කපුටා  අසුබ පක්ෂියෙක්ද?

0
63

එදා ගමේ පැරැණියන් පවසන්නේ ගණ දෙවියන් කපුටාට නුවණ දී ඇති බවය. හොඳ හෝ නරක හෝ කරන්නට අවස්ථාව පැමිණි විට සිදුකිරීම සෙනසුරුගේ ස්වභාවයයි. ගණ දෙවියන් හට සෙනසුරුගේ අපල කාලය උදා වී තිබේ. විෂ්ණු දෙවියන්ටද අපල කාලයේදී සෙනසුරු විසින් බටකොළ කැවූ බව කියැවෙයි.

ඔසවා ගැනීම හෝ පොළොවේ ගැසීම සිදුකරන සෙනසුරු ගණදෙවියන්ගේ අපල කාලය හඳුනාගත්තේය. එය සැලකිරීමට සෙනසුරා පැමිණීමට පෙරම ගණ දෙවියන් තම අපලය වටහා ගත්තේය. උපන් බුද්ධිය මතුකරගත් ගණ දෙවියන් සෙනසුරු පැමිණීමට පෙර තම උදරයේ “සෙනසුරු අපලය අද නොවේ හෙට” යනුවෙන් අඟුරු කැබැල්ලකින් සටහන් කර ගත්තේය.

මෙය දුටුවේ කපුටා පමණකි. කපුටා කාක් _ කාක් යනුවෙන් කෑ ගැසුවේ “උදරයේ ලියා ඇති වැකියේ අරුත මම දන්නවා. මම සෙනසුරු දෙවියන්ට විස්තරේ කියන්නම්.” යනාදී උපහාසාත්මක ස්වරූපයෙනි.

කපුටා සෙනසුරුගේ වාහනය වුවද නිතර කුසගිනි දැල්වෙන පක්ෂියෙකි. නුවණ පහළ කළ ගණ දෙවියන් කපුටා වෙත එළඟිතෙල් මිශ්‍ර බත් ගුළි කිහිපයක් දී ඇත. එළඟිතෙල් මිශ්‍ර බත් ගුළි ගිලීමෙන් වෙනදා දැනෙන කුසගින්න කපුටාගෙන් දුරු වී ඇත. කපුටා රහස සෙනසුරුගෙන් සඟවා ගත්තේය.

සෙනසුරු පැමිණ තමන්ගේ දිනය හෙට යැයි කියාගෙන ආපසු යෑමට පුරුදු වී ගණ දෙවි නුවණට හසුවී තිබේ.

ගණ දෙවියන්ගේ රහස රැකීම නිසා කපුටා වෙතද ගණ දෙවි පිහිට හිමි වී ඇත. කපුටා වෙත තැනට සුදුසු නුවණ පහළ වී ඇත.

කපටි මොළකාරයකු ලෙස හැඳින්වෙන කපුටා සෙනසුරුගේ වාහනය ලෙස පිළිගැනීමට ලක්වන්නේ ඇයි? කපුටා අසුබ ගණයේ පක්ෂියෙක්ද?

අවේලාවේ කපුටා හැඩීමද නුසුදුසු ස්ථානයක සිට කපුටා හැඩීමද අසුබ ලෙස බොහෝ දෙනා තුළ මතයක් පවතී. මහලු වියට එළැඹි උදවිය කපුටු හැඩීමට ප්‍රියතාවක් නොදක්වයි. එයට හේතුවක් ඇත.  කපුටාගේ දිව නොවරදින අනාවැකි පැවසීමක් ලෙසද හැඟවෙයි. මරණයට ආසන්න වන ජීවියකුගේ ප්‍රශ්වාස වායුව මඟින් මරණයේ පණිවුඩය හඳුනා ගැනීමේ, පැවසීමේ හැකියාව මෙම පක්ෂියාට හිමි බව එයට හේතුවයි.

අතීතයේ මළමිනී මිහිදන් කිරීමක් නොවූ අතර මළකඳ වනයට ගෙනගොස් දැමීමක් පමණක් සිදුවිය. වන සතුන් මළමිනී ආහාරයට ගත් අතර කපුටාද මෙයට හවුල් විය.

ජරාව කැතකුණු යනුවෙන් හැඳින්වෙන කවර නම් දෙයක් වුවද ගිල දැමීම කපුටාට අරුමයක් නොවේ. එය ජීර්ණකර ගැනීමට , දරා ගැනීමද මෙම පක්ෂියාට උරුම වී ඇත.

ග්‍රහ මණ්ඩලයේ සිටින අපිරිසුදුම ග්‍රහයා සෙනසුරුයි. සෙනසුරු හට කවර නම් දුක් කරදරයක් වුවද විඳ දරාගැනීමේ ශක්තියක් ඇති බව කියැවෙයි. දරුණු වේදනා විඳ දරාගෙන ඉදිරියට යයි. සෙනසුරු බලවත්ව පිහිටි ජන්මියා හට බාධක විඳ දරාගෙන තම අරමුණු කරා ගමන් කිරීමට ශක්තිය උදාවෙයි.  සෙනසුරු දුබල වූ විට ජන්මියා කල් පවතින නිදන්ගත රෝග, හොරි, දද පාද ආබාධ ආදියෙන් පීඩාවට පත්කර එක්තැන් කොට දුක්ඛිත මරණයට පමුණුවයි.

සෙනසුරු කලකිරීම් කරදර ආදියෙන් ඉවත්වන ග්‍රහයෙක් නොවේ. කපුටා හටද කරදර බාධක කුසගින්න කොතරම් බලවත් වුවද ඒ සියල්ලටම ඔරොත්තු දීමේ ශක්තිය හිමි පක්ෂියෙකි.

ජේ‍යාතිෂයේ හත්වැන්න දිග්බල ස්ථානයකි. හත්වැන්නට හිමි ශාරීරික කොටස් ලෙස නිවේදනය වන්නේ තුනටිය ප්‍රදේශය හා ඊට අදාළ ශාරීරික ඉන්ද්‍රියෝය. මෙම ප්‍රදේශ ශරීරයේ අපිරිසුදුම ස්ථාන ලෙස පිළිගැනෙයි. හත්වැන්න සෙනසුරුට  දිග්බල වීම මත හත්වැන්නේ සෙනසුරු විවාහයට හොඳින්ම ගැළපෙන බව සනාථ වීමකි.  ජීවිතයක විවාහය- ගෘහ ජීවිතය _කරදර- කම්කටොලු _ කල්පවතින රෝගාබාධ සාමූහික ක්‍රියාකාරකම් සෙනසුරුට හිමිවෙයි.  සෙනසුරුගේ කපුටාගේ පීඩන දරාගැනීමේ ශක්තිය හත්වැන්නෙන් උරුම කරගත් ජන්මියා සාර්ථක යුගදිවියක් ගත කරයි.

හතේ සෙනසුරු විවාහයට අයහපත් වන්නේ විවාහ ජීවිතයේ මුල් කාලයේ ප්‍රශ්නකාරී චංචල ස්වභාවයක් මතුවීමයි. යුගදිවියේ අග කොටස සාර්ථකව යහපත් වන්නේ දුක දෙවා සැප ලබාදීමේ පිළිවෙත ක්‍රමවත්ව සෙනසුරු අනුගමනය කරන නිසාය.

සෙනසුරු පාප ග්‍රහයෙක් බැවින් ඔහුගේ වාහනය ලෙස කපුටා තෝරාගැනීම අර්ථාන්විතය.  පව්කාරයකු යා යුත්තේ පව්කාරයකුගේ පිට උඩය. ජන්මියකු හට පව් පලදෙන්නේ සෙනසුරු අසුබ වූ විටය. කල්ගත රෝගාබාධවලට ගොදුරු වූවකුට මහලු ආබාධිතයනට පිහිට වීම, කපුටන් හට ගිතෙල් මිශ්‍ර කිරිබත් දන්දීම සෙනසුරු අපලය දුරු කරවන පිළිවෙත්ය.

නිතර බඩසයින් පෙළෙන කපුටා හට ගිතෙල් මිශ්‍ර කිරිබත් පිදීම යහපත් වුවද ගිතෙලෙහි පෙඟ වූ පහන්තිර බත්ගුළි තුළට බහා කපුටන් හට ගිල්ලවීම යහපත් නැත. ජීර්ණයට අපහසු රෙදි – තිර ගිලීමෙන් කපුටා හට අපහසුතාවක් අවැඩක් සිදුවිය හැකිය.  එය කපුටා හට පීඩාවකි. පුදන්නාට අකුසලයකි.

ලෝකෝත්තර දියුණුවට හිතකර සෙනසුරුගේ ස්වභාවය හඳුනා කපුටාට සැලකීම දෙලොව දියුණුවට  හේතුවන පිළිවෙතකි. හත්වැන්නෙන් නිවේදනය වන මෙලොව ඇති දෙලොව යුග දිවියයි.

එය නිවැරැදිව හඳුනාගැනීම දෙලොවටම කෙතරම් අගනේද?

කළුතර පොලිස් විදුහල අසල ජේ‍යාතිෂවේදී මතුගම 

ජයනෙත්ති

0716954868