Panic Buying නොකර මැණික් කැටයක් වෙන හැටි

0
398

‘සෑම කළු වලාවකම එක් රිදී රේඛාවක් දැකිය හැකිය’ මේ කියමනේ අරුත තමයි ඕනෑම දුෂ්කර අවස්ථාවකදී පොඩිම හරි සහනයක් තියෙනවා කියන එක. දැනට ශ්‍රී ලංකාව තියෙන තත්ත්වය එක්ක රිදී රේඛාවක් පෙන්නනවා

කියන්නෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාට වඩා අමාරු වැඩක්. ඒකට හේතුව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. මේ ලිපිය ලියන මොහොත වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය යම් තරමක පහළ යෑමක් පෙන්නුම් කරනවා වුණත්, ඒ වගේම කොටස් වෙළෙඳපොළ තරමක පිබිදීමක් ලැබුවත් ඒවා කෙතරම් කාලයක් පුරාවට රඳා පවතීද කියන්න අමාරුයි. මේ සියල්ල සමඟ තිබෙන දේශපාලන අස්ථාවරභාවය ගැටලුව තවත් වැඩි කරනවා. පාලකයෝ දෙපැත්තට කඹ අදිනවා මිසක ප්‍රශ්නවලට උත්තර හෙවීමක් දකින්න ලැබෙන්නෙත් නැහැ. තියෙන මුදල් ටිකත් පාර්ලිමේන්තුව රැස්වෙලා පාලකයන්ගේ කයිවාරු කතාවලට වියදම් කිරීමක් විතරයි

පෙනෙන්න තියෙන්නෙ. සැබෑවටම මේ සෑම ගැටලුවක් සඳහාම පවතින පාර්ලිමේන්තුව තුළින් විස¾දුමක් ලබා ගතයුතු වුවත් එය අපි සිතන තරම් ලේසියෙන් කරලා දෙන්න පාලකයන් සූදානම් නැහැ. ඒ නිසයි ජනතාවට පාරට බැහැලා ගැටලුවලට විස¾දුම් දෙන්න කියලා කෑගහන්න වෙන්නෙ.

මේ මොහොත වනවිට ශ්‍රී ලංකාවේ ගෑස්, තෙල්, විදුලි බලය, ගමනාගමනය, බෙහෙත්, වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ යන සියල්ලම තියෙන්නෙ බොහොම සීමිතව. එහෙම තත්ත්වයක් තිබියදී පාලකයන්ට විසඳුම් දෙන්න කියලා බල කරනවට අමතරව අපිට අපි වෙනුවෙන් පුංචිම හෝ සහනයක් ගන්න කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැද්ද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් සමහර අවස්ථා තියෙනවා අපිටම කළමනාකරණය කරගත හැකි. මෙතැනදි අදහස් කරන්නෙ පෙර දවසක කවු‍ෙදා් නිලධාරීන් සහ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් මාධ්‍ය හමු තියලා ක්‍රෝටන් කොළ, කොස් කොළ කන්න කියන එක වගේ නෙවෙයි.

01. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වගාවන් සම්බන්ධව සලකා බලනකොට වී වගාවට හෙක්ටයාර 8,07,763ක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම වී වගාව සමස්තයක් වශයෙන් ගත්තම වගාවන්ගෙන් 40%ක ප්‍රතිශතයක් වෙන කරගන්නත් සමත් වෙලා තියෙනවා. වැවිලි බෝග 38%ක් සහ පලතුරු වගේ වගාවන් 22%ක ප්‍රමාණයක් වෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රමාණයන් ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් මදි. ඒ නිසයි වැඩියෙන් ආනයනය කරන්න සිදුවෙලා තියෙන්නෙ. ලෝකයේ වැවෙන සෑම සියලු දෙයක්ම අපේ රටේ වවන්න බැරි වුණත් වගා කළ හැකි සෑම දෙයක්ම යම් සැලසුමකට අනුව වගා කළ යුතුයි. පුංචි ඉඩකඩක වුණත් වගාවන් සිදු කරන්න ජනතාව වශයෙන් උනන්දු වෙනවා නම් ශ්‍රී ලංකාවෙ මිනිසුන්ට හාමත් වෙලා මැරෙන්න වෙන එකක් නැහැ. ඔබට මතක නම් කොවිඩ් වයිරසය ලංකාවේ පැතිර ගිය මුල් කාලය තුළ ශීඝ්‍ර වගා රැල්ලක් පැතිරිලා ගියා. අන්න ඒ වගා රැල්ල නැවත පටන් ගන්න පුළුවන් නම් විශාල සහනයක් අත් කරගන්න හැකියාවක් ලැබේවි.

02. අනෙක් කරුණ නම් ආහාර අපතේ යැවීම. ශ්‍රී ලංකාව තුළ එක් දිනකට ආහාර මෙටි්‍රක් ටොන් 5,000ක පමණ ප්‍රමාණයක් අපතේ හරිනවා. ඒ වගේම ලංකාවේ ජනගහනයෙන් 22.1%කට පමණ තමන්ගේ යහපත් සහ නිවැරැදි සෞඛ්‍ය පෝෂණය පවත්වාගෙන යෑමට නොහැකි බවයි. මේ ආකාරයට ආහාර සම්බන්ධව විශාල වශයෙන් සාකච්ඡා කළ හැකියි. ඉතින් ආහාර සම්බන්ධව සලකා බැලීමේදී රටේ පුරවැසියන් වශයෙන් අපට විශාල

කාර්යභාරයක් පැවරිලා තියෙනවා.

03. ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න කියලා පාලකයන් ජනතාවට කිව්වට කවර කවමදාවත් එයාලා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නෙ නැහැ. ඒක තමයි සත්‍ය සිදුවීම. ජනතාව තමන්ගේ නියෝජිතයන් තෝරා පත්කර ගන්නා සෑම මොහොතකම මැතිවරණයට පෙර හිසේ තැන්පත්ව තිබෙන මොළය ඡන්ද මධ්‍යස්ථානයට යන විට නිවෙසේ තබා යෑමේ ප්‍රතිලාභ තමා අපි මේ භුක්ති විඳින්නෙ. ඒ නිසා ඉන්ධන අර්බුදය දැඩි වෙනකොට අපිට සිදුවෙනවා තමන්ගේ පෞද්ගලික වාහනය ගෙදර තියලා පොදු ප්‍රවාහනයට බහින්න. ඒ වගේම වෙනදා ටවුන් එකට, කඩේට වාහනේ ගියා නම් ඉස්සරහට පයින් යන්න වේවි. පෙරළුණු පිට හොඳයි කියනවා වගේ තමන්ගේ ශරීර සෞඛ්‍යයට ඇවිදීම යහපත් කියලා හිතලා පයින් යන එක කොහොමත් ඇඟට වගේම රටටත් මේ මොහොතේ ගුණයි.

04. ශ්‍රී ලංකාවේ දැකිය හැකි තවත් එක් දුර්වලතාවක් වන්නේ යම්කිසි භාණ්ඩයක මිල ඉහළ යනවා කී සැණින් ඒ භාණ්ඩ එක් රැස්කර ගබඩා කරගැනීම. (Panic Buying) මෙයින් සිදුවන්නේ සුලබ භාණ්ඩ පවා සොයා ගැනීමට නොහැකි පරිදි දුලබ වීමයි. ආර්ථික විද්‍යාවේ බොහොම සරලව මේ ගැන

කියන්නෙ, ඉල්ලුම ඉහළ යෑමේදී ඊට සමානව සැපැයුම ලබාදීමට නොහැකි නිසා මිල ඉහළ යන බවයි. ඒ නිසා ඉහළ යෑමට නියමිත ප්‍රමාණය ඉක්මවා මිල ඉහළ යවා ගන්න ක්‍රමයක් විධියට තොග රැස්කර ගැනීම හඳුන්වන්න පුළුවන්. ඒකෙන් සිදු වන්නේ තමන් තව තවත් අමාරුවේ වැටීම පමණයි.

මේ ලිපිය කියවන ඔබ සමහර විට පෙට්්‍රල් පෝලිමක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෑස් පෝලිමක හෝ විදුලි බලය නැති නිසා ලැබුණු පුංචි ඉඩ පාඩුවේ ‘Bro!’ බලන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ලිපිය තුළින් පාලකයන්ට සහනයක් දෙන්න කටයුතු කරලා තියෙනවා වගේ කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕනෑ කාරණය තමයි අපි අපේ ඉල්ලීම් දිනාගන්න නම් මුලින්ම අපි ජීවත් වෙලා ඉන්න ඕනෑ. මොන කට්ටක් කාලා හරි අපි කෙළින් ඉන්න ඕනෑ.

එහෙම වුණොත් තමයි අපිට අපේ ඉල්ලීම් පාලකයන්ගෙන් දිනාගන්න හැකියාවක් ලැබෙන්නෙ. ඒ නිසා ඔබට ලැබෙන පළමු අවස්ථාවෙන් ඔබට සහ පවුලට රැකෙන්න පුළුවන් යම් දෙයක් කරන්න උත්සාහ කරන්න. ඒකට රටේ පාලකයන් හෝ වෙනත් යම් පුද්ගලයෙක් කියනකම් ඉන්න වුවමනා වන්නෙ නැහැ. අවශ්‍ය වන්නෙ සිතිවිල්ලක් පමණයි. සමහර විට ඔබ ඒ ආරම්භ කරන කාර්ය අනාගතයේ ඔබව මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් බවට පත් කළ හැකියි. ඒ නිසා මුලින් අපි හැදෙමු. ඊට පස්සෙ රට හදමු.

චතුරංග හතුරුසිංහ