ගෝඨාභය-රනිල් මධුසමය

0
114

ශ්‍රී ලංකාව මේ වනවිට පවතින්නේ බිහිසුණු අගාධයක මුව විටෙහිය. රට ඇදවැටෙන්නට නියමිත ප්‍රපාතයේ ගැඹුර පිළිබඳව ඇඟ හිරිවැටෙන කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය ඉරිදා රාත්‍රියේ ජනතාව අමතා ප්‍රකාශ කළේය.  අගාධයට නොවැටී සිටින්නට කිසිදු විකල්පයක් මේ මොහොතේ අපට නැත.

අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වූයේ අගාධයට වැටීම පමා කිරීමේ උත්සාහයක ඔහු නිරතව සිටින බවය. ඔහුගේ උත්සාහය අනෙකක් නොවේ, මිත්‍රශීලී රාජ්‍යයන්ගෙන් ණය සහ අතමාරු ලබාගෙන එදා වේල පිරිමසා ගැනීමය. එම ව්‍යායාමය කිසියම් ප්‍රමාණයකට හෝ සාර්ථක වුවහොත් බාලගිරි ‍ෙදා්ෂය අද නොවේ හෙට කියා යන්තමින් අපට අද දවස ගෙවා ගත හැකිවනු ඇත. එහෙත් අනාගතය අඳුරුය. බියකරුය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය සාරාංශ කළහොත් එය මෙසේය.

මහා භාණ්ඩාගාරයේ මේ වනවිට ඩොලර් මිලියනයක් වත් නැත, පෙට්රල් තිබෙන්නේ එක් දිනක් සඳහා පමණි. ඉන්ධන නැව් 3ක් මුහුදේ නැංගුරම් ලා ඇතත් ඒවා මිලදී ගැනීම සඳහා ඩොලර් නැත. විදුලිය කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇත. පෝලිම් පාලනය  සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 75ක් සොයා ගත යුතුය. දින කිහිපයක් සඳහා ගෑස් සපයා ගැනීමටද ඩොලර් මිලියන 20ක් අවශ්‍යය. දේශීය රාජ්‍ය බැංකුවල හා පෞද්ගලික බැංකුවල ඩොලර් නැත. ලංකාවේ තිබෙන විදේශීය බැංකුද එසේමය. පෙට්රල් ඩීසල් නිකුත් කිරීමේදී වන පාඩුව එන්න එන්නම වැඩි වෙමින් තිබේ. රුපියල් 17කට දෙන විදුලි ඒකකයකට රුපියල් 48ක් දැනට වැයවේ.

රෝහල් පද්ධතිය අඩපණ වී ඇත. ඖෂධ සහ ශල්‍ය උපකරණ සැපයුම්කරුවන්ට මාස 4කින් මුදල් ගෙවා නැත. ඔවුන්ට ගෙවීමට ඇති හිඟ මුදල බිලියන 34කි. රෝහල් සඳහා අත්‍යවශ්‍යම ඖෂධ 14ක් දැනට ලංකාවේ නැත. හෘද රෝග සඳහා වන ඖෂධ සහ ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් ඒ අතරින් ප්‍රධානය. මේ මාසයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට මුදල් නැත. අකැමැත්තෙන් වුවත් මුදල් අච්චු  ගැසීමට සිදුවේ.

රට වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයේ තරම අගමැතිගේ කතාවෙන් මොනවට පැහැදිලි වේ. එය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුගේ ඇඟ සීතල කරවන

බියජනක ප්‍රවෘත්තියකි. හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අපට ඩොලර් හිඟයක් නෑ. අපි තවත් සහන දෙනවා යැයි

තප්පු ලෑවේ රට මෙවැනි අවදානම් තත්ත්වයක තිබියදීය. තම ප්‍රකාශය සාරාංශ ගත කරමින් අගමැති රනිල් පැවසුවේ ඉදිරි මාස කිහිපය ඔබටත් මටත් ජීවිතයේ වඩාත්ම දුෂ්කර කාලපරිච්ඡේදය උදා වනු ඇත කියාය.

දුෂ්කර කාලපරිච්ඡේදයක් අමුතුවෙන් උදා වෙන්නට දෙයක් නැත. රටේ පුරවැසියන්ගෙන් බහුතරය දැනටත් ජීවිතය ගැටගසා ගන්නේ එක වේලක් අනුභව කොට නින්දට යෑමෙනි. දැනටත් මන්දපෝෂණය නිසා, අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය නැතිකම නිසා මේ කාලකණ්ණි රටේ මිනිසුන් මියෙති. ඒවා සලකුණු වන්නේ ස්වාභාවික මරණ හැටියටය. ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් නැති බව අගමැතිවරයා ප්‍රකාශ කළද, ඒ ගැන රටේ ජනතාව ගැඹුරට සිතුවේ නැත. නමුත් එය බිහිසුණු ප්‍රවෘත්තියකි. පිස්සු බල්ලකු සපා කෑවොත් රෝගියා ඒකාන්තයෙන්ම මරණයට පත්වීමට නියමිතය. එසේ වන්නේ රේබීස් එන්නත් දැනට ලංකාවේ නැති බැවිනි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් පාරට බැස අරගල කරන්නේ ඔවුන් මෙවැනි විපතකට හෙලූ පාලකයන්ට එරෙහිවය. යටත්විජිත පාලනයෙන් මිදුණු තැන් සිට ගෙවුණු වසර 74 තුළ මේ පාලකයෝ අප විනාශය කරා කැඳවාගෙන ගොස් තිබේ. මහින්ද රාජපක්ෂලා අවුරුදු 52ක් දේශපාලනය කර ඇති අතර රනිල් වික්‍රමසිංහලා අවුරුදු 45ක් දේශපාලනය කර තිබේ. අපි තමයි හොඳටම කළේ යැයි ඔවුහු තවමත් කියති.

මේ ගතවෙන්නේ  ගෝඨාභය රාජපක්ෂ – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මධුසමයයි. ගංවතුරේ ගසාගෙන යන මිනිසා පිදුරු ගසේ එල්ලුණා සේ මේ මොහොතේ ජනතාව ‘රනිල් වික්‍රමසිංහ’ ගැන බලාපොරොත්තුවක් තබා තිබේ. අපි ඔවුන්ගේ මධුසමයට බාධා නොකරමු.