ජන අරගලය – මැර ප්‍රහාරය සහ පොලිසිය

0
121

‘ගෝඨාගෝගම’ අරගලකරුවන් පිරිස ලංකාව හුදෙකලා රටක් නොවන බව ලෝකයට ඒත්තු ගන්වා තිබේ. ඉකුත් මැයි 9දා සිදුවීම විදේශ මාධ්‍ය රැසක්ම වාර්තා කොට තිබුණේ නිරායුධ අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය ආණ්ඩුවේ සැලසුමක් හැටියටය. බී.බී.සී. වෙබ් අඩවිය සිදුවීම සම්බන්ධව විශ්ලේෂණය කරමින් කියා තිබුණේ වරක් ඊළාම් රජයක් ඉල්ලා ඇරැඹූ සිවිල් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මේ මොහොත වනවිට දුෂ්ටයකු බවට පත්ව තිබෙන බවය. ආණ්ඩුවට සහාය දක්වන පිරිස හා ආණ්ඩු විරෝධී අරගලකරුවන් අතර ඇතිවුණු ගැටුමෙන් පැය කිහිපයකට පසුව ‘යුද්ධයේ වීරයා’ බවට අභිෂේක ලබා සිටි අග්‍රාමාත්‍යවරයාට ධුරය අත්හැර යන්නට සිදුවීම ඉතිහාසයේ සරදමක් බව ඇතැම් විදේශ මාධ්‍ය සඳහන් කොට තිබිණි.

ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිවයුත්තන් කවුරුදැයි සොයා බලන්නට ආණ්ඩුව මේ මොහොත වන තෙක් පියවරක් ගෙන නැත. හේතුව ආණ්ඩුව ප්‍රහාරයට මැදිහත් වූ බවට තිබෙන සාක්ෂි බිඳ හෙළිය නොහැකි ඒවා වීමය.

එහෙත් මැර ප්‍රහාරයට පිළිතුරු ලෙස රට පුරා මැති _ ඇමැති දේපොළ ගිනි තැබූ පිරිස් සොය සොයා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා තිබෙන ආකාරයට මේ වනවිට පුද්ගලයන් 230ක් අත්අඩංගුවට ගෙන තිබේ. විස්මය දනවන කරුණ වන්නේ අරගල භූමියට පහර දෙන්නට පැමිණි හා අමානුෂික ප්‍රහාරය එල්ල කළ කිසිවකුත් අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර නොවීමය. සැමට එක නීතියක් යන සංකල්පය ක්‍රියාවට නඟන්නට බැඳී සිටින, ඒ වෙනුවෙන් කාර්ය සාධක බළකා පවා පිහිටුවා තිබෙන රටක මේ සිදුවන අසාධාරණය කුමක්ද?

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ පොලිසියෙනි. පොලිසිය වැඩ කරමින් සිටින්නේ ආණ්ඩුවට ඕනෑ ආකාරයටය. නමුත් කතාවට කියන්නේ ඔවුන් සිටින්නේ මහජනතාවගේ ආරක්ෂාවට බවය. මහජනතාව ආරක්ෂා කරන බව කියන පොලිසිය සැකකරුවන් තෝරා බේරාගෙන වර්ග කොට අත්අඩංගුවට ගන්නට යෑමේ තේරුම කුමක්ද? මේ රටේ ජනතාව මේ අසාධාරණය නිසැකවම වටහා ගත යුතුව තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයකු වන අමරකීර්ති අතුකෝරල අරලියගහ මැඳුරෙන්ම දියත් කළ ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් බවට පත්වූයේ ප්‍රහාරයට පූර්විකාව ලියූ රැස්වීමටත් අනතුරුව දියත් වූ ප්‍රචණ්ඩත්ව අභ්‍යාසයටත් සහභාගි වී පෙරළා නිවෙස බලා යමින් සිටියදීය. අතුකෝරලගේ ආරක්ෂකයාගේ ගිනි අවිය පත්තුවන්නේ කොළඹ _ නුවර පාරේ නිට්ටඹුව නගරයේදීය. වෙඩි පහරින් තරුණයෙක් මියගියේය. තවත් කිහිපදෙනකුට තුවාල සිදුවිය. සිද්ධියෙන් ප්‍රකෝපයට පත් වූ පිරිස් මන්ත්‍රිවරයා හා ආරක්ෂකයා ලුහුබැඳ ගියහ. පලාගිය දෙදෙනාගේ මළසිරුරු පසුව හමුවෙයි. මේ ඉකුත් 9දා එක් සිදුවීමකි. තවත් ඛේදනීය සිදුවීම් රැසකි. මේ සියල්ලට වගකිවයුත්තන් වහා අත්අඩංගුවට ගත යුතු බව සැබෑය. එය කළ යුතුමය. එහෙත් ප්‍රහාරයට සම්බන්ධ වූ දෙපාර්ශ්වයකි. වින්දිතයන් බවට පත් වූ පිරිසක් මෙන්ම ඊට වගකිවයුත්තෝද සිටිති. පොලිසිය කළ යුත්තේ අහුවෙන අහුවෙන අය කිසිදු වග විභාගයක් නැතිව අත්අඩංගුවට ගැනීමද? නැත. ඇතැම්විට මෙසේ අත්අඩංගුවට ගන්නා පිරිස් අතර කිසිදු ප්‍රචණ්ඩ කටයුත්තකට සම්බන්ධ නොවූ අහිංසකයෝද වෙති.

මයිනාගෝගම විරෝධතා භූමියට ප්‍රහාරකයන් දෙදහසක් පමණ පොලු, මුගුරු ගෙන පහර දෙන්නට පැමිණෙන විට එම අභියෝගයට මුහුණදෙන්නට සිටි පිරිස විසිපහකට වඩා සිට නැත. පහර දුන් පිරිස ගෝඨාගෝගමට කඩාපනින මොහොතේ එහි සිටියේද අරගලකරුවන් පනහක පමණ සුළු ප්‍රමාණයකි. මේ අවස්ථා දෙකෙහිදීම පොලිසිය ක්‍රියා කළේ කෙසේද යන්න ගැන දන්නේ සිද්ධිය ඇසින් දුටුවන් හා අවස්ථා වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යකරුවෝය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින්ද සමාජ මාධ්‍ය හරහාද මේ දර්ශන ජනතාවට ඉදිරිපත් කොට තිබේ. සිදුවූයේ කුමක්ද යන්න සහසුද්දෙන්ම පැහැදිලිව තිබියදී පොලිසියේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ජනවහරේ එන ‘යොන් මැරිල්ලේ’ ක්‍රමවේදයටය.

ප්‍රහාරය සම්බන්ධව පාර්ශ්ව ගණනාවක් පොලිස් ස්ථානවලට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි සිදුකොට තිබේ. ශ්‍රී  ලංකා නීතිඥ සංගමයද මේ සම්බන්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවධානය යොමුකරමින් සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව නම් කියන්නේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවය. ඒ වැඩේ නම් හොරාගේ අම්මාගෙන්ම පේන ඇහිල්ලට දෙවැනි නැත. මේ රටේ පොලිසියේ බොහෝ කටයුතු බලයේ සිටින දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් අනුව සැලසුම් කෙරෙන බවට ඕනෑතරම් සාක්ෂි තිබේ.

අහිංසාවාදී බෞද්ධ දර්ශනයේ බලපෑමෙන් හැඩගැසුණු මෙරට ජන සමාජයේ ප්‍රචණ්ඩත්වයට කිසිසේත්ම ඉඩක් දිය යුතු නැත. නීතිය හා සාමය රකින්නට ඇප කැප වී සිටින පොලිසියේ වගකීමද ආරක්ෂක අංශවල යුතුකමද මානව ජීවිත මෙන්ම මානව නිදහස හා පොදුජන හිමිකම් ආරක්ෂා කිරීමය. එහිදී ජන ජීවිතයේ පැවැත්මට යොදාගන්නා පෞද්ගලික හා පොදු දේපොළද ආරක්ෂා කළ යුතුමය. මේ අනුව දැහැමෙන් සෙමෙන් උපයා සපයාගත් දේ විනාශකොට දැමීම සඳහා ජනතාව නීතිය තමන් අතට ගන්නා තත්ත්වයට පොලඹවාලන්නේ නම් එය අපරාධවලට අනුබල දීමකි. හෝරා කිහිපයකට හෝ රට තුළ යම් අරාජික තත්ත්වයක් නිර්මාණය වන්නේ නම් ඊටද වගකිවයුතු වන්නේ අරාජික තත්ත්වය නිර්මාණය කිරීමට මැදිහත් වන පිරිස්මය. එහිදී පොලිසිය සතු වගකීම අතිශයින්ම වැදගත්ය.

ගෝල්ෆේස් අරගල භූමියට පොහොට්ටුවේ මැරයන් ඇතුළුවීම වළක්වාලීමට පියවර ගත හැකිව තිබියදී ඔවුනට එහි කඩා වැදී නිරායුධ තරුණ පිරිසට රිසි ලෙස පහර දෙන්නට සැලැස්වීම පිළිබඳ වගකීමෙන් නිදහස් වන්නට පොලිසියට පුළුවන්කමක් නැත. මේ සම්බන්ධව ජනතාවට පිළිගත හැකි සාධාරණ පරීක්ෂණයකට ඇති ඉඩකඩ තහවුරු කරලීම ආණ්ඩුවට භාරය.