පූජා වට්ටියක් හරි විධියට දෙන්නේ කොහොමද?

0
73

කේන්දරය පරීක්ෂා කරවා ගන්නේ අපල කාලයටය. එය ලෙඩ රෝග, කරදර, විපත් ආදිය හඳුනාගැනීමට මූලික වෙයි. සුබ කටයුත්තකදීද කේන්දරය පරීක්ෂා කරවා ගන්නා අවස්ථා ඇත.

යහපත් කටයුත්තකට වඩාත් සුදුසු කාලය හඳුනා ගැනීමට හෝ යහපත බලවත් කර ගැනීමට පුද පූජා ආදියෙහි නිරත වීමට කේන්දර පරීක්ෂාවෙන් තීරණය වෙයි.

සියල්ලේදීම බොහෝ විට භාවිත වන්නේ පුද පූජාය. පුද පූජාවෙන් සිදුවන්නේ දෙවියන් පහදවා ගැනීමය. යමෙක් වෙනුවෙන් පළි දැරීමකදීද සිදුකරන්නේ දෙවියන් පහදවා ගැනීමය. පොල් ගසා පළි දරා අවනඩුව පැවැසීමෙන් දෙවියන් හට පුද පූජා ආදිය සිදු කෙරෙයි.

පුද පූජා අතර පූජා වට්ටිය කැවිලි සමඟ පලතුරු තැබීම හා පලතුරු පමණක් පූජා වට්ටිය ලෙස සැකසීමක්ද වෙයි. පලතුරුද කපන ලද පලතුරු සහ ගෙඩි සහිත පලතුරු පූජා ලෙසද වර්ග කෙරෙයි. මෙය තම අදහස් සහ වෙනත් මතවාද මත සිදුවන්නකි.

සෙත් කවි කීමේදී හෝ බාරහාර ඔප්පු කිරීමේදී කැවිලි පස් වර්ගයක්, පලතුරු පස් වර්ගයක් තබනු ලැබේ. පලතුරු හෝ කැවිලි පස් වර්ගයක් හෝ හත් වර්ගයක්  වශයෙන් තබන අවස්ථාද ඇත.

කතරගම සහ දෙවුන්දර වැඩි වශයෙන් තබනු ලබන්නේ පලතුරු පූජාය. බලාපොරොත්තු වන කටයුත්ත සාර්ථක වීමට පළමුව දෙවියන් හට පූජා වට්ටියක් තැබීම චාරිත්‍රයක් ලෙසද සැලකෙයි. පූජා වට්ටියට මුදල් තැබීම දෙවියන් යැදීමට ප්‍රථම දේවගැතියන් පහදවා ගැනීමට හේතුවෙයි. ඇතැමුන් මුදලේ වටිනාකම අනුව දෙවියන්ට කන්නලව් කරන බවද පෙනේ.

පූජා වට්ටියට මුදල් තැබුවද එය සිදුවන්නේ බැතිමතාගේ භක්තිමත් සිත අනුවය. මුදල දේවගැතියාට හෝ පුදබිමේ නඩත්තුවට – සංවර්ධනයට විය හැකිය. සියල්ල යහපත්ය. ගැටලුව ඇත්තේ තබන ලද පූජා වට්ටිය සම්බන්ධයෙනි. දෙවියන් පලතුරු පූජාව හෝ කැවිලි – කිරිබත් පූජාව ආහාරයට ගන්නේ නැත.

ආලෝකයට සහ සුගන්ධයට දෙවියන් සානුකම්පිත වෙයි. පහන් _ සුවඳදුම් _ පලතුරු – කැවිලි – කිරිබත් පුද පූජා ආදියෙන් දෙවියන් බලාපොරොත්තු වන්නේ දකින්නේ බැතිමතාගේ බැතිබර සිත සමඟ පිදෙන ආලෝකයේ සුගන්ධයේ ගුණයයි. විශේෂයෙන් පලතුරු පූජා වට්ටිය පිළිබඳව විමසුම් කිරීමේදී එම පූජා වට්ටිය අනුභව කිරීම පිළිබඳව දැනුවත් වීම යහපත්ය. යහපත අර්ථවත් වන්නේ නිසි දැක්මකට අනුගත වූ විටය.

පලතුරු වට්ටිය පිදෙන්නේ දෙවියන්ටය. එහි හිමිකාරිත්වය දේවගැතිවරයාටය. පිදීම තුළින් බැතිමතාගේ සිත පහන් වෙයි. පහන් වූ සිතකට දෙවියන් නිසැකයෙන්ම සානුකම්පිතය.

දේවපූජාවෙන් ශාන්තිය පතන පුද්ගලයා ඔහුගේ පවුලේ උදවිය පූජා වට්ටිය අනුභවයට ගැනීම සුදුසු නොවේ. දේවගැතියන් විසින් පලතුරු කිහිපයක් පමණක් ගෙන නැවත පූජා වට්ටිය බැතිමතා වෙත ලබාදෙන අවස්ථා බොහෝය.

පුදදීමෙන් බැතිමතාගේ හිමිකාරිත්වය අහිමි වන්නේ නම් දේවගැතියා විසින් ලබාදෙන දෙය කවුරුන් විසින් අනුභව කළද ගැටලුවක් නැතැයි පවසන පිරිසක්ද සිටිති.

දේවපූජාව  පූජාව තබන්නන් විසින්ම අනුභව කිරීමෙන් සතුටුදායක ප්‍රතිඵල ලබන්නට නොහැකි බව තවත් මතයකි. දිනපතා පූජාවට්ටි තබන ස්ථානවල තමන්ගේ දෙය අනුන් හට දී අනුන්ගේ පූජාවට්ටියෙන් පූජාව අනුභව කිරීමට ඇතැමුන් පුරුදු වී ඇත.

එය ඉතා යහපත්ය. අනුන් විසින් දෙන පූජා වට්ටියෙන් අනුභව කිරීමද කළ යුතු වන්නේ බැතිබර සිතකිනි. එය තමන්ගේ පූජාවට්ටිය තැබීමෙන් පතන්නා වූ යහපතට සමානව අනුන් වෙනුවෙන්ද බැතිබර වීමෙන් වඩාත් යහපත් වෙයි. අනුමෝදනාත්මක කුසලය සියල්ලටම වඩා බලවත්ය.

තමන්ගේ පලතුරු පූජාවට්ටිය අනුන් වෙත පිදීමෙන්ද අනුන් සතු පූජාවට්ටියෙන් අනුභව කිරීමෙන්ද දෙපිරිසටම දේව කරුණාව හිමිවෙයි.

දෙවියන් වෙත පුද පූජා තබන බැතිමතා දෙවියන් හඳුනාගත යුතුය. තම යහපතට සානුකම්පිත වන දෙවියන් නිවැරැදිව තෝරාගත යුතුය. සියල්ල කේන්දරය තුළ සැඟව ඇත.

උදාහරණයක් ලෙස වෙළෙඳ ව්‍යාපාර සඳහා බොහෝ දෙනා බාරහාර, පුද පූජා පවත්වන්නේ කතරගම දෙවියන්ටය. එහෙත් යමෙකුගේ කේන්දරයක කුජ ග්‍රහයා විසිදෙවැනි දෙර්කාණාධිපතියා වීමෙන් කතරගම දෙවියන්ගේ පිහිට නිසි ලෙස එම ජන්මියා හට නොලැබෙයි.

තමන් හට බලවත්වන දෙවියන් පළමුව හඳුනාගත යුතුයි. ජේ‍යාතිෂවේදියකුගෙන් නිවැරදිව කේන්දරය පරීක්ෂා කරවාගත යුත්තේ එබැවිනි.

යහපත් වූ දෙවියන් වෙත තබන පූජාවෙන් දෙවියන්ගේ සානුකම්පිත බැල්ම තමන් වෙත යොමු වන්නේය. අනතුරුව තමන් වෙත ලැබෙන පූජා වට්ටිය අනුන් හට මෙත් සිතෙන් ආනුභාවයට පිදීමෙන් දේව ආශීර්වාදය තමන් වෙත හිමිවන්නේය.

අනුන් අප වෙත පුදනු ලබන පූජා වට්ටියෙන් අපිද මෙත් සිතෙන් පලතුරු පූජාව අනුභව කරමු.

පුදන්නාද පිදුම් ලබන්නාද සැබෑ පුණ්‍යවන්තයන් වන්නේ එලෙසය.!

කළුතර පොලිස් විදුහල අසල ජේ‍යාතිෂවේදී මතුගම 

ජයනෙත්ති

0716954868