රට හදන තැන

0
97

ගාලුමුව‍ෙදාර පිටියේදී මැයි මස 09 වැනිදා සිදුවූ පහරදීම් සහ මැති _ ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තැබීම් හා අලාභහානි කිරීමේ සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

(පාර්ලිමේන්තුව අද (18දා) පෙරවරු 10.00ට යළි රැස්වෙයි)

මේ වෙලාවේ මේ සභාවේ කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලුවද : අගමැති රනිල් වික්‍රමසිංහ

“මම අද පොලිස්පතිතුමාට කතා කළා. මම කිව්වා පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය පැන නඟිනවා, කරුණාකරලා මට කියන්න මොකක්ද තත්ත්වය කියලා. එහිදී කිව්වා නීතිපතිතුමාගේ නියෝග ලැබිලා තිබෙනවා, ඒ අනුව එතුමා ක්‍රියා කරනවා කියලා. මම යෝජනා කළා ඒ ගැන කථානායකතුමාට වාර්තා කරන්න කියලා. මම හිතන්නේ හොඳම එක තමයි දවස් දෙකෙන් දෙකට හෝ තුනෙන් තුනට ඔබතුමාට ඒ ප්‍රගතිය වාර්තා කරන එක.

ඊළඟට අපි කාරණා කිහිපයක් මතක තියා ගන්න ඕන. ගෝල්ෆේස් පිටියේ වුණු සිද්ධිය මම හෙළා දැකලා තිබෙනවා. මේ වෙලාවේ මේ සභාවේ කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලවද? මේ පළමුවැනි සැරේ නියෝජ්‍ය කථානායක තේරීමේදී මගේ සම්බන්ධයක් තිබුණේ නෑ.”

මම කැමැතියි කාන්තාවක් තෝර ගන්නවාට. අන්තිම කාන්තාව මේ රටේ සෙනෙට් සභාවේ නියෝජ්‍ය කථානායක ලෙස සිටියේ මගේ අම්මගේ නැන්දම්මා වන ඇඩ්ලින් මොලමුරේ. ඉන්පසු කවුරුවත් මේ තනතුරුවලට ඇවිල්ලා නෑ. කෙසේ හෝ මේ සභාවේ ඒක ඉෂ්ට වුණේ නෑ. මේ එකකටවත් මම හිටියේ නෑ. ඇත්ත වශයෙන්ම සියල්ලන්ම කියන්නේ මම තනි පක්ෂයේ අගමැති කියලා. විපක්ෂයටත් මට සහභාගි වෙන්න බෑ. ආණ්ඩු පක්ෂයේ රැස්වීම්වලටත් මම සහභාගි වෙලා නෑ. මම අර පාලමෙන් පටන් ගෙන මොන පැත්තේද ඉන්නේ කියලා දන්නේවත් නෑ.

අද මේ පාර්ලිමේන්තුවට තර්ජනයක් වෙලා තිබෙනවා. එක මන්ත්‍රිවරයෙක් මරුමුවට පත්වෙලා තිබෙනවා. අපේ කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා, එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන එකට විරුද්ධව අපි එක්ක එකට වැඩ කළා. එතුමාට අද ගහලා තිබෙනවා. ඒක නිකන් සිදුවුණු එකක් නෙවෙයි කියලා මට දැන් ආරංචි වෙලා තිබෙනවා. ගෙවල් ගණනාවකට ගිනි තියලා තිබෙනවා. ගාල්ලේ රමේෂ් පතිරණ මන්ත්‍රිතුමාගේ ගෙදරටත් ගිනි තිබ්බා, චන්දිම වීරක්කොඩිගේ ගෙදරටත් ගිනි තිබ්බා. ඒ විතරක් නෙවෙයි විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයාගේ ගෙදරටත් ගිනි තිබ්බා.

මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඕන. අපි ඒක කරන ගමන් තව එකක් තිබෙන්න ඕන. මේ පාර්ලිමේන්තුවට ඇයි ජනතාව ‍ෙදාස් කියන්නේ? අපි මේ සංස්කෘතිය වෙනස් කරමු. අවාසනාවකට ඒ සංස්කෘතිය අදත් තිබුණා උදේ. මම කියන්නේ පාර්ලිමේන්තුවේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන. ඒ නිසා පළමුවැනි පියවර ලෙස මේ පාර්ලිමේන්තුවේ දේශපාලන මණ්ඩලය, නැතිනම්  ජාතික සභාව ඇති කරන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ. එකඟ වෙන්න පුළුවන් ඒවගෙදී එකඟ වෙන්න.

මේ අවස්ථාවේදී දෙපැත්තෙන්ම එකක් මතක තියා ගන්න ඕනි. මේ සංස්කෘතිය නැති කරන්න ඕනි. මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමඟ අපිට ඉදිරියට යන්න බැහැ. මේ පැත්තෙන් කෑ ගහනවා, ඒ පැත්තෙන් කෑ ගහනවා. පුළුවන්ද මේක කරන්න? රට කියනවා අපිව අවශ්‍ය නෑ කියලා. අපි මේක හදාගමු. ඒක නිසා තමයි පාර්ලිමේන්තු ජාතික සභාව හදන්න කියන්නේ.

ජනපතිට අප්‍රසාදය පළකරන්න දින පහක් ඉක්මවිය යුතුයි  : සභානායක දිනේෂ් ගුණවර්ධන

ජනාධිපතිතුමාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීම සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින පහක් ඉකුත්විය යුතුව ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

“දැන් යෝජනාවක් ඉදිරිපත් කළා සුමන්දිරන් මන්ත්‍රිතුමා. එය ස්ථීර කරනු ලැබුවා ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිතුමා. මොකද්ද යෝජනාව?  ස්ථාවර නියෝග අත්හිටුවන්න. මේ කාරණා දෙකක්. ස්ථාවර නියෝග අත්හිටුවීම පිළිබඳව අපේ එකඟතාවක් නැති බව කලින්ද ඔබතුමාට දැනුම් දුන්නා අද උදේත් පැවැත්වූ පක්ෂ නායක සාකච්ඡාවේදී. මේ යෝජනාව විවාදයට ගැනීම ස්ථාවර නියෝග අනුව අනුගමනය කළ හැකි ආකාරය මොකද්ද කියලා ඔබතුමාට තීරණය කරන්න පුළුවන්. නමුත් අද දිනයේ කරන්න බැහැ.  අද දිනයේ මේ ඉල්ලා සිටින්නේ ඔබතුමාගෙන් ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කරගෙන යෑමට.

අපි කවුරුත් පිළිගන්නවා, පසුගිය දිනයේ රට පුරා ඇතිවෙච්චි කනගාටුදායක සිදුවීම. මේ රටේ මන්ත්‍රිවරුන් අතරින් අමරකීර්තී මන්ත්‍රිතුමා ජීවිතක්ෂයට පත්කරනු ලැබුවා. එතුමාව මරා දැම්මා. සිංහල වචනයෙන් කතා කළොත් එතුමාව මරා දැම්මා. එතුමා මිය ගියා කියන එක නෙවෙයි. එතුමා මරා දැම්මා. ඒකට අපි කවුරුත් සභාවම දැන් කනගාටුව ප්‍රකාශ කරනවා.

දෙවැනි කාරණය තවත් මන්ත්‍රිවරු 76කගේ පමණ ගෙවල් ‍ෙදාරවල් විනාශයට පත්වුණා. දේපළ, මහජනයාගේ දේපළ, මහජන නියෝජිතයන්ගේ, පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගේ, අග්‍රාමාත්‍යතුමා දැන් සඳහන් කළා වෙල්ගම මන්ත්‍රිතුමාගේ ඔහුත් රෝහල් ගතවෙලා තාමත්. මම මේ කාරණා එකින් එක කියන්න යන්නේ නැහැ. මෙයින් ආපහු කිසිම පාර්ශ්වයකට මේ පාර්ලිමේන්තුවේ එසේ සිදු වුණේ නැහැයි කියන්න බැහැ. ඒ නිසා ආණ්ඩු පක්ෂය වෙනුවෙනුත් වීරසිංහ මන්ත්‍රිතුමා යෝජනාවක් කර, අපි ඔබතුමාට පක්ෂ නායක කමිටුවේදීත් කිව්වා, යෝජනාවක් අද දිනයේ හා හෙට දිනයේ මේ පිළිබඳ කරුණු කියන්න ඕනෑම මන්ත්‍රිවරයෙක්ට පක්ෂව හෝ විපක්ෂව කරුණු කියන්න අවස්ථාව සලසනවා.

මේ වගේ බරපතළ ප්‍රශ්නයකට ශ්‍රී  ලංකාවේ මහජන නියෝජිතයන්ගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ ඒ අය ගැන අනුගමනය කරන ක්‍රියා පිළිවෙළේ, ජනාධිපතිතුමා ගැන යෝජනාව අනුගමනය කරන ස්ථාවර නියෝග පරිදි කටයුතු කරන්න.

නමුත් අත්හිටුවන්න හදන ස්ථාවර නියෝගය, අත්හිටුවන්න අපේ එකඟතාවක් නැහැ. විවාදයේ ඔබතුමා අනුගමනය කරන ස්ථාවර නියෝගය පරිදි විවාදය පසු දිනයක ගත හැකි මොකක් යටතේද කියලා තීරණය කරන්න. නමුත් මේ යටතේ මේක ගේන්න බැහැ. ඒ නිසා ආණ්ඩුව වෙනුවෙන් මම විරුද්ධ වෙනවා.

අරලියගහ  මන්දිරයේ වැපිරූ බීජවල අස්වැන්න මහජන නියෝජිතයන්ට නෙළා ගන්න වෙලා : ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරයේ වැපිරූ බීජවල අස්වැන්න ඒ ඒ මහජන නියෝජිතයන් ලබාගත්තා යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවැසීය.

“දැන් හදිසි නීතිය දාලා තියෙන්න හේතුව තමයි ආණ්ඩුවේ පැවැත්මට. ආණ්ඩුවට ජනතාවගෙන් එන කරදර හිරිහැර සිදුවී යැයි කියන බයට හදිසි නීතියක් දාලා. මේ හදිසි නීතිය 6 වැනිදා ගෙනාවා. මේ මාසේ ගේනකොට මේ රටේ විශාල ප්‍රශ්නයක් අපි දැක්කෙ නෑ. රටේ ජනතාවට තියෙන ප්‍රශ්න ගැන, ආහාර, ගෑස්, තෙල් නැති ප්‍රශ්නවලට හදිසි නීති හරහා පිළියම් සොයන්න බෑ. හදිසි නීතිය ගෙනාවේ අපිට හිතෙන විදිහට තමුන්නාන්සේලාගේ ඉදිරි සැලසුම් තිබුණා. 9 වැනිදා ක්‍රියාත්මක වුණු භීෂණයෙන් ජනතාව පීඩාවට පත්කරලා, ජනතාව මර්දනය කරලා. ජනතාවට හිරිහැර කරලා ජනතාව පලවා හැරීමේ ක්‍රියාදාමයක් තමුන්නාන්සේලා සැලසුම් කර තිබුණා. ඒ නිසා තමයි මේ හදිසි නීතියත් ගෙනාවේ.

9දා ආරම්භ වූ භීෂණයේ ප්‍රතිඵලය ඔබලාම අත්වින්දා. අරලියගහ මන්දිරෙන්   වැපිරූ බීජ මේ.  ඒ වපුරපු බීජවල ඵල නෙළා ගන්නට සිදුවුණේ තමුන්නාන්සේලාටමයි.  ඒ නිසාම එක එක එක්කෙනාගෙ පිටින් දාලා වෙනත් පක්ෂ පිටින් දාලා මේක අමතක කරන්න හදන්න එපා.

අපි දැක්කා මීඩියාවල මැති ඇමැතිවරුන්ගේ නම් වට්ටෝරුව. ඒ අතරෙ  පුත්තලම් බූරුවකුත්  යකඩ පොල්ලක් අරගෙන ඒ බූරුවා පිටේ නැඟලා යනවා. ඒ වගේම පොලිස් හා හමුදා නිලධාරීන්ගේ රැකියාවේ සීමාව ඒ අය දන්නවා. එදා  ආරම්භ කළ භීෂණයේ නීති විරෝධී ක්‍රියා වළක්වන්න පොලිස්පති, හමුදාපති ආවේ නෑ කියලා ඒගොල්ලන්ට ගහන එක වැරදියි. බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මැරයො  එක්ක හිටගන්නවා. යුද හමුදාව කියන්නෙ මිනීමැරුමක් සිදු වුණත් එතෙන්ට හමුදාව යන්නෙ නෑ. හමුදා සීරුවෙන් හිටියත් මේ ප්‍රශ්නය පොලිසියේ පාලනයෙන් පිටත යනවා පොලිස්පති හරහා හමුදාපතිගෙන් ඊට උදවු ලබාගන්න ඉල්ලා සිටින්න ඕනැ. එහෙම නැතුව පොලිසියේ රාජකාරි කරන්න  හමුදාව ස්වේච්ඡාවෙන් මැදිහත් වෙන්නේ නැහැ.

එදා උද්ඝෝෂණ කළ නීතිඥයන්ම අද මන්ත්‍රි ගෙවල්වලට පහරදුන් අය වෙනුවෙන්  පෙනී සිටිනවා : කංචන විජේසේකර

“එදා  පාරට බැහැලා උද්ඝෝෂණය කරපු නීතිඥවරුම අද මන්ත්‍රිවරුන්ගේ ගෙවල්වලට පහරදී මරණයට පත් කරපු මිනිස්සු වෙනුවෙන් අද අත්පුඩි ගසමින් අධිකරණයේ පෙනී සිටිනවා” යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය.

මේ පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු අතරේ 119ක් අද ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය භාවිත කළා. ඒ මන්ත්‍රිවරු අතරින් 76 දෙනකුට වැඩිය තමන්ගේ දේපළ අහිමි වෙලා. සමහරුන්ගේ සියලුම දේපළ අහිමි වෙලා. සමහරුන්ගේ දේපළ, ව්‍යාපාරික ස්ථාන අහිමි වෙලා. සමහරුන්ගේ ජීවිතත් අහිමි වෙලා.

දැන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා ජේ.වී.පී. නායකයො, ඔවුන්ගේ දේශපාලන මණ්ඩලයේ සභිකයෝ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෝ ඒ වගේම සජබ නායකයෝ මේ සියලු දෙනා කරපු ප්‍රකාශ. ඔවුන් මොනවාද කිව්වේ. වෛරය වැපිරුවා. ඇවිල්ලා කිව්වා ගෙවල් වට කරන්න කියලා.

මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ දැන් පාර්ලිමේන්තුවේ නැති හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා මොකක්ද කිව්වේ. යාපනයේ ඉඳලා ගිහිල්ලා ගෙවල් වට කරන්න කිව්වා. මන්ත්‍රිවරුන්ට පහර දෙන්න කිව්වා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය.

මේකද අද රටේ නීතිය. බොහෝ කණ්ඩායම් නීතිය අතට අරගෙන එම නිසා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න.

මා ඉතා වගකීමෙන් කියනවා මගේ නිවෙසට පහර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි : ජී. වීරසිංහ

මා ඉතාම වගකීමෙන් කියනවා මගේ නිවෙසට පහර දෙන්න සජබවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයවත් වෙනත් දේශපාලන

පක්‍ෂයක කිසිම සාමාජිකයෙක් ආවේ නෑ. මගේ ගෙදරට ප්‍රහාරය එල්ල කරන්න සම්පූර්ණ සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ජී. වීරසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා පසුගිය නව වැනිදා ඇති වුණු සිද්ධියෙන් මේ රටේ දැඩි ජීවිත හානියට පත්වෙච්ච සහ දේපළ හානියට පත්වෙච්ච සියලු දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියලා. සමහර විට මෙතන විපක්‍ෂයේ අය හිතනවා ඇති අපිට මේ ප්‍රශ්නය නැති නිසා අපි මේ ගැන කතා කළ යුතු නැතැයි කියලා.

මේ කණ්ඩායම මෙහෙයවපු දේශපාලකයන් ගැන විශේෂයෙන් මම ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ කණ්ඩායම මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකගේ දේපළ සහ ජීවිත හානි කරලා තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලය ලබා ගන්න නොහැකි වෙලාවක, තර්ජනය කරලා, මරලා, දේපළ විනාශ කරලා බලය ලබා ගන්න උත්සාහ කරන වෙලාවේදී අපි සියලු දෙනාම මේක පරාජය නොකළොත් අද පෞද්ගලිකව අපට වුණු දේම මේ පාර්ලිමේන්තුවේ බහුතරයකට වෙන්න පුළුවන්.

මේ අය 71 මෙහෙයවූවා. 88, 89 මේ රටේ තරුණ පිරිස මෙහෙයවලා විනාශ කළා. හැබැයි අදත් මේ මෙහෙයුමට සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වගකීම භාර ගන්න ඕනේ.

මැයි 9දා සිද්ධියට දායක වූ සියලු දේශපාලකයන් අත්අඩංගුවට ගත යුතුයි  : නීතිඥ උදය ගම්මන්පිල

පසුගිය 9දා ගැටුම ඇති කිරීමට දායකත්වය දැක්වූ සියලුම දේශපාලකයන් අත්අඩංගුවට ගෙන නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවට මුලින්ම ජනතාවට පෙන්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල පැවැසීය.

මැයි නවවැනිදා රාක්ෂයාගේ දිනය. මනුස්සකම් මරා දමමින් රාක්ෂයා ජයග්‍රහණය කළ දිනය. දහවලේ රාජ්‍ය ත්‍රස්තවාදය. අඳුරත් එක්ක ආවා පුද්ගල ත්‍රස්තවාදය. රාජ්‍ය ත්‍රස්තවාදය වේවා, පුද්ගල ත්‍රස්තවාදය වේවා එහි පාට රතු පාට වුණත්  කොළ පාට වුණත් නිල් පාට වුණත් මොන පාට වුණත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. ඒ ත්‍රස්තවාදය අප පිළිකුලෙන් බැහැර කළ යුතුයි. අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාර නිසා ජීවිත අහිමි වුණු අප හිතවත් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රිතුමන් ඇතුළු සියලුම දෙනාගේ පවුල්වලට සංවේගය පළ කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

අද අපට ඇහුණා සහෝදර මැති ඇමැතිවරුන්ගේ කතා, ඔවුන්ගේ කතාවලින් කියවුණේ ජීවිත කාලයක් පුරාවට ඔවුන් ගොඩනඟාගත් තමන්ගේ නිවස, වාහනය, අහිමි වුණු දුක්බර කතා. දේපළ හානි සිදුවුණු සහෝදර මන්ත්‍රිතුමන්ලාට වගේම පාර්ලිමේන්තුවෙන් බැහැරව පහරදීම් දේපළ හානි වීම්වලට ලක් වූ සියලුම දෙනාටත් සංවේගය පළ කරන්න මා මෙය අවස්ථාවක් කරගන්නවා.

අරගලයට පහරදීම රාජ්‍ය ත්‍රස්තවාදයක් වන්නේ කොහොමද? මේ පහරදීමට පැමිණි සෙනඟ කැඳවන්නේ ආණ්ඩුවේම මන්ත්‍රිවරු. හරියට නාලාගිරි ඇතාට රා පොවලා මත් කළා වගේ. මේ ජනතාව තමන්ගේ කතාවලින් කුපිත කරවන්නේ ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්. මේ සෙනඟ රැස් කරන්නේ රටේ අගමැතිතුමන්ගේ නිල නිවෙසට. ඒ වගේම අරගල භූමිය කරා සෙනඟ මෙහෙයවන්නේ ආණ්ඩුවේ මන්ත්‍රිවරු, මේක රාජ්‍ය ත්‍රස්තවාදය නෙවෙයි නම් වෙන මොකක්ද?

තමන්ට නිසි ලෙස රාජකාරිය ඉටු කරගැනීමට නොහැකි වුණේ තමන්ට ඉහළින් හිටපු නිලධාරීන් දෙන්නෙක්ගේ බලපෑම නිසා යැයි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මානව  හිමිකම් කොමිසමට කළ ප්‍රකාශයේ සටහන් වුණාය කියලා මාධ්‍ය වාර්තා කර තිබුණා. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ඉහළින් සිටින නිලධාරීන් දෙදෙනයි ඉන්නේ. පොලිස්පතිතුමා ඉන්නවා. මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නවා. ඊට උඩින් ඉන්නේ දේශපාලකයෝ දෙන්නෙක්. එහෙම නම් නිලධාරීන් දෙදෙනා හිතාමතාම මේ ගැටුම ඇති කරගන්නට පරිසරය නිර්මාණය කිරීමේ කටයුත්තට දායක වෙලා රටම ගිනි ගොඩක්, අළු ගොඩක් බවට පත් කිරීමේ යටි අරමුණකින් කුමන්ත්‍රණයක යෙදී සිටියාද කියලා ආණ්ඩුව විසින් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි. මැයි නවවැනිදා මුලින්ම ඇති වුණා පහරදීම පිළිබඳව කෝපයක්.

දවල් වෙනකොට අපි දැක්කෙ ඒක. හවස වෙනකොට තිබුණේ ඒක නෙවෙයි. දේශපාලන පළිගැනීම්. තමන්ගේ දේශපාලන ප්‍රතිමල්ලවයා හොයාගෙන ගිහිල්ලා පහරදීමේ දේශපාලන පළිගැනීම. තව ටිකක් යනකොට මේක මහා මංකොල්ලයක් බවට පත් වෙනවා. මම කතා කරපු අපේ මැති ඇමැතිවරු විශාල ගණනක් කියපු දෙයක් තමයි ගිනි තියපු දේට වඩා හොරකම් කරගෙන අරගෙන ගිය දේ වැඩියි කියලා. මැයි නවවැනිදා වන විට මේ රටේ මොකක්ද දැක්කේ. සාමය, සහජීවනය ගැන දේශනා කරමින් සිටිය පූජකතුමන්ලා සමාජ මාධ්‍යවලට ඇවිල්ල වෛරය වපුරන්නට ගත්තා.

නීතියේ ආධිපත්‍යය, යුක්තිය ගැන කතා කරපු කලාකරුවෝ නීති අතට ගන්නට ජනතාවට බල කළා. දැන් ඒ අයගේ ෆේස් බුක්වලට ගිහිල්ලා බලද්දී නම් ඒ දාපුවා දැන් මකලා. මැයි නවවැනිදා සඳුදා කළු සඳුදාවක්. නැවත මේ මිහිපිට උදා නොවිය යුතු දවසක්. ඒ දවස උදා නොවන බවට වග බලා ගත හැක්කේ එයට විවිධ ආකාරයෙන් දායක වුණු දෙපාර්ශ්වයේම සිටිනා ත්‍රස්තයන් නීතිය ඉදිරියට පැමිණවීමෙන් පමණයි.

අද ආණ්ඩු කරන්නේ ජනපති-අගමැති නොවෙයි, කළුපාට කුරුල්ලෙක් : රෝහිණි කුමාරි විජේරත්න

“ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිකරපු විධායක ජනාධිපති ධුරයට කාන්තාවක් පත්කරපු රටේ පාර්ලිමේන්තුවේ මුල් පුටුවලට තවමත් කාන්තාවකට පත්වෙන්න අවස්ථාවක් නැහැ”යි  ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න පැවසුවාය.

“නව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද ඉඳගෙන කටයුතු කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායක, නියෝජ්‍ය කථානායක පමණක් නෙවෙයි නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරටවත් කාන්තාවක් පත්වී නැහැ. ස්ත්‍රී  පුරුෂ සමානාත්මතාව තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිසක්, මේ පාර්ලිමේන්තුවේ නොවෙයි.

පසුගියදා, ආයෙත් රටම ගිනි ගත්තේ නියෝජ්‍ය කථානායක තනතුරේ අස්වීම, අස්වීම කල්ගැනීම, ඡන්දය, නැවත ඉල්ලා අස්වීම නිසයි.

2004 ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගිනිගත්තා.

2022 රටම ගිනිගත්තා.

මම ලංකා පාර්ලිමේන්තුවේ මේ අවාසනාවන්තම සිදුවීම් දෙක ඇසින් දැක්කා. තුන්වැනි අවස්ථාවේ පාර්ශ්වකරුවකු වෙන්නටත් සිදුවුණා. මම මේ බල දේශපාලනයේ පාර්ශ්වරුවකු බවට පත්වීම පිළිබඳ කනගාටු වෙනවා.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා වූ ඡන්දය ලංකා පාර්ලිමේන්තු අර්බුදයේ දැවැන්ත බිඳවැටීමක් ලෙස ඉතිහාසයට එක් වෙනවා. මට මේ තනතුර වෙනුවෙන් කාගෙවත් අත අඹරන්නට ගියේ නෑ.  මම ඒ වෙනුවට, මේ රටේ සියලුම ජනතාවට, අරගල භූමියේ සිටින තරුණයන්ට, සහෝදරත්වයේ, මිත්‍රත්වයේ, ශිෂ්ටත්වයේ දෑත දිගු කරනවා. රෝහිණී කවිරත්න කවුද කියලා පසු පෙළේ මන්ත්‍රිවරයෙක් ඇහුවා.

අහගන්න. මාගේ නම මේ තනතුරට යෝජනා කළ බවට විපක්ෂ නායකවරයාගේ ට්විටර් පණිවුඩය දකින තුරු මම ඒ බව දැන සිටියේ නෑ.

ඊයේ හවස වෙනකන් තිබ්බ එකඟතාව ඊයේ රෑ විනාශ වුණා.  ඒ රාජපක්ෂවරුන්ට මාව එපා වුණා. ඒ රාජපක්ෂවරුන්ගේ හොරකම් වංචා මම හෙළිකරපු නිසයි. මිනිස්සුන්ගේ බදු සල්ලි විනාශ කරමින්, ඔවුන්ගේ කෝපයට, වෛරයට ගොදුරු වෙන තැනට මේ පාර්ලිමේන්තුව අදත් පත්වීම ගැන මා කනගාටු වෙනවා.” අපේ තරුණයන් ගෝල්ෆේස් පිටියේ, ගාල්ල, මහනුවර, අනුරාධපුර දැන් දවස් 39ක් අරගල කරනවා. ගෝල්ෆේස් අරගලයට පහරදුන් දේශපාලනඥයන්, මැරයන් තවමත් නීතිය හමුවට පමුණුවා නෑ. එයට මාවත සකසා දුන් පොලිස් නිලධාරීන් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.

පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිතුමාගේ පළමුවැනි යෝජනාව කාන්තාවකට මේ තනතුර ලබාදීමයි. අගමැතිගේ පළමු යෝජනාව අද පාර්ලිමේන්තුවේ පරාජය වෙලා තියෙනවා.

අගමැති ගත්ත පළමුවැනි ප්‍රතිපත්්තිය අද පරාජය වී තිබෙනවා.

සමහරවිට මෙය අගමැතිවරයා ලබන පරාජයන් වැලක පළමුවැන්නයි. අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් වැල ආරම්භ වෙනවා. රාජපක්ෂවරු තමන්ගේ න්‍යායපත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වන බව පැහැදිලියි.

මෙවැනි සුළු කටයුත්තකටවත් අගමැතිවරයාට එකඟත්වයක් ලබා ගැනීමට අගමැතිවරයාට බැරි වෙලා.

අද ආණ්ඩුව කරන්නේ ජනපති හෝ අගමැති නෙවෙයි කළුපාට කුරුල්ලෙක් පමණයි. මතක තියාගන්න, මිනිස්සු කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලයි.

ඒ ඉල්ලීම ඉටුවනතුරු අරගලය ඉදිරියට යනවා. ඒ ඉල්ලීම ඉටුවන තුරු පාර්ලිමේන්තුවේ අපගේ අරගලයත් ඉදිරියට යනවා. අගමැතිතුමා ඊයේ ජාතිය අමතා කළ කතාවේ කියූ කරුණු අතිශයින්ම වේදනාත්මකයි. හැබැයි, අද නියෝජ්‍ය කථානායක තනතුර සඳහා ඇතිකර ගත්ත ඒකඟතාව රකින්නට බැරුව රටට දෙන පොරොන්දු ඉටු කරන්න බැරි වෙයි.

තරුණයිනි, ඔබලාගේ අරගලයේ ජයග්‍රහණය කරන දවසේ, අදට වඩා යහපත් පාර්ලිමේන්තුවක් මේ රටේ අනිවාර්යයෙන්ම බිහිවේවි. කන්තාවකට පාර්ලිමේන්තු කථානායක ධුරයට පත්වීමට අවස්ථාවක් සැලසෙන රටක් බිහිවේවි. ඒ දවස උදා කරන්නට, මේ පාර්ලිමේන්තුව අදට වඩා ශිෂ්ට හා ගෞරවනීය තැනත් කරන්නට මම කැප වෙනවා.”

පාර්ලිමේන්තුවේ 225 දෙනාම මරන්න ඕනෑ කියන සමාජ මතයක් හැදුවා : නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම මරන්න ඕන කියලා සමාජ මතයක් හදපු වෙලාවක් බව අපි හැමෝම දන්නවා යැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවැසීය.

ඒ නිසා මම මේ රටේ පොදු මහජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ රටේ වටිනා කාලය අද මේ පාර්ලිමේන්තුව තුළ මේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කැප කරන්න සිද්ධ වුණා. ඒක අපේ රටේ තියෙන නීතිය. අපි නීතියට හිස නමන්න ඕන. ඒක තමයි අද දිනයේ සිදුවුණේ. නමුත් අද ආණ්ඩු පක්ෂයේ හැමෝමත්  ඒ වගේම විපක්ෂයේ සැමදෙනාමත් මම දන්නවා පෞද්ගලිකවම මාත් එක්ක කිසිම කෙනෙක් තරහා නැහැ. අපි ඔක්කොම යාළුවෝ වගේ ඉන්නේ.  ඒ ගෞරවය අපි හැමෝටම තියෙනවා.

මගේ දේශපාලන ජීවිතයේත් විරුද්ධවාදීන් කියලා කොටසක් නැති තරමට මගේ දේශපාලනය මම මේතාක් දුරට කරලා තියෙනවා. ඒ වගේම මම නවකයෙක් හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කළත් මමත් මේ දේශපාලනයේ ලොකු කාලයක් කැපවීම් කළ කෙනෙක්. මහජන නියෝජිතයෙක් විදිහට මා මේ ගත කරන්නේ 25 වැනි වසර. මීට කලින් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක්, පළාත් සභාවේ අඛණ්ඩව අවුරුදු 20ක් පළාත් සභා මන්ත්‍රිවරයෙක් හැටියට හිටියා. මම ඡන්දය ඉල්ලපු හැම වෙලාවකම මට අපේ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය දුන්නේ

පළමුවැනියා, දෙවැනියා, තුන්වැනියා වෙන්න. මම පල්ලෙහාට ගියේ නෑ. හැමදාම මට ඒ යුතුකම කළා.

ඒ නිසා අද අපි අහම්බයෙන් තරගයට ගියා. අද අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු විශාල පිරිසකට මේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කමක් නැහැ. සමහර අය තාමත් කැලෑ වැදිලා හැංගිලා ඉන්නේ. ඒ තරමටම සමාජය විකෘති කරලා තියෙන්නේ.

ඒ වගේම සමාජයේ අපේ රටේ පොදු මහජනතාවගේ ප්‍රශ්න, ගැටලුවලට විසඳුම් හොයන්න ඕන අපි 225ම තමයි. අපි 225 දෙනා හරියට හිටගත්තොත් මේ රටේ ජනතාවට කරන්න තියෙන යුතුකම් කොටස සර්ව සාධාරණව ඉෂ්ට කරන්න පුළුවන්. අපි මේක ඇතුළේ  එක එක කණ්ඩායම් හැටියට බෙදෙන්න ඕනේ නැහැ.

බහුතරය තියෙන්නේ කොහෙද කියන  එක මේ 225ම හදවතේ තියෙන බව ඒ අයට දැනෙනවා. නමුත් අපි කොහොම හරි දෙකට බෙදුනා. දෙකට බෙදිලා අපි ඡන්දයකට ගියා. වටිනා කාලය නැතිවෙලා ගියා. ඉතින් මම විශ්වාස කරනවා ආයෙත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න දෙන්න හොඳ නැහැ.

ඊට අමතරව මේ පාර්ලිමේන්තුව තුළ බෙදීම් හදාගන්න හොඳ නැහැ. සමහර වෙලාවට ඊළඟට එන යෝජනාව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව මේ පාර්ලිමේන්තුව තුළ බෙදීමක් හදන්න පුළුවන්. ඒ නිසා දැන් අපි බෙදෙන්න ඕන කාලයක් නෙවෙයි. අපි සියලුදෙනා එකතුවෙන්න ඕන කාලයක්. මේ එකතුවීම තුළ පමණයි මේ රටේ පොදු මහජනතාවට යුතුකම් කරන්න පුළුවන්. මේ 09 වැනිදා ඇති වුණු සිද්ධියත් එක්ක අපි 225 දෙනාටම හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් එකතු වෙන්න ඕන වෙලාව. අපි අතර බෙදීම්, පක්ෂ පාට තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා අපි එකට  එකතුවෙලා වැඩ කරමු. වැඩ කරලා මේ කටයුතු යුතුකම් ඉෂ්ට කරලා මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් අපේ වගකීම අපි ඉෂ්ට කරමු.

අපි ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමේ හැමදෙනාගේම ආශීර්වාදය මට ලැබුණා. ඒ නිසා මට විපක්ෂයේ ඉන්න අපේ බොහෝ අය හොරාට ඡන්දය දෙන්න කියපු ගොඩක් අය ඉන්නවා. ඒ තරම් මට ආදරේ කරපු පිරිසක් විපක්ෂයේ ඉන්නවා.

මම මූලාසනයේ වාඩිවෙලා ඉන්න කොට මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම මාව මේ මූලාසනයේ ඉන්න සාධාරණම කෙනා හැටියට නම් කළා. මට ඒක ලොකු ආඩම්බරයක්.

අනුරාධා හේරත්,

සඳුනි ගමරච්චි