පාර්ලිමේන්තුව කුමකටද?

0
328

පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනයයි. ඒ තුළ ක්‍රියාත්මක විය යුත්තේ ජනතා පරමාධිපත්‍යයයි. ජනතාවගේ ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන මහජන නියෝජිතයෝ ජනතා අභිලාෂ ඉටු කරමින් නිසි ලෙස පාලන තන්ත්‍රය ගෙන යෑම සඳහා වගකීමෙන් බැඳෙති. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පනවා ගනු ලබන්නේද ඒ වගකීම  නිසි ලෙස බාධාවකින් තොරව ඉටුකර ගැනීම උදෙසාය. එහෙත් වර්තමානයේ ඒ අරමුණු එසේම ඉටුවේද? මේ සමස්ත ජනතාවගේම අවධානයට ලක්විය යුතු කාරණයකි.

වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ආකාරයෙන් ඉදිරි සතියක කාලයක් කටයුතු කරනවා නම් ඊළඟ වාරයේදී පැමිණීමට පාර්ලිමේන්තුවක් ඉතිරි වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීවේ ඉකුත් 17දා පාර්ලිමේන්තුවේදීය. අගමැති එහෙම කියන්නටත් පෙර රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට පාර්ලිමේන්තුව ගැන තබා තිබූ විශ්වාසය කඩකර ගන්නා තැනට කරුණු පෙළ ගැසෙමින් තිබිණි.

ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ වාදවිවාදවලට ඇහුම්කන් දෙමින් සිටි ජනතාවට තේරුම් ගියේ පාර්ලිමේන්තුව ජනහඬට සවන් දෙනු වෙනුවට ජනතා ගැටලු ගැන සාකච්ඡා කරනු වෙනුවට තම තමන්ට මුහුණ දෙන්නට සිදුවුණු විවිධ හිරිහැර, අතවර, අකරතැබ්බ, දේපොළ හානිවීම් වැනි පෞද්ගලික කාරණා ගැන දිගින් දිගටම කිය කියා සිටින බවය. ඒවා ගැන ටීකා, ටිප්පණී, අටුවා කතා කියන විට රටේ ප්‍රධාන ගැටලු සියල්ලම අතපසු වී යන හැටි අපූරුවට දැකගන්නට ලැබිණි. මේ මොහොතේ අගමැතිට හෝ රට ආර්ථිකයෙන් බිමටම ඇද වැටී තිබෙන බව වැටහී තිබීම යම් සහනයකි. සල්ලි අච්චු ගහන්නේ නැතිව ආණ්ඩුවේ සේවකයන්ට පඩි ගෙවාගන්නට ක්‍රමයක් නැති බව ඔහු කියයි. යම් යම් රාජ්‍ය දේපොළ දැන් විකුණා දමනවා මිස වෙන කරන්නට දෙයක් ඉතිරිව නැති බවද ඔහු කියයි. ජනතාවට දැන් දැන් වැටහී තිබෙන්නේ පාර්ලිමේන්තුව වෙන්දේසි පොළක් බවට පත්වන්නට ඉඩකඩ සැකසෙමින් තිබෙන සැටියකි.

මන්ත්‍රිවරු වෙන්දේසියේ විකිණෙන තැනට තවමත් ඉඩකඩ පැමිණ නැතිබව පෙනෙන්නේ විපක්ෂය තමන්ගේ පිලේ කට්ටිය රැකබලා ගන්නට ඒ හැටි ලොකු උනන්දුවක්, නොපෙන්වන නිසාය. එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රි අගමැති පදවියට පත්වූවා නම් එයින් එහා විපක්ෂයේ කටයුතු ගැන, විපක්ෂයේ සැලසුම් ගැන කතා කුමකටද? රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන දේශපාලන විචක්ෂණතාව සෙසු බොහෝදෙනකුට නොතිබීම ඛේදයකි.

මේ සටහන ලියමින් සිටින ඊයේ සන්ධ්‍යා භාගය වන විටත් රට පුරා තෙල් පෝලිම්ය. ඇතැම් ප්‍රදේශවල කිලෝමීටර් දෙක තුන ඉක්මවා ඒවා දිග්ගැස්සී තිබිණි. සමහරවිට පැය ගණන් පෝලිමේ රස්තියාදු වී ෂෙඩ්

එක ළඟට ළංවන විට තෙල් ඉවරය. අපේක්ෂාභංගත්වයට පත්වන ජනතාව සිටින්නේ දැඩි ප්‍රකෝපයෙනි.

දස අතට ණය වී, විවිධ ගැටලුවලට මුහුණ දී පොහොර ටික නැතිව අසරණව සිටි ජනතාවට එදා මැති ඇමැතිලා කීවේ බොරු කයි කතන්දරය. පොහොර ගේන්න ඩොලර් නැත යන කතාව නොකියා කාබනික පොහොරේ වටිනාකම ගැන මාධ්‍යවලින් ඉදිරිපත් කළ කයි කතන්දර කෙළවරක් නැත. රටේ ප්‍රශ්න විසඳන්නට ප්‍රමුඛත්වය දෙන මුවා වෙන් පාර්ලිමේන්තුව පිට පිටම දින අටක් රැස්වුණු මාසය තුළවත් උද්ගතව තිබුණු ප්‍රශ්නවලට කිසි විසඳුමක් ගැන සාකච්ඡා වුණේ නැත.

ඊයේ පාර්ලිමේන්තුවේ රටේ තත්ත්වය ගැන යම් කතාබහක් ඇති වීම සුබදායකය. එමෙන්ම ගුණදායකය. විපක්ෂ නායකගේ මත ප්‍රකාශවලත් යම් කාලීනභාවයක් පෙනෙන්නට තිබිණි. මැතිසබය රැස්වී රටේ ජනතාවට ඇත්ත සඟවා බොරු කයි කතන්දර කිය කියා කල් මැරීමේ ප්‍රතිවිපාකය කොතරම් බරපතළ දැයි දැන් දැන් කාට කාටත් තේරෙයි. එහෙම තේරෙන්නේ අන්තිමටම අමාරුවේ වැටුණු විටය.

රනිල් වික්‍රමසිංහ මහතා හුණුවටයේ කතාව සිහිපත් කරමින් වැල් පාලමෙන් එතෙර වුණු ගෘෘෂා ගැන මතක් කරමින් කී කතාවේ යම් ඇත්තක් තිබේ. දැන් මේ රට ගත් ණය ගෙවා ගන්නට බැරි තැනට ඇද වැටිලාය. බැසිල්ලා, කබ්රාල්ලා රටේ සැබෑ තත්ත්වය වසංකොට සුරංගනා කතන්දර කිය කියා සිටි හැටි ජනතාවට අමතකව නැත. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකයන්ගේ ගේ ‍ෙදාර, යානවාහන සොය සොයා ගිනි තබන තැනට ජනතාව ප්‍රකෝපයට පත්වුණේ ඇයි? රටේ සැබෑ ප්‍රශ්න රට හමුවේ කියා පාමින් ඒවාට වහා විසඳුම් දෙන්නැයි අරගලකරුවන්ගෙන් නැඟුණු හඬ යටපත් කර දමන්නට ‘ගෝඨාගෝගමට’ එරෙහිව (හිටපු) අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම දියත් කළ ප්‍රචණ්ඩත්වය ජනතා ප්‍රකෝපයේ ආසන්නතම හේතුව බව සැබෑය. එහෙත් ඊට මාස කිහිපයකට පෙර සිටම මේ තත්ත්වය රට තුළ ගොඩනැඟෙමින් තිබිණි. සත්‍යය එයයි.

ඉකුත් 9දා අරගල බිමට පහරදීමෙන් අනතුරුව රට තුළ දෝරේ ගලාගිය ප්‍රචණ්ඩත්වයේ ප්‍රවාහය නතර කරන්නට ආරක්ෂක අංශ අසමත් වීම පිළිගත යුතුය. ඊට පෙරාතුව එම ප්‍රචණ්ඩත්වය මැති ඇමැති නිවෙස් කරා කැඳවා ගන්නට මඟ සලසා ගත්තේද ඒ මැති ඇමැතිලාමය. නීතියේ ආරක්ෂාව ගැන නොසිතා කටයුතු කළේද ඔවුහුමය. අරලියගහ මන්දිරය ප්‍රචණ්ඩත්වයේ තිඹිරිගෙය බවට පත්කර ගත්තේද ඒ මැති ඇමැතිලාය. දැන් සියල්ල සිදුවී හමාරය.

පාර්ලිමේන්තුව මැති ඇමැතිලාගේ පෞද්ගලික කතන්දර, නැති බැරිකම්, අගහිඟකම් කරදර හිරිහැර ගැන කතා කරන තැනක් බවට පත්විය යුතු නැත. එය අද මෙන් හෙටත් රටේ සමස්ත ජනතාවගේ ගැටලු ප්‍රශ්න ගැන කතා කරන, සාකච්ඡා කරන, ඒවාට විසඳුම් සපයන තැන විය යුතුමය.