මුකුත් නැති  වෙලාවක පටන් ගැනිමේ වාසිය

0
54

සැතපුම් දහස් ගණනක දීර්ඝ ගණනක් ආරම්භ වෙන්නෙ එක් කුඩා පියවරකින්. එය ව්‍යාපාරික ලෝකයට විතරක්ම නෙමෙයි, සාර්ථකත්වය සම්බන්ධව ඕනෑම ක්‍ෂේත්‍රයකට අදාළ වන පැරණි චීන කියමනක්. එහි කොතනකවත් තමන්ගේ ඒ පළමු කුඩා පියවර පරිපූර්ණ විය යුතු බවට සඳහනක් නෑ. එහෙත් දීර්ඝ ගමනක් යන්න, කවදා කෙසේ හෝ තම පරිපූර්ණ පියවර තබන්න මේ මොහොතේ පළමු අඩිය තියන්න කියන අදහස එහි අන්තර්ගතයි. එදා බන්දුජීවයන් සූදානමක් ගන්න, උත්සාහ කරලා බලන්න පළමු පොත නොලිව්ව නම් මේ වන විටත් ඔහුගේ නමින් ට්‍රෙමෙන්ඩස් වර්ගයේ නිර්මාණයක් බිහ ිවී තියෙන එකක් නැහැ. ඔහු ගැන අද අපි කතා කරන එකක් නැහැ.

ව්‍යාපාරික ලෝකය තුළ නවක ව්‍යවසායකයන් බහුතරයක් ව්‍යාපාර ලෝකය තුළට පිවිසීමට පරිපූර්ණ ආරම්භයක් හොයනවා. “සල්ලි හොඳට අතේ තියාගෙන බිස්නස් එකක් පටන් ගන්න ඕන”, “සුදුසුකම් හදාගෙන බිස්නස් කරන්න ඕන”,  “බිස්නස් එකක් කරන්න වයස මදි” වගේ නානාප්‍රකාර  අදහස්වල ඔවුන් එල්බ සිටිනවා. පටන් ගන්න හොඳම තැනක් හොයන ඔවුන්, කිසිවිටක මේ මොහොතේ පටන්ගත යුතුයි කියන විශ්වාසයේ කටයුතු කරන්නේ නැහැ. මේ හේතුව නිසා ව්‍යාපාරයක් කරන්න අදහස් කරන එහෙත් wantreprenur (ව්‍යාපාරයක් කිරීමට අවශ්‍යතාව ඇති තැනැත්තා) භූමිකාවෙන් ව්‍යවසායකයකුගේ (entrepreneur) භූමිකාවට නොඑන ඕනෑ තරම්  පුද්ගල පෞරුෂයන් අපට හමුවනවා.

තරගයට පෙර පුහුණු වටය – Practice before the game

ක්‍රීඩා තරගයකට සහභාගි වෙන්න කලින්, විවාද තරගයකට සහභාගි වෙන්න කලින් එහෙමත් නැතිනම් රූපවාහිනී නාළිකාවක ජනප්‍රියතම රියැලිටි තරගයකට සහභාගි වෙන්න කලින් යම්කිසි පුහුණුවක් ලබාගන්නවා වගේ  බිස්නස් කියන තරග පිටියට අවතීර්ණ වෙන්න කලිනුත් කිසියම් පුහුණුවක් ලබාගැනීම අත්‍යවශ්‍යයි. ඒ පුහුණුව පොත පතින් දැනුම රැස්කරගෙන කළමනාකරණ උපාධියක් අරගන්නවා වගේ එකක් නොවී ප්‍රායෝගික මට්ටමේ එකක් වීම තමයි ව්‍යාපාර ලෝකය තුළ ක්‍රියාකාරී, සාර්ථක ව්‍යවසායකයන් බිහි කිරීමට වඩාත් ප්‍රායෝගික හේතු සාධක සපයන්නෙ.

ලොව ප්‍රමුඛතම මෙන්ම විශාලතම ව්‍යාපාර ජාලයක හිමිකරුවකු වන virgin සමූහයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් තම ව්‍යාපාර විජිතය බිහිකිරීමෙහිලා පදනම නිර්මාණය කරන්නෙ ශිෂ්‍ය සඟරාවක් ආරම්භ කරමින්. පාසලෙන් ඉවත්වීමත් සමඟම ඔහු අරඹන ඔහුගේ පළමු ව්‍යාපාරය ගැන ඔහු නිතර කියන කාරණාවක් වෙන්නෙ ඔහු ශිෂ්‍ය සඟරාව ආරම්භ කරන්නෙ කළමනාකරණ හැකියා වැඩිදියුණු කරගන්න වගේම ව්‍යාපාර ලෝකය පිළිබඳව අවබෝධයක් ලබාගන්න එය ආරම්භ කළා කියන එකයි. සැබැවින්ම බ්‍රැන්සන් තම පළමු පියවර පුහුණුවක් ලබාගන්නවා කියන අපේක්ෂාවෙන් නොකළ නම් ඔහුට අද ව්‍යාපාර 400කට වැඩි සංඛ්‍යාවක් අයත්වන වර්ජින් ව්‍යාපාර විජිතය බිහිකිරීම ඇතම් විට සිහිනයක් පමණක් වෙන්නට ඉඩ තිබෙනවා.

අපැහැදිලි ආරම්භයක් – Unclear starting

“ඕනෑම විශිෂ්ට අදහසක් මුල් අවස්ථාවේ අපැහැදිලි වන්නට පුළුවන්. එය පැහැදිලි කළ හැක්කේ ක්‍රියාත්මක කිරීමෙන්. ඔබ කළ යුත්තේ ආරම්භය ගැනීමයි.”

“ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ආරම්භය එහෙම නැත්නම් පළමු පියවර පිළිබඳව දරන්නෙ එහෙම අදහසක්. හාවඩ් විශ්වවිද්‍යාලයේදී තවත් මිතුරන් කිහිපදෙනකු සමඟ ඔහු ප්‍රථමයෙන් ෆේස්බුක් නිර්මාණය කරන්නෙ හාවඩ් සරසවිය තුළ වූ ශිෂ්‍යයන්ගේ තොරතුරු හුවමාරු කරගත හැකි මාධ්‍යයක් විධියට. මේ හරහා සමස්ත ලෝකයටම තොරතුරු හුවමාරු කරගත හැකිය කියන වර්තමාන කාර්යභාරය සකර්බර්ග්ට මුලදී අපැහැදිලි වුණත් ඔහුගේ ආරම්භය ඔහු කෙසේ හෝ ලබාගත් නිසා එය අද වන විට ෆේස්බුක් වැඩිදියුණු වී ලොව ප්‍රබලතම සමාජ මාධ්‍ය ජාලය ලෙස එය සමස්ත ලෝකයටම විවර වී තිබෙනවා.

පුහුණු වටයේ පරාජය – Be defeated in the practice 

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී නිසියාකාරව ප්‍රවර්තනය නොවීමේ හේතුව නිසා නව ව්‍යාපාරවලින් 75%ක පමණ ප්‍රමාණයක් එහි ආරම්භයෙන් පළමු වසර 5 තුළ නැවත බිඳවැටී යනවා. අවම ප්‍රාග්ධනීකරණය, දුබල සැලසුම්කරණය, අනවශ්‍ය ප්‍රසාරණය, වෙළෙඳපොළ අස්ථාවර බව වැනි දේවල් වගේම නිසි පුහුණු වටයක් අදාළ ව්‍යවසායකයන් පසුකර නොතිබීම එවැනි අසාර්ථකත්වයට හේතු වෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරනවාට වඩා, එය පවත්වා ගැනීමේදී පැමිණෙන බාධකවලට සහ පීඩනයන්ට ඔරොත්තු දෙන්නනම් අදාළ ව්‍යවසායකයන් පුහුණු වට ගණනාවකදී පරාජයට පත්වී සිටීම වගේම උත්සාහයන් රැසකින් අසාර්ථක වී තිබීම අනිවාර්ය කාරණාවක්.

පුහුණු පියවර තුළ ඔබ පරාජයටත් අසාර්ථකත්වයටත් පත්වන වාර ගණන බොහෝ විට ඔබ ව්‍යාපාරික තරග පිටියට ඔබ කෙතරම් සුදුස්සෙක්ද යන්න තීරණය කරනවා. එය සිදුවන්නේ පරාජය වීම කියන්නෙත් ජයග්‍රහණය සඳහා අභ්‍යාසයක් වන නිසයි. කර්නල් සෑන්ඩර්ස්ගේ රහස් වට්ටෝරු ගණනාවක් අසාර්ථක වීමෙන් පස්සෙයි ඔහු Kentucky fried chicken(KFC) සඳහා වර්තමානයේ භාවිත වන අතිසාර්ථක රහස් වට්ටෝරුව නිර්මාණය කරන්නේ. ඔහු එය නිර්මාණයට පෙර ඔහුගේ වට්ටෝරුව 1009 වතාවක් ප්‍රතික්ෂේප වූ බව පැවැසෙනවා. නමුත් දැඩි ඉවසීමකින් යුතුව ආවේණික රහස් වට්ටෝරුව නිර්මාණය වන තෙක්ම ඔහු තම උත්සාහය අතහරින්නේ නැහැ. “I’m drunk too much to taste this chicken” ලෙස ඔහුගේ එම අසාර්ථක වීම් තුළින් අවසානයේ සාර්ථකත්වයට පත්වීම ඔහු විග්‍රහ කරනවා.

ව්‍යාපාරික ලෝකයට පිවිසෙන, පිවිසෙන්නට අදහස් කරන ඔබ, මම ඇතුළු ඕනෑම අයකුට ඒ සඳහා යම් ප්‍රවේශයක් ලබා ගැනීමට සිදුවෙනවා. ඒ ආරම්භක පියවර තියන්න ව්‍යාපාරයක් ගොඩනැඟීමට අවශ්‍ය වන සියලු සාධක සම්පූර්ණ වනතෙක් බලා සිටියොත් ඔබ, මම දකින ව්‍යාපාරික සිහිනය ඩබල් ලේයර් මෙට්ටයක් මත සැපට දකින සිහිනයකට විතරක් සීමාවෙන්න පුළුවන්. ජනප්‍රිය කියමනක කියවෙනවා වගේ හොඳම වෙලාව කවදාවත් එන්නෙ නෑ. අපි මේ වෙලාව හොඳම වෙලාව කරගත යුතුව පවතිනවා. තවත් විධියකට කිව්වොත් ව්‍යාපාර ලෝකය තුළ විතරක් නෙමෙයි ඔබට ඕනෑම ක්‍ෂේත්‍රයක් තුළ විශිෂ්ටත්වයට පත්වීමට අවශ්‍ය නම් මේ මොහොතේ ආරම්භ කළ යුතු වෙනවා. දීර්ඝ ගමනක අංගසම්පූර්ණ නොවූ පළමු පියවර මේ මොහොතේ විශ්වාසීව තැබිය යුතු වෙනවා. මේ මොහොතේ ඔබේ පියවර අසාර්ථක එකක්ද, අපැහැදිලි එකක්ද, අංගසපූර්ණ නැති එකක්ද, පරිපූර්ණ නැති එකක්ද කියන දේ තවදුරටත්

සැලකිය යුතු කාරණාවන් නෙමෙයි.