වෙනස් කළේය. 1983දී පැවැති මුල්කිරිගල අතුරු මැතිවරණයේදී චමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග කරද්දී බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ නියෝජිතයකු ලෙස එජාප

අපේක්ෂක ආනන්ද කුලරත්නට සහාය දැක්වීය.

පසුව ඔහු නැවතුණේ ඇමෙරිකාවේය.

ශ්‍රීලනිපය අන්ත පරාජයක් ලැබූ නවසිය හැත්තෑහත මැතිවරණයට බැසිල්ද මුල්කිරිගල අසුනින් තරග කළ මුත් එහිදී ඔහුට අත්වූයේ පරාජය ය. 77දී ලද දැවැන්ත පසුබැස්මත් සමඟ පාර්ලිමේන්තු ආසන 08කට සීමා වීමෙන් පසු ශ්‍රීලනිපයට “දේශපාලනය” කිරීම පහසු කටයුත්තක් නොවූ අතර අපේක්ෂා කළ යුතු ආකාරයෙන්ම පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුම් කෙටි කලකින් කරළියට පැමිණියේය. 1981දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමෙන් පසු හිස්වූ අත්තනගල්ල ආසනයට මන්ත්‍රිවරයකු තෝරා ගැනීමේ අවස්ථාවේදී එය තීරණාත්මක තැනකට පැමිණි අතර එහි ප්‍රතිඵලය වූයේ මෛත්‍රිපාල සේනානායක ඇතුළු කණ්ඩායමක් පක්ෂය හැර යෑමය.

අනුර බණ්ඩාරනායක, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ස්ටැන්ලි තිලකරත්න ආදී පුද්ගල චරිත රැසක් ඒ වටා ගොනු වී සිටි අතර බැසිල්ද එහි ඉදිරිපෙළ සාමාජිකයකු විය. කෙසේ වෙතත් එම වෙනසත් සමඟ බැසිල්ගේ දේශපාලන ස්ථාවරය ‍ෙදා්ලනය වන්නට වැඩි කාලයක් ගත නොවීය. ආන්‍ෙදා්ලනාත්මක 1982 ජනමත විචාරණයේදී බැසිල් සහාය දැක්වූයේ එජාපය පෙනී සිටි ස්ථාවරයටය. එහිදී “ලාම්පුව” ලකුණ ලැබූ දිනුමෙන් පසු තවත් වසර හයකට පාර්ලිමේන්තු බලය තහවුරු වීමත් සමඟ බැසිල් එජාපය සමඟ “දීග” කෑම නිල වශයෙන් ඇරැඹුවේය. අවුරුදු 9ක මහින්ද පාලනයේ ආර්ථිකයේ සීයට හැටක කොටසක් නඩත්තු කළේ ඔහුය. මැතිවරණ පරාජය සමඟ ඇමෙරිකාවට පියඹා ගියේද ඔහුය.

නැවත ලංකාවට ආවට පස්සේ බැසිල් කළේ අලුත් පක්ෂයක් හදන එකය. එහි අනුහස් සහිත නායකයා ඔහු විය. යහපාලනයේ දුර්වලකම ප්‍රයෝජනයට ගත්ත බැසිල් පොහොට්ටුව රට වටා අරගෙන ගියේය. අන්තිමේට පළාත් පාලන ඡන්දයත්, ජනාධිපතිවරණයත්, මහා මැතිවරණයත් පොහොට්ටුව ජය ගත්තේය.

බල උන්මාදයෙන් මත් වෙමින් පොහොට්ටුව රට පාලනය කරන්නට පටන් ගත්තේය. ඇත්තටම ඔවුන්ට ඕන වුණේ රට පාලනය කරනවට වඩා බලය තහවුරු කර ගන්න එකය. ඔවුන් හිතුවේ සෙසු පක්ෂ සියල්ල සුනුවිසුනු කළ විට තමන්ගේ මනෝරාජික ලෝකය යථාර්ථයක් වෙනවා කියලාය.

“පොහොට්ටුවෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා” කිව්වේ බන්දුල ගුණවර්ධනය.

ගෝඨාභය ජනාධිපති වෙලා අවුරුද්දක් විතර යනකොට රට යන්න පටන්ගත්තේ පල්ලමටය. මොහොතින් මොහොත විනාශය කරා රට ගමන් කරන විට ආණ්ඩුවේ සමහරුන්ට රිදී රේඛාවක් තිබුණේය. ඒ බැසිල් රාජපක්ෂය.

ආණ්ඩුවේ සමහර පසුපෙළ මන්ත්‍රිවරු කිව්වේ බැසිල්ට මොළ හතක් තියෙනවා කියලාය. තවත් සමහරු කිව්වේ බැසිල්ට කරන්න බැරි දෙයක් නෑ කියලාය. තවත් සමහරු කීවේ බැසිල් ශක්‍ර දෙවියන් වගේ කියලාය.

ඒ දවස්වල තෙල් මිල වැඩි කළාම ආණ්ඩුවේම සමහරු කිව්වේ බැසිල් හිටියා නම් තෙල් මිල වැඩි කරන්න දෙන්නේ නැති කතාවල්ය. බඩු මිල ඉහළ යනකොට කිව්වේ බැසිල් හිටියා නම් බඩු මිල ඉහළ දාන්නෙ නෑ කියලාය.

කර කියා ගත හැකි කිසිවක් නොමැතිව පිරිහෙමින් තිබූ ආණ්ඩුවට පෙනී ගියේ “සුරබිදෙන” බැසිල් කියාය. “ඇලඩින්ගේ පුදුම පහන” තිබෙන්නේ බැසිල් අතේ කියාය. ඒවායින් වැඩ ගැනීමට නම් පළමුව බැසිල් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇමැතිකමක් පවරා දිය යුතු යැයි තීරණය විය.

මෙසේ මවන ලද පරිසරයේ බැසිල් රාජපක්ෂ විශ්මකර්මයකු බව පෙන්වා දීමට පොහොට්ටු හිතවාදීහු කටයුතු කළහ.

එහෙම කියමින් උත්සවශ්‍රීයෙන් බැසිල් පාර්ලිමේන්තුවට ගෙනාවේය. මහින්දට තිබුණ මුදල් ඇමැතිකම ගලවලා බැසිල්ට දුන්නේය. හැබැයි ටික දවසක් යනකොට බැසිල් කියන්නේ හිස් මිනිසෙක් පමණක් බව ඔප්පු වුණේය.

“බැසිල් කෝ විසිල්” සමහරු අහන්න පටන් ගත්හ.

දවසින් දවස මොහොතින් මොහොත රට කඩාගෙන වැටෙමින් තිබුණේය. ජනතාව මහපාරට එන්නට පටන් ගත්හ. රටේ සම්පත් ටික විකුණන එක ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ අංක එක වෙමින් තිබුණේය.

එයිනුත් ටික කලක් යන විට රට බංකොලොත්භාවයේ තීරුවටම කිට්ටු විය.

තමන්ගේ ඇස්පනාපිටම විනාශයේ ‍ෙදාරටුව කරා රට තල්ලු වෙමින් තිබෙන බව දුටු මිනිස්සු ඊට එරෙහිව අරගලය ආරම්භ කළහ. ජනතාව ඉල්ලූ ප්‍රමුඛතම සටන් පාඨ වුණේ gota go home, මහින්ද go home, බැසිල් go home.

දශක පහකට වැඩි දේශපාලන ඉතිහාසයේ මහින්ද දෙවැනි තීරණාත්මක පසුබැස්ම සඳහන් කළේ ඉකුත් නව වැනිදා ඉල්ලා අස් වෙමිනි. ඒ ඉල්ලා අස් වීම මොනතරම් ඛේදනීය සහ කළුපාට වූවාද කිවහොත් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගල කරන මිනිසුන්ගේ ගෝඨා ගෝ හෝම් අරගල භූමියට පොහොට්ටු හිතවාදීහු පැමිණ යකා නැටූහ.

එයින් පසු රට තුළ සිදු වූ බරපතළ තත්ත්වය කුමක්දැයි සියලු දෙනා දනී. ජනාධිපතිවරයා මාසයක් තිස්සේ බිත්ති හතරක් මැදට කොටුවී සිටි අතර අගමැතිවරයාටද අත් වූයේ එම ඉරණමය. අවසානයේදී රාජපක්ෂවරුන්ට යටි බිම් ගත වීමට සිදු විය. තුනෙන් දෙකේ ආණ්ඩුව බිමට සමතළා විය.

බොර වුණු වතුරෙහි මාළු බෑම පටන් ගත්තේ තනි ආසනයක් තිබූ රනිල් වික්‍රමසිංහය. අද ඔහු රටේ අගමැතිය. ජාතිය අමතා ඔහු හරි ලස්සන කතාවක් කළේය. ඔහු රට ගොඩනඟන බවත් ඒකට සහාය දෙන්න කියාත් ඉල්ලා සිටියේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නට කලින් අරගල භූමියේ ජනතා අපේක්ෂාවන් ඉටු කළයුතු බව සජිත්ලා, අනුරලා ඇතුළු විපක්ෂය කියද්දි රනිල් ගිහින් අගමැතිකම භාර ගත්තේය.

රනිල් සහ මහින්ද අතර ඇත්තේ දිගුකාලීන දේශපාලන ඩීල් එකකි. එය බොහෝවිට තිරෙන් පිටුපස සිදුවිය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැතිකම් ගත් රනිල්, රාජපක්ෂලා සහ රනිල් යනු එකම පවුලේ ඥාතීන් බවට සහතික කොට ඔප්පු කළේය.

“රනිල් ඇරෙන්න වෙන අයෙක් යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යා යුතු නෑ. ඔහු තමයි හොඳම සුදුස්සා විපක්ෂයට නායකත්වය දෙන්න. මේ දැන් තියෙන්නේ දුර්වල විපක්ෂයක්. ඔහු ආවොත් තමයි විපක්ෂය ශක්තිමත් වෙන්නේ”

2021/02/3 ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් එහෙම කීවේ මහින්ද රාජපක්ෂය.

“අද රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නා. එතුමාගේ නායකත්වයෙන් විපක්ෂය ශක්තිමත් වේවායි පතනවා”

2021/06/23 පාර්ලිමේන්තුවේදී එහෙම කීවේ ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධනය.

බලාගෙන ගියාම රනිල් පාර්ලිමේන්තු එන එකට කිරිබත්, කැවුම් හදාගෙන පේවිලා බලාගෙන හිටියේ ආණ්ඩුවේ අයය. රනිල් පාර්ලිමේන්තු එනකොට සිරිකොත ඉස්සරහ රතිඤ්ඤා පත්තු කොට කොළ පාට බැලුම් උඩ යවද්දී පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මන්ත්‍රිවරු රනිල් පිළිගත්තේ සභා ගැබේ මේසවලට හඬ නඟා තට්ටු කරමින්ය.

සමගි ජන බලවේගයේ අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙනකොට ඉඳගෙන හිටපු කථානායක, රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙනකොට හිටගෙන දිවුරුම් ගත්තා විතරක් නෙවෙයි “all the best sir” කියා රනිල්ට සුබ පැතුවේය.

අවුරුදු දෙකක් එක පිට එක මරා, ජනතාවගේ හිස මත කඩා දමන ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ නංවමින් ජනතාවට එල්ල කළ මරු පහරට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී දැවැන්ත විරෝධතාවක් කළේය. හැබැයි එතැන රනිල් සද්ද නැතිව බලාගෙන හිටියේය. රනිල් තමන්ගේ කතාව ආරම්භ කළේ ආණ්ඩුවට හීන් ටොක්කක් ඇනලා වුණත් කතාව අවසන් කළේ බන්දුලගේ ඉඳලම ආණ්ඩුවට බටර් ගාලාය.

රනිල් පාර්ලිමේන්තු ආපු දවසේ වෙච්ච දේවල් ටික අවධානයෙන් ඇස් ඇරගෙන බලාගෙන ඉන්න ඕනම කෙනකුට පේන්නේ ඩීල් එකේ තරමය.

ඒ විතරක් නෙවේ රනිල් පාර්ලිමේන්තුව එන්න සූදානම් වෙච්ච අන්තිම සති දෙක ඇතුළේ ආණ්ඩුවේ මාධ්‍යයි, ආණ්ඩුවට හිතවත් මාධ්‍යයි සමහර සමාජ මාධ්‍යයි එකතුවෙලා රනිල්ව උස්සන්න පුළුවන් උපරිම තැනට ඉස්සුවේය. ඒවා ප්‍රොපගැන්ඩා කැම්පේන්ය.

සමාජ ජාලවල සමහරු රනිල් හැරෙන විධිය ගැන කවි ලීවේය. රටේ සංස්කෘතිය ගැන නිවේදිකාවක් රනිල්ගෙන් අහනකොට මානවම්ම රජ්ජුරුවෝ ගැන රනිල් දීපු උත්තරේ සමාජ ජාලවල සමහරු කරේ තියාගෙන දිව්වේය. අහපු ප්‍රශ්නයට රනිල් දීපු උත්තරේට සමහරු වහ වැටුණට රනිල් දුන්නේ “කොහෙද යන්න මල්ලේ පොල්” උත්තරයක් බව සමහරුන්ට තේරුණේ පස්සේය. රනිල් කොයි ප්‍රශ්නයටත් හැමදාම දුන්නේ ඒ පන්නයේ උත්තර බව නොදන්න කෙනෙක් නැත.

හැබැයි දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව හදලා මහින්දලාට උදවු කරන්න ගිය රනිල්ටත් ප්‍රසිද්ධියේම වැඩ වරදින එකය.

gota go home කියා ඉල්ලන ජනතාවගේ ඉල්ලීම ඉටු කරන එක නං “ සොරි”ය.

“නියෝජ්‍ය කථානායක ධුරයට කාන්තාවක් දාමු,” කියා යෝජනාවක් ගෙනාවේ රනිල්ය. හැබැයි පොහොට්ටුවෙන් දැම්මේ අජිත් රාජපක්ෂය. ඒ වැඩේ තිරයේ පිටුපස මෙහෙයුම කළේ බැසිල්ය.

අන්තිමේට අජිත් රාජපක්ෂ දිනුවේය. රෝහිණී පැරදුණාය.

එහෙත් ශිෂ්ටත්වයේ සහ අශිෂ්ටත්වයේ බෙදුම් රේඛාව මැද දී මේ තීන්දුව හිමි විය.

“ඊයේ හවස වෙනකන් තිබ්බ එකඟතාව ඊයේ රෑ විනාශ වුණා. ඒ රාජපක්ෂවරුන්ට මාව එපා වුණා. ඒ රාජපක්ෂවරුන්ගේ හොරකම් වංචා මම හෙළිකරපු නිසයි. හැබැයි මිනිසුන්ගේ බදු සල්ලි විනාශ කරමින් ඔවුන්ගේ කෝපයට වෛරයට ගොදුරුවන තැනට මේ පාර්ලිමේන්තුව අදත් පත්වීම ගැන මා කනගාටු වෙනවා.”

පරාජයෙන් පසු වූ රෝහිණී එහෙම කීවාය.

“මේක පිටිපස්සේ හිටියේ බැසිල්ද?”

සමහරු එහෙම අසයි. අද ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහත් හැමෝමත් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන ඊයේ රෝහිණී කවිරත්න හරි අපූරුවට කීවාය.

“පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිතුමාගේ පළමුවැනි යෝජනාව කාන්තාවකට මේ තනතුර ලබාදීමයි.

අගමැතිගේ පළමු යෝජනවා අද පාර්ලිමේන්තුවේ පරාජය වෙලා තියෙනවා.

අගමැති ගත්ත පළමුවැනි ප්‍රතිපත්තියද පරාජය වී තිබෙනවා.

සමහරවිට මෙය අගමැතිවරයා ලබන පරාජයන් වැලක

පළමුවැන්නයි.

අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් වැල ආරම්භ වෙනවා.

රාජපක්ෂලා තමන්ගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක කරන බව පැහැදිලියි.

මෙවැනි සුළු කටයුත්තකටවත් පොහොට්ටුවේ එකඟත්වයක් ලබා ගැනීමට අගමැතිවරයාට හැකි වෙලා නෑ.

අද ආණ්ඩුව කරන්නේ ජනපති හෝ අගමැති නෙවෙයි, කළුපාට කුරුල්ලෙක්.”

ඒ කියන්නේ බැසිල් සර්වපාක්ෂික ආණ්ඩුවටත් වැඩිදුර දුවන්න දෙන්නෙ නෑ කියන එකද. ඒක බලාගන්න වෙන්නේ ඉස්සරහටය.

මේඝනාද