ගෝඨාගෝගමට පහර දීමේ සිද්ධිය ගැන රමේෂ් පතිරණ හෙළි කළ සැඟවුණු “තිත්ත ඇත්ත” මෙන්න (VIDEO)

0
1072

මැයි 9 වන දා ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (මැයි 18) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කළේ ය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් වන විට ඔහුට සමුදීම සඳහා පිරිසක් රැගෙන එන ලෙස කළ දැනුම් දීමක් අනුව තමන් පිරිසක් ගාල්ලෙන් අරලිය ගහ මන්දිරය වෙත රැගෙන ආ බව ය.

කෙසේ වෙත ත්, එම රැස්වීම අවසානයේදී එහි සිටි ජනතාවට “මුග්ධ දේශපාලනඥයින් පිරිසක්” අනියම් ලෙස බලපෑම් කර එම ජනතාව අතරින් පිරිසක් සමග ‘ගෝඨාගෝගමට’ පහර දීම සඳහා ගමන් කළ බව ඔහු පැවසීය.

ඒ අනුව, තමන් අරලිග ගහ මන්දිරයේ සිට ම “සිදුවීමට යන විනාශය” සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව දැනුවත් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

එම අවස්ථාවේදී “කිසි ම ගැටලුවක් නැහැ සර්, සියලු ම road blocks දාලා තියෙන්නේ අපි මේක නවත්වනවා,” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තමන්ට පැවසූ බව ඔහු පාර්ලිමේන්තුවට අනාවරණය කළේ ය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, අනතුරුව තමන් ජනාධිපතිවරයා සමග පැවති රැස්වීමක් සඳහා ජනාධිපති මන්දිරය වෙත ගිය බව ය.

එම අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ද තමන්ට දුරකතනය ඔස්සේ අමතා අදාළ සිදුවීම නවත්වන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන්නැයි ප්‍රකාශ කළ බව ඔහු ප්‍රකාශ කළේ ය.

අනතුරුව තමන් ජනාධිපතිවරයාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බව ත් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුරකතනයෙන් අමතා, මෙම සිදුවීම වළක්වන දැනුම් දුන් බව ත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත්, පොලිස්පතිවරයා තමන්ට නියෝග කළේ, ඊට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස බව තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, එවිට නැවතත් ජනාධිපතිවරයා, තෙන්නකෝන් මහතා අමතා වහා ම එය වැළැක්වීමට කටයුතු කරන ලෙස නියෝග කළ බව ය.

මැයි 9 වන දා ගාලු මුවදොර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත්වීමට කටයුතු නොකළේ, පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා බවට ඔහු එහිදී චෝදනා කළේ ය.

“මේ සිද්ධිය සිද්ධ වෙන දවසේ අපේ හිටපු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ධූරයෙන් ඉවත් වන බව දන්වලා ඊට කලින් දවසේ එතුමාට සමුදෙන්න, සුබ පතන්න පිරිස් රැගෙන එන්න කියලා අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා.

අරලිය ගහ මන්දිරයට ඒ පිරිස් ගියා. මෙතනට ආපු සාතිශය බහුතර පිරිසකගේ පරම අභිලාශය වුණේ, දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු අගමැතිවරයා ධූරයෙන් ඉවත් වන දවසේ එතුමාට සමු දීලා ගෞරවාන්විතව සමු දීමක් ලබා දෙන්න. ඒ රැස්වීමේ අපිත් හිටියා.

මේ රැස්වීම අවසානයේදී අපි ඉතා ම කනගාටුවෙන් සඳහන් කරන්නේ, මුග්ධ දේශපාලනඥයින් කිහිප දෙනෙක් මෙතනට ආපු ජනතාවට අනියම් බලපෑමක් කළා. ඒවා පිළිගන්නට අවශ්‍ යයි. ඒ බලපෑමට නතු වෙලා ඒ ආපු පිරිසෙන් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක් මේ ගෝඨාගෝගමට පහර දෙන්න ඕන කියලා මානසිකත්වයෙන් මේ ගාලු පාරේ ගමන් කළා.

ඒ සිදුවීම ඉතා ම අවාසනාවන්ත සිදු වීමක්. මේ අරගලය මාසයක් මෙතන තිබුණා. අතිගරු ජනාධිපතිතුමාටවත් ආණ්ඩුවටවත් කිසි ම අවශ්‍යතාවක් කවදාවත් තිබුණේ නැහැ මේ උද්ඝෝෂණයට ගලක්වත් ගහන්න. හැබැයි ඒ අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ මෙතනට පිරිසක් ගියා ඒ පිරිස යනකොට, මම ඒ අවස්ථාවේදී අරලිය ගහ මන්දිරයේ හිටියේ. මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහත්තයට කතා කළා, මෙහෙම අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වෙන්න යනවා කරුණාකරලා මේක නවත්වන්න. DIG තෙන්නකෝන් මහත්තයා මට කිව්වා, කිසි ම ගැටලුවක් නැහැ සර්, සියලු ම road blocks දාලා තියෙන්නේ අපි මේක නවත්වනවා කියලා.

ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා, මම ජනාධිපති මන්දිරයට ගියා ජනාධිපතිතුමාගේ රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට මට කතා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මැතිතුමා. එතුමා කතා කරලා කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා ඇමතිතුමා, වහා ම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්න කියලා.

එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා, එතනදී ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවේ හිටියේ, විශාල ගැටලුවක් සර්, මෙතන ලොකු අර්බුදයක් වෙන්න යනවා වහා ම මැදිහත් වෙලා නවත්වන්න කියලා.

එතකොට ජනාධිපතිතුමා අපි ඉදිරිපිට, ඇමතිවරු කිහිප දෙනෙක් හිටියා, දුරකතන ඇමතුමක් ගත්තා, මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා මොකක් ද මේ සිද්ධ වෙන්නේ කියලා ඇහුවට පස්සේ DIG තෙන්නකෝන් කිව්වා, සර් මට පොලිස්පතිතුමා කිව්වා, 12.40ට පොලිස්පතිතුමා කිව්වා, මේකට කඳුළු ගෑස් ගහන්න එපා. මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වා. මෙතුමා කිව්වා 12.40ට කතා කළේ, පොලිස්පතිතුමා කිව්වා කෙලින් ම, නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපති තුමාට කිව්වා, මේක නවත්වන්න එපැයි කියලා පොලිස්පතිතුමා කිව්වයි කියලා.

ජනාධිපතිතුමා කිව්වා තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති, වහා ම නවත්වනවා කියලා ජනාධිපති තුමා කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා, මේ ගමන නතර කරන්න ජනාධිපතිතුමා කටයුතු කරන්න… ඒ මැදිහත්වීමෙන් පස්සේ තමයි මේ කටයුත්ත මේ මට්ටමට බේරුණේ.

මේ ප්‍රහාරය නවත්වන්න, ගියපු මුග්ධ පිරිස නවත්වන්න, එපා කියලා නියෝග කළේ, පොලිස්පතිතුමා ත්, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම්තුමා ත් කියන කාරණය තමයි සත්‍ය කාරණය.”

වැඩිදුරට ත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ගෑස්, තෙල්, පොහොර අර්බුදය සහ ඉහළ යන ජීවන වියදම හරහා මිනිසුන් තුළ ගොඩනැගී ඇති වේදනාව සාධාරණ බව ය.