ජෙල් ගාපු අය අප්‍රසන්නයි ද?

0
395

අපි පහුගිය සතියෙ Bro පාඨක ඔබ වෙතට ඉදිරිපත් කළේ OCD කියන තත්ත්වය ගැන. ඉතින් අපි අද සූදානම් වෙන්නේ අපේ මේ ලිපිමාලාව අනුසාරයෙන් අපිට ලැබුණු ප්‍රශ්නයකට පිළිතුරු කතා කරන්නට හිතුවා. මොකද මේ කියන මානසික තත්ත්වයන් එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට බලපාන විදිහ වෙනස් වෙනවා. ඔයාටත් ඒ ගැන තේරේවි මේ ප්‍රශ්නය අවබෝධයෙන් කියෙව්වාම. ඒත් එක්කම ඔයාට, ඔයා වටේ ඉන්න පවුලෙ අයට, යහළු මිත්‍රයන්ට, ආදරවන්තයාට හෝ ආදරවන්තියට ජීවිතේ ඕනිම අවධියක මේ මානසික තත්ත්වය එන්නට පුළුවන්. ඒ එන විදිහ විවිධාකාරයි. එහෙනම් පහළින් තියෙන ප්‍රශ්නය වගේම, ඒ වගේ වෙලාවකදි අපි කරන්න ඕනි මොකක්ද කියලා දැනුවත් වෙමු.

ගැටලුව – මට පොඩි කාලෙ ඉඳන්ම දැනගන්න ලැබුණා salt වලටයි ඔළුවට ගාන ජෙල්වලටයි කොණ්ඩෙ සුදු වෙනවා කියලා. මං ඒ හින්දා ඒ දෙකටම හරිම බයයි. මං යන්නෙ mix school  එකකට. ඒකෙදි සමහර පිරිමි ළමයි එහෙම ජෙල් ගාගෙන ආවාම මං මාරම අපහසුතාවකට පත් වෙනවා. මං 10km වගේ දුර තියෙන ඉස්කෝලෙකට යන්නෙ. බස් එකේ එහෙම ජෙල් ගාපු අය ඉද්දි මට මාර තරහයි. ඒ හින්දා මම හැමදාම වගේ නානවා. Weekend එකෙත් class ගිහින් ආවාම එහෙම. මට ඇදුම තියෙන නිසා අම්මා බනිනවා ලෙඩ වැඩි කරගන්නද හදන්නේ කියලා. ඇදුම තියෙද්දි හැමදාම නාන්න හොඳ නෑ කියලා අම්මා බනිනවා. මට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕනි. අපේ ගෙදර බෝඩ් වෙලා අක්කෙක් ඉන්නවා. එයත් ජෙල් ගානවා. ඒ හින්දා මං එයාගෙ කිසි දෙයක් අල්ලන්නවත් කැමැති නෑ. පනා, තුවා එහෙම. ඒකට මොකද කරන්නේ. Salt වලටත් එහෙමයි. ඒ හින්දා මං මාරම අපහසුතාවක ඉන්නේ.

මුලින්ම කියන්න ඕනි මේ පාසල් ශිෂ්‍යයෙක් අපිට යොමු කළ ගැටලුවක්. මොහුට කුඩා කාලයේ සිටම සෙම් රෝගයක් එනම් ඇදුම රෝගය තිබෙනවා. ඒ නිසා මුලින්ම ඔබ කරන්නට අවශ්‍ය වන්නේ ඇදුම රෝගයට ප්‍රතිකාර ගැනීම. මොකද ඇදුම රෝගය උත්සන්න වුණොත් දැඩි අපහසුවකට පත්වෙන්නට ඔබට සිදු වෙනවා. දැන් අපි මානසික තත්ත්වය ගැන සලකා බලමු. මේ දරුවා තමන්ට අහන්නට ලැබුණු දෙයක් නිසා දැඩිව කම්පනයකට පත්ව ඇති බවක් කියන්නට පුළුවන්. මේ දරුවාට කවුරුන් හෝ කියූ දෙයක් තදින්ම හිතට කා වැදීමෙන්, එය තමන්ට වේ දැයි බියෙන් පසු පසුවෙනවා.

අපි මෙහෙම හිතමු. ලුණු කියන්නේ ආහාර පිසීමට, රස කර ගැනීමට යොදා ගන්නා රසකාරකයක්. එතකොට ඔබ දන්නවා අපිට ඕනෑවට වැඩිය ලුණු දැමූ ආහාර කටේ තියන්නට බැරි බව. ඉතින් ඔබේ මව ආහාර පිසීමේදී වෑංජනයට අවශ්‍ය ප්‍රමාණයටයි ලුණු එකතු කරන්නේ. ඔබට දෛනිකව ඒ විදිහට ලැබෙන ලුණු ප්‍රමාණය ශරීරයට ප්‍රමාණවත්. ඒ නිසා ඒ ගැන වධ විය යුතු නැහැ.

හිසකෙස් අලංකරණය සඳහා යොදා ගන්නා වූ ජෙල් කියන්නේ ඕනෑවට වඩා පාවිච්චි කරන්න අවශ්‍ය නැති දෙයක් තමයි. ඒ වගේම එය පිරිමි හෝ ගැහැනු ඕනිම කෙනෙක්ට තම තමන්ගේ කේශාලංකරණය සඳහා යොදාගන්නත් පුළුවන්. ඉතින් ඔබ එය භාවිතාවෙන් මෙසේ සිදුවෙනවා යැයි නරකක්ම සිතා සිටින බැවින් නිතර නිතර නෑමට මෙන්ම පාවිච්චි කරන්නන් පිළිකුල් කිරීමටත් පෙලඹෙනවා. ඊට අමතරව අප මතක තබා ගත යුතු තවත් දෙයක් තිබෙනවා. පනා, තුවා වැනි දේවල් පෞද්ගලිකව පරිහරණය කළ යුතු දේවල්.

ඔබ මිතුරන්ව අෑත් කිරීමෙන් ඔබ හුදෙකලාවට පත්වීමේ අවදානමක් ද පවතිනවා. ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි කරන්නා වූ කේශාලංකරණ වැඩවලට විරුද්ධ වීමට ඔබට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ ඒවා දරා ගෙන, උපේක්ෂා සහිතව සිටීමට හුරු විය යුතුයි. ඒ සඳහා ඔබට කළ හැක්කේ කුමක්දැයි දැන් අපි සාකච්ඡා කරමු.

මුලින්ම ඔබ භාරකරුවෙක් (මව/පියා) සමඟ ගොස් මනෝ උපදේශකවරයකුගේ/ වරියකගේ සහාය ලබාගත යුතු වෙනවා. එහිදී ඔබ සමඟ සහ භාරකරු සමඟ සාකච්ඡාවෙන් ඔබ සිටින තත්ත්වය පිළිබඳ ඔහුට/ ඇයට අවබෝධ කර ගත හැකියි. එහිදී පියවරෙන් පියවර ඔබගේ සිතුවිලි නවීකරණයටත් (Thought Modification) ඒ හරහා චර්යාව නවීකරණයටත් (Behaviour Modification) හැකියාව ලැබෙනවා. තවද ඔබ තුළ ලුණු සහ ජෙල් සඳහා පවත්නා වූ අනියත බිය ඉවත් කිරීමට අදාළ ක්‍රියාකාරකම් මනෝ ප්‍රතිකාර හරහා ඔබට ලබාදී ඒ පිළිබඳව යථාර්ථය අවබෝධ කිරීමක් ද සිදු වෙනවා. ඒ නිසා ඔබගේ සිතුවිලි, සිතීමේ රටාව ආදිය නිසි පරිදි නවීකරණයෙන් ඔබට මේ අපහසුතාවලින් මිදිය හැකි බව සිතේ තබා ගන්න. ඒ වගේම ඔබගේ මානසික පීඩනය ඉවත් කිරීමට අදාළ ලිහිලන අභ්‍යාස සහ ලිහිලන ප්‍රතිකාර ඔබට පුහුණු කිරීමක් සිදු කෙරෙනවා.

ඉතින් ආදරණීය පාඨකයනි, ඔබටත් මෙසේ නිතර නිතර තමන්ගෙ සිතට වධ දි දී තිබෙන සමහර දෑ කල් ගත වීමත් සමඟ ඔබට මානසික රෝගයක් කරා වුවත් රැගෙන යන්නට සමත් බව ඔබ දැන සිටියාද? ඒ හින්දා හොඳම දේ තමයි තමන්ට පාලනය කර ගන්න බැරි දෙයක් වහාම සිතට ඇතුළු වුණාම, ඒක ළඟම ඔබව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට කියන එක. එහෙම කෙනෙක් නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම මනෝ උපදේශකයකුගේ හෝ මනෝ චිකිත්සකයකු වෙත යොමු වෙන්න. කල් දදා ඉන්න එපා. ඔබට සුවපත් වෙන්න පුළුවන්!

වෛද්‍ය චන්දි රාජපක්ෂ