ජොන්ස්ටන්-සනත්-සංජීව ඇතුළු 22ක ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න නීතිපති CIDයට දන්වයි

0
172

‘ගෝඨාගම’ හා ‘මයිනාගම’ සාමකාමී විරෝධයන්හි නිරතව සිටි පිරිස් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගත් සැකකරුවන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක යන මැති ඇමතිවරුන් සිවුදෙනා හා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහින්ද කහඳගම, ඩෑන් ප්‍රියසාද් ඇතුළු විසිදෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශකයන් විසින් සාධාරණ හේතු හඳුනාගතහොත් පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා ලිඛිතව දන්වා යවා ඇත.

නීතිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය දිනවල පැවැති සාකච්ඡා වට කිහිපයකින් පසුව ගන්නා ලද තීරණයක් අනුව නීතිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදුකර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඊට අවශ්‍ය උපදෙස්ද පොලිසිය වෙත ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, පොලිස් ස්ථානාධිපතිවරුන් වන ගුණරත්න, සාගර ලියනගේ, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද්, සුගත් හේවාපතිරණ, මහින්ද කහඳගම, රේඛා කහඳගම, වසන්තා හඳපාන්ගොඩ හා නුවර ප්‍රදේශයේ පදිංචි සංගීත් සිල්වා ඇතුළු සැකකරුවන් 24 දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය දා කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

ඒ අනුව, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් 17 දෙනෙකුගේ විදෙස් ගමන් අධිකරණය මඟින් තහනම් කිරීමට ද පියවර ගෙන තිබිණි.