ලංකාවට ඩොලර් ගේන ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද?

0
137

ව්‍යවසායකයන් කියන්නේ හරිම අපූරු සුන්දර ජාතියක්. මොකද ඒ අය ලෝකය දකින්නේ අමුතුම ඇහැකින් නිසා. ඒ වගේම මේ ලෝකයේ ලංකාවේ ඉහළම පෙළේ ධනවතුන් වෙලා ඉන්නෙත් මේ ව්‍යවසායකයන්ම තමයි. ඔයාලා හොඳටම දන්න ව්‍යවසායකයන් කිහිපදෙනෙක් තමයි මාර්ක් සකර්බර්ග්, ස්ටීව් ජොබ්ස්, ඊලොන් මස්ක් කියන්නේ. සාමාන්‍ය බිස්නස් එකක් කරන ව්‍යාපාරිකයන්ට වඩා ව්‍යවසායකයන් ලෝකයේ මේ තරමටම ප්‍රසිද්ධ වෙලා තමන්ගේ නම brand එකක් කරගෙන ඉන්නේ ලෝකයට අලුත්ම වෙනස් දෙයක්  හඳුන්වලා දීපු නිසයි.

එතකොට ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර තියෙන ලොකුම වෙනස මේ විදිහට සරල උදාහරණයකින් කියන්නම්

ව්‍යාපාරිකයා – රු. 30ට ඇපල් අරගෙන

රු. 50ට විකුණලා ලාභය රු. 20ක් ගන්නවා.

ව්‍යවසායකයා – රු. 30ට ඇපල් අරගෙන ඇපල් ජූස් හදලා රු. 100ට විකුණනවා ලාභය රු. 70යි.

දැන් clear නේද?  තව ඔයා හිතලා බලන්න සාමාන්‍ය කෑම කඩයකයි cafe එකකයි අතර තියෙන්නේ මොන වගේ වෙනසක්ද කියලා.

ලංකාව ගොඩගන්න, දියුණු කරන්න රටට ඩොලර් ගෙනෙන ව්‍යවසායකයන් තනි වශයෙන් හරි බිහිවෙන එක මේ කාලයේ අතිශයින්ම වටිනවා. එතකොට ව්‍යවසායකයන් බිහිවෙන්න නම් අංක එකට තියෙන්නේ ඕන Creativity එක. නිර්මාණශීලීත්වය. නිකමට හිතන්න මේ දවස්වල අපේ අරගලයේදී මාර ideas කොයිතරම් නම් මතු වුණාද කියලා. ඉතින් මේ රටේ ඩොලර් ඉල්ලම් ඕන තරම් තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. සමහර විට ඔයත් සුපිරි ඩොලර් ඉල්ලමක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා අද්විතීය ව්‍යවසායකයෙක් වෙන්න කැමැතියි නම් මෙන්න මේ strength ටික හදාගන්න පටන් ගන්න.

කවුරුත් නොහිතන දේවල් හිතන්න පටන් ගන්න

මේ ලෝකයේ තියෙන බලවත්ම දේ තමයි මිනිස් මනස. ඔයාගේ අතේ තියෙන phone facebook එක ඔයාගෙ headphone එක කියන හැමදෙයක්ම ඊට කලින් මිනිස් මනසක නිර්මාණය වුණ දෙයක්. මේ ලෝකයේ අපි සුපිරියි කියලා භාවිත කරන ගොඩාක් දේවල් කවුරුහරි මනුස්සයෙක්ට ආව පිස්සු අදහසක ප්‍රතිඵලයක්. ඔයාටත් ඉඳලා හිටලා  මේ වගේ එකපාරටම හිතට ideas එනවා ඇති. මේ දේවල් ප්‍රායෝගික මදි කියලා අහක දාන්නේ නැතිව අමතක වෙන්න කලින් phone එකේ note එකක් දාගන්න. Free වෙලාවට ටිකක් හිතන්න ඔයාගෙ මට්ටමෙන් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කොහොමද කියලා. ඒ තමයි ව්‍යවසායකයෙක් තියන්න ඕන පළමුවැනි step එක. මේ අසීමාන්තික ලෝකයේ බය නැතිව හිතන්න පුරුදු වෙන්න.

කවුරුත් නොදෙන දේවල් දෙන්න

ඔයා ඉන්නේ මොන ක්ෂේත්‍රයක වුණත් මීට කලින් කවුරුත් නොදීපු විදිහෙ දෙයක් දෙන්න ඔයාට පුළුවන් වෙනවා නම් ඒක ඇත්තටම ලොකු strength එකක්. මිනිස්සු ණය වෙලා හරි අලුතින් එන iphone එකක් ගන්න පෙලඹිලා ඉන්නෙ වෙනත් කිසිම මාදිලියකින් නැති තරම් පහසුකම් දෙන නිසයි. නිතර වෙනස් වෙන ලෝකයට ඕන කරන්නේ අලුත් රෙසිපි අත්හදා බලන්නන් මිසක් පරණ රෙසිපියම හැඳි ගාන්නන් නෙවෙයි.

කවුරුත් නොදකින දේවල් දකින්න

මුහුදේ පාවෙන අයිස් කුට්ටියක  හතරෙන් එකක් මතුපිට තිබුණට තුනක්ම තියෙන්නේ ඇතුළෙයි. අන්න ඒ අයිස් කුට්ටියේ මතුපිට පේනවට වඩා හරයක් ඇතුළාන්තයේ තියෙනවා කියන එක දකින strength එක ගැන තමයි මේ කියන්නේ. ඕනම ප්‍රශ්නයක, මතයක, සිදුවීමක, සංකල්පයක ඕනම කෙනෙක්ගේ අපි නොදකින හරයක් පුළුල්ව දකින්න පුළුවන් හැකියාවක් තියෙන්නේ නියම නායකයෙක්ටයි නියම ව්‍යවසායකයෙක්ටයි. තමන්ගේ ක්ෂේත්‍රයෙ දේවල් දිහා මේ විධියට හොඳ තේරුමක් ඇතිව දකින්න පුළුවන් නම් දේවල් හරිම පහසු වෙනවා. ඒ වගේම සමාජයෙ ප්‍රශ්න දිහා වෙනස්ම ඇහැකින් දකින්න පුරුදු වුණොත් ව්‍යවසායකයෙක්ට අවස්ථා ඕනතරම් හොයාගන්න පුළුවන්.

කවුරුත් නොකියන දේවල් කියන්න

වචන කියන්නේ බිස්නස් කරන අයගෙ ලොකුම අවියක්. මේ වචන කියන දේවල් හරි විදියට පාවිච්චි කරනවා නම් ඒකෙන් තමන්ගෙ බිස්නස් එකට ගොඩාක් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බිස්නස් කරන අය ළඟ  තියෙන්නේ මිනිසුන් අන්දන වචන වුණත් ව්‍යවසායකයෙක් ඊට එහා ගියපු අවංක වචන භාවිත කරන්නෙක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හැඟීම්වලට අමතන්නෙක්ට පුළුවන් තමන්ගේ අදහසකට ලොකු ඉඩක් අරගන්න.

කවුරුත් නොකරන දේ කරන්න

මේ  තමයි වැදගත්ම සහ අමාරුම දේ. අලුතින් හිතන දේවල් අලුත් අදහස් ක්‍රියාත්මක කරන්නෙ සීයට එකකටත් අඩු පිරිසක්. අපේ ලංකාවේ නම් අලුතින් දෙයක් පටන් ගන්නකොට වටේපිටේ ඉන්න අය ඒක නොකර ඉන්න දාහක් විතර හේතු හොයලා දෙනවා. ඒ වුණාට වෙනත් රටවල අලුත් අදහස්වලට දෙන්නේ මාර තැනක්. අන්න ඒකයි අපිට හිතාගන්නත් බැරි විදිහේ අලුත් අලුත් නිර්මාණ ඒ රටවලින් බිහිවෙන්නෙ. හිතට එන අලුත් අදහස් තමන්ට පුළුවන් විදිහට ඉන්න තැනෙන් පටන් ගන්න විදිහ plan කරන්න. ඉතින් ඒ හදන plan එක ක්‍රියාත්මක කරන එක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.

ව්‍යවසායකයන් බිහිකරන්නේ නිර්මාණශීලී අදහස්. නිර්මාණශීලීත්වය දියුණු කරගන්න ඕන නම් සීමා මායිම් කඩාගෙන බය නැතිව හිතන්න පටන් ගන්න.

නෙත්මා බෙලිගොල්ල