ආණ්ඩුව ආර්ථිකය  වෙනස් කරයිද?

0
97

ආර්ථිකයේ කළ යුතු වෙනස්කම් ගැන දීර්ඝ කාලයක් කරන ලද යෝජනා සලකා බලන්නට ආණ්ඩුව සූදානම් බව පෙනේ. විශාල විනාශයකට පසු තමන් සිටින අවදානම් සහගත තැන ගැන වටහා ගැනීමට සිදුවීම කනගාටුදායකය. මහජනතාව බලවත් දුෂ්කරතාවක සිටින බව මතක තබාගත යුතු කරුණකි. සුළුපටු කාරණා ලෙස සලකා විසඳුම් තවත් ප්‍රමාද කිරීම සුදුසු නැත. උද්ධමනය විශාල වශයෙන් ඉහළ නැඟ ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉතාම දරුණුය. ඉහළ ගිය මිල ගණන් ආපසු හැරවෙන්නේ නැත. බඩු මිල අඩු කරන බවට මතවාද ඇතිවෙන්නට ඉඩ තිබේ. ජනතාවගේ ආදායම වැඩි කරන පියවර සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. වැඩිපුර වැඩ කරන ඒවාට වැඩි ආදායමක් උපයා ගත හැකි අලුත් ව්‍යවසාය අවස්ථා බහුල කළ යුතුය.

ඉදිරි කාලය දුෂ්කර බව අලුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ඔහුට හා ඔහුගේ මුදල් අමාත්‍යවරයාට හිස් භාණ්ඩාගාරයක් ලැබී ඇත. රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නට පවා අසමත් වන තැනට පත්ව තිබීම මෙහි භයානක තත්ත්වයයි. දේශීය වශයෙන් මුදල් ණයට ගැනීමට එනම් මුදල් නෝට්ටු අච්චු ගහන්නට සිදුවන බව කියැවේ. තවත් වටයකින් උද්ධමනය ඉහළ යන හේතුවක් වන අතර ඉතාම අරපරෙස්සමෙන් ජීවත්විය යුතු කාලයකි.

ආණ්ඩුව හෙළි කරන සාක්කුවේ තරම ගැන යමක්

2022 අය – වැය යෝජනා අනුව රජයේ ආදායම රුපියල් බිලියන 2,300ක් යැයි ප්‍රකාශ කර තිබිණි. දැන්  සඳහන් වන ආකාරයට එය රුපියල් බිලියන 1,600කට සීමා වනු ඇත. රජයේ වියදම රුපියල් බිලියන 3,300ක සිට රුපියල් බිලියන 4,000 දක්වා වැඩිවනු ඇතැයි කියැවේ. අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට දහ තුන ඉක්මවයි. අවසන් වතාවට එනම් ඉකුත් මෛත්‍රි රනිල් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් ලබා ගන්නා අවස්ථාවේදී ඔවුන් හා එකඟ වූ රාමුව අනුව අය – වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරක් දක්වා අඩු කරගැනීමට සැලැස්මක් තිබිණි. සියයට හතර සියයට දහ තුන දක්වා ප්‍රසාරණය වූ පසු මෙහි භයානක භාවය වටහා ගත යුතුය.

දැනට කියැවෙන පරිදි මුදල් අච්චු ගැසීමේ අනුමැතිය රුපියල් බිලියන 1,000කින් වැඩිකර ගැනේ. අය – වැය හිඟය පරිදි සහ ජනතාවට නිකුත් කරන්නට සූදානම් වන සහන සලකා බලනවිට මෙම මුදල් ප්‍රමාණය නොසෑහෙන බව සැලකිය යුතුය. ධනය උපයන්නේ කෙසේද? එය රටට හෙළි කළ යුතු වැදගත් කරුණකි.

බදු නංවනු ඇත. පියවර දෙකකින් වැට් බද්ද වැඩි කරන්නට යෝජනා වී ඇති බව දැක්වේ. වැට් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 8.1 තෙක් පහළට වැටී ඇත. එය සියයට 15 දක්වා නංවා ගැනීමට අනුගමනය කරන උපාය තුළ දැනට ගෙවන ප්‍රමාණය හා සමාන වටයකින් බදු ගෙවන්නට ජනතාවට සිදුවේ. තවත් සෘජු හා වක්‍ර බදු ගණනාවක් ඉහළ යනු ඇත. විදුලිය ගාස්තු වැඩිවේ. ජල ගාස්තු නංවනු ඇත. දුම්රිය ගාස්තුව පවා වැඩිනොකර පවත්වාගෙන යා හැකි වාතාවරණයක් නැත. මේවා කෙළින්ම ජනතාවට බලපාන ප්‍රශ්න බව පෙනේ. ආදායම වැඩි කරන පියවර නොගෙන මූලික වියදම හෝ ආවරණය කරගත නොහැකි බව දැනට හෙළිදරව් වන වැදගත් කරුණකි.

හදිසි තීරණවලින් ආර්ථිකයකට එල්ල විය හැකි ගැහැට

අතමිට නොගැවසෙන පසුබිම තුළ ගෙදර ඇති දෙයක් විකුණා හෝ කුසගිනි නිවීම දෙමහල්ලන්ගේ පිළිවෙළය. ඉදිරියේදී රාජ්‍ය ව්‍යවසාය වට කිහිපයකින් පෞද්ගලික අංශයට පැවැරෙන්නට ඉඩ ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ගැන දැනටමත් කියැවේ. 1998 වසරේදී වසර දහයකට එමිරේට්ස් වෙත පවරන ලද ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගන්නා අවස්ථාවේදී ලාභ උපයමින් සිටි අතර එතැන් සිට ගත වූ වසර ‍ෙදාළහ තුළ දිගටම පාඩු ලබා ඇත. මෙම කාලය තුළ රු. මිලියන 1,48,813ක් අලාභ ලබා ඇති අතර නොසෑහෙන වන්දියක් ජනතාව ගෙවා ඇත. 2017 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කරන්නට එවකට පැවැති මෛත්‍රි-රනිල් ආණ්ඩුව සූදානම් වූ අතර දෙවතාවක් ලෝක ව්‍යාප්ත ටෙන්ඩර් කැඳවීය. ඉදිරිපත් වූයේ සමාගම් දෙකක් පමණකි. එම ව්‍යාපාරිකයන්ද අභ්‍යන්තර මූල්‍ය තත්ත්වය විමර්ශනය කිරීමෙන් පසු අදහස අත්හරින ලද බව සඳහන් කළ යුතුය. දේශීය හා ජාත්‍යන්තර ණය දෙන ආයතනවලට ගෙවන්නට ඇති ණය ප්‍රමාණය සලකා බැලීමෙන් පසු මිලදී ගැනීම නොවටිනා තැනට පත් වූ බව මතක් කරන්නට අවශ්‍යය. දැන් පවතින තත්ත්වය එයටත් වඩා සංකීර්ණය.

කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් සේවයේ මැද පෙරදිග මගී ධාරිතාව සියයට තිස් අටක් වන අතර ඉන්දියාව හා මාලදිවයින යන ගමනාන්තවලින් ලාභ උපයන තැනක තිබේ. ඉදිරියේදී සංචාරක කටයුතු වර්ධනය විය හැකිය. මෙම වාතාවරණය හුවා දක්වා ආයෝජන දිනා ගැනීම වැදගත්ය.

ඛනිජ තෙල් ආනයනය හා බෙදාහැරීම, ගෑස් වෙළෙඳපොළ, රක්ෂණය හා රජයට අයත් සංචාරක හෝටල් ආයෝජකයන්ට ඉදිරිපත් කළ හැකිය. ඉන්දියාව මෙම වසරේදී එරට ජාතික රක්ෂණ ව්‍යාපාරය පෞද්ගලීකරණය කරයි. එයාර් ඉන්දියා පෞද්ගලික අංශයට පැවැරීමෙන් පසු දුම්රිය මාර්ග හා විදුලිය බෙදාහැරීමේ පද්ධති පවා පෞද්ගලික අංශයට පවරන්නට යෝජනා කරයි. එයින් රජයේ ආදායම ඉහළ යන අතර ආයෝජකයන්ට අවස්ථා ලැබේ.

ශ්‍රී ලංකාවටද රජය සතු ව්‍යවසාය හාරසියයක් නඩත්තු කිරීමෙන් ඇති වාසිය ගැන පුළුල් සාකච්ඡාවකට යා යුතුය. අනෙක් පැත්තක්ද තිබේ. රටට ඇති හදිසි මුදල් අවශ්‍යතාව පදනම් කරගෙන මේවා අඩු මිලට විකිණීම සුදුසු නැත. අඩු මිල කෙසේ වෙතත් ආයෝජකයන්ගේ දැක්ම වැදගත්ය. මෙරට වෙළෙඳපොළ වෙනුවට ලෝකයේ වෙනත් රටවලට සේවාව සැපයීම සඳහා එනම් විනිමය ඉපැයීම අරමුණු කරගෙන කරන පෞද්ගලීකරණ අවස්ථා කෙරෙහි නැඹුරුව සුදුසුය.

අලුත් පැති ගැන නැවතත් කල්පනාවක්

ආහාර හා බලශක්ති අංශයෙහි විශාල අවස්ථා නිර්මාණය වෙමින් පවතී. නුදුරු අනාගතයේදී ජලය හොඳ වෙළෙඳපොළක් වනු ඇත. සියලු දේශපාලන පක්ෂ හා විද්වත් මණ්ඩල නියෝජනය කරන සභාවක් පත්කර ආයෝජන අවස්ථා ගැන දිගු කාලීන දැක්මක් – ප්‍රතිපත්තියක් යෝජනා කිරීම රටට වැඩදායකය. දැනට පත්ව ඇති තාවකාලික ආණ්ඩුව ගන්නා තීරණ ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවක් අවහිර කළහොත් රට තවත් වටයකින් අප්‍රසාදයට පත්වනු ඇත. ජාත්‍යන්තර ආයෝජකයන්ට විශ්වසනීය පරිසරයක් අවශ්‍යය.

මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලිය උත්පාදනය සඳහා දැවැන්ත අවස්ථාවක් ඇත. විදුලිය මෙගාවොට් තිස් පන්දහසක් නිපදවිය හැකි බවට පර්යේෂණවලින් ප්‍රකාශ වී ඇත. රටට අවශ්‍ය විදුලිය ප්‍රමාණය මෙගාවොට් 4,500කි. එය දැනට කරගෙන යන උත්පාදනය සුළු වශයෙන් නංවා ගැනීමක් පමණකි. ආයෝජන අනුව විදුලිය උත්පාදනය කර විකිණිය හැකි ආකාරයක් ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? ඕස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශවල නිපදවන විදුලිය සිංගප්පූරුවට විකුණන්නට සැලසුම් ඇත. අප්‍රිකානු රටවල් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ඉන්දියාව අසල්වැසි භූතානයෙන් ජල විදුලිය මිලදී ගනිමින් සිටී. සුළං පමණක් නොව සූර්ය විදුලිය උත්පාදනයටද අවස්ථාවක් රටට ඇත.

ඛනිජ තෙල් ගබඩා කිරීම හා පිරිපහදුව තවත් පැත්තකි. මෙම තීරයෙන් පුන පුනා පෙන්වාදී ඇති පරිදි සිංගප්පූරුවට තෙල් ළිඳක් හෝ නැත. එහෙත් ලෝකයේ තුන්වැනි ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කරන රට බවට පත්ව තිබේ. දැවැන්ත සමාගම්වලට තෙල් පිරිපහදුවට ඉඩදී ඇති අතර ඒවා අපනයනයෙන් ලැබෙන විනිමය, බදු ආදායම හා රැකියා අවස්ථා එරටට මහත් සම්පතකි. ජාත්‍යන්තර පර්යේෂකයක් පෙන්වා දෙන පරිදි අනාගතයේදී බොරතෙල්වලට වඩා වටිනාකමක් පානීය ජලයට ලැබේ. ශ්‍රී ලංකාව පානීය ජල සම්පත් බහුල රටකි. ජල හිඟය මැද අවස්ථා සොයන මැද පෙරදිග රටවල් උතුරු අර්ධද්වීපයෙන් අයිස් ග්ලැසියර් කඩාගෙන මුහුදේ ඇදගෙන එන්නට පවා සූදානම්ය. එමඟින් සාගරයේ ජල මට්ටම පාලනය කරන්නට හැකිවන බවද කියැවේ. කෙසේ වෙතත් එය විශාල පිරිවැයක් දරන්නට සිදුවන කාර්යයකි. ශ්‍රී ලංකාව කළ යුත්තේ ජල සම්පත් ආරක්ෂා කරගෙන ඒවාට වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීමය.

අලුත් රාමුවක් ගැන සමාජයෙන් කතිකාවක්

පරම්පරා ගණනක් තේ වගා කරන ශ්‍රී ලංකාව එයින් උපයන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනයකට මඳක් වැඩි බව දැක්විය යුතුය. මෙරට විශාලතම ඉඩම් ප්‍රමාණයක් යොදවා ඇත. මෙම ඉඩම්වලින් තව තවත් තේ නිපැයුම කරගෙන යන අතර අලුත් පැති ගැන හිතන්නට සිදුවේ. ශ්‍රී ලංකාව හොඳම තේ නිපදවා වැඩි වටිනාකමක් උපයන අතර අසාර්ථක ඉඩම්වල ෆාම් ඔයිල් වගා නොකරන්නේ ඇයි? මෑතකදී ෆාම් ඔයිල් වගාව තහනම් කරන්නේ කිසිම විද්‍යාත්මක පදනමක් රහිතවය.

එයින් භූගත ජලය හිඟ වන බව දක්වා තිබිණි. එහෙත් මැලේසියාව හා ඉන්දියාව දැන් මහ පරිමාණයෙන් ෆාම් ඔයිල් වගා කරයි. ඉන්දියාව එහි නිරත වන ගොවියන්ට සම්පූර්ණ පිරිවැය සපයන අතර සහතික මිලක්ද නියම කර ඇත. ඉන්දීය වාර්තා දක්වන පරිදි ශ්‍රී ලංකාව නිපදවන ෆාම් ඔයිල් සම්පූර්ණයෙන්ම මිල දී ගැනීමට මිල ගිවිසුමකට පවා සූදානම්ය. මැදපෙරදිග ජනතාව මහන්සියෙන් උපයා එවන ඩොලර් මෑතකදී ගත් ඉන්දීය ණය ආපසු ගෙවීම සඳහා වැය කිරීම යුක්ති සහගත නැත. ෆාම් ඔයිල් වගාව විද්‍යාත්මකව, තෝරාගත් ප්‍රදේශවල ව්‍යාප්ත නොකරන්නේ ඇයි? එය හෙක්ටයාරයකට සියයට තුන්සිය හැටක් ආදායම දෙන වැවිලි භෝගයක් සේ පළ කරන වාර්තා අමතක කළ යුතු නැත.

ආර්ථික හා සමාජ ප්‍රවණතා සම්බන්ධයෙන් අලුත් රාමුවක් රටට අවශ්‍යය. දේශීය හා විදේශීය ආයෝජනවලට ඉඩ දෙන පරිසරය වැදගත්ය. ආර්ථිකයට පැනවී ඇති පීඩා ඉදිරියේ මූල්‍ය අරමුදල කරන්නේ තාවකාලික ණය සංචිත සැපයීමකි. රට තුළින් උපයන ධනයෙන් ඒවා පියවන්නට සිදුවෙයි. ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟෙන සැලැස්මක් හදාගැනීම අවශ්‍යය.

ඒ සඳහා උචිත අලුත් වාතාවරණයක් ඇති කරගැනීමේ වගකීමක් රටට ඇත. ඉතාම ඉක්මනින් කාලය ගතවෙයි. අද තීරණ ගතහොත් ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ ඊළඟ ආණ්ඩුවටය. ශ්‍රී ලංකාවේ මතු පරපුරට බව අවධාරණය කළ යුතුය. අපට කළ හැකි මඟ පෙන්වීම පමණකි. ජනතාවට කරුණු ඒත්තු ගැන්විය යුතු අතර පටු දේශපාලනික විරෝධතා ඇති කිරීමෙන් පලක් නැත. රට බෙදන හා රට විකුණන බවට නඟන ලද මතවාදයෙන් ඇති කරන ලද විනාශයක තරමට වටහා ගැනීම වටී. දේශීය ව්‍යවසායකයන්ට පමණක් රට ගොඩනඟන්නට පුළුවන්කමක් නැත. අලුත් තාක්ෂණය අපට අවශ්‍යය. පිටරටින් ධනය ලැබෙන තරමට ආර්ථිකය ප්‍රසාරණය වෙයි. ජනතාව ගෙවිය යුතු බදු බර අඩුවීම එහි වටිනා ප්‍රතිඵලයක් වනු ඇත.

ශාමින්ද වත්තේගෙදර