ගැහැනියකට කොටු වෙලා නීතිවලට යට වෙන්න පිරිමි කැමැති ඇයි?

0
406

ජීවිතයේ පසු කර යන දහසකුත් ප්‍රේමණීය පරිච්ඡේදවලදී හැඟීම් මූලික කරගත් විවිධ වූ සම්බන්ධතාවලදී පිරිමි ගොඩක් වෙලාවට ගැහැනියකගෙන් ප්‍රේමයකටත් වඩා හොයන්නේ පාලනයක්. ආදරයකටත් වඩා නියාමනයක්. කොයිතරම් පුරුෂාධිපත්‍යයකින් හෙබි ඊගෝශීලී පුරුෂයෙක් වුණත් ඇතැම් තැන්වල තමන් පසුපස ගැහැනියක් සිටිනවා කියන හැඟීමෙන් සන්නද්ධ වෙන්න හිත යටින් කැමැතියි. නීතිරීති සහ අනෙකුත් සියලු වූ රෙගුලාසි, නුරුස්සන ගති පෙන්නුම්කරන යටහත් පහත් වීමට අකැමැති පිරිමි පවා තමාගේ භාවයන් සහ සියලු හැසිරීම් රටා ගැහැනියක් විසින් නිතර අධීක්ෂණය කරනවාට රහසින්ම කැමැතියි. පිරිමියාගේ ස්වභාවය අනුව විවිධ මට්ටම්වලට, විවිධ පරිමාවන්ට, විවිධ ධාරිතාවන්ට ඔය කැමැත්ත වර්ගීකරණය කරන්න පුළුවන් වුණත් සමස්තයක් විධියට ගැහැනියකට යට වෙලා ජීවත් වෙන්න ඕනම පිරිමියෙක් කැමැතියි.

පිරිමියෙක් බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ තමන්ගේ ජීවිතයේ එක් ගැහැනියකට හෝ ගැහැනුන් කිහිපදෙනකුට බියෙන්. පිටතට නොපෙනෙන ලෙස සඟවා ගත් අසීමිත බියෙන්. යටහත් පහත් සිතින්. සමහරවිට ඒ ගැහැනිය පෙම්වතියම වෙන්න ඕනෙම නැහැ. බිරිය වෙන්නම ඕනෙත් නෑ. අම්මා වෙන්නත් පුළුවන්. සහෝදරිය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගෙ ළඟම මිතුරියක් හෝ වෙනත් ගැහැනියක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ ගැහැනිය ඇයගේ අභිමතය පරිදි තමන්ට හැදෙන්නට අණ කරනවාට පිරිමියා කැමැතියි. ඇයට බියෙන් ජීවත් වෙන්න, ඇයට බියෙන් තමාට අවශ්‍යදේට සටන් කරන්න, ඇයට බියෙන් තමන්ගේ ඉලක්කවලට යන්න, ඇයට බියෙන් මාර්ගය තුළ මංමුළා නොවෙන්න, ඇයට බියෙන් වැරැදි අත්හදා නොබලන්න පිරිමියා සෑමවිටම කැමැතියි.

ගැහැනියට පිරිමියා දක්වන බියෙහි ප්‍රමාණයට වඩා පිරිමියාට ස්වභාවයෙන්ම උරුම වෙච්ච අධිපති හැඟීම ඉහළට එනකොට තමයි ගොඩක් පිරිමි තමන් බිය නොමැති බව තමාටම ප්‍රත්‍යක්ෂ කරගන්න තමන්වත් නොදන්න බොහෝ මවාපෑම් තමාටම ආරූඪ කරගන්නේ. එතකොට තමයි ගැහැනු ඉස්සරහ පිරිමි හයියෙන් කෑගහන්නේ. එතකොට තමයි මත්පැන්වලින් වෙරි වෙලා පිරිමි ගැහැනුන්ට තර්ජනය කරන්නේ. එතකොට තමයි පිරිමි ගැහැනුන්ට අනිසි විදියට පහර දෙන්නේ. ගොඩක් වෙලාවට පිරිමින්ට ගැහැනු ගැන තියෙන බිය වැඩි වුණාම තමයි එහෙම හැසිරීම් රටා වේදිකාගත වෙන්නේ. වැඩිපුර බිය දැනෙනකොට තමයි ආරූඪ කරගත් අධිපති පිරිමිකමක් සමඟ තමන්ටම තමන් බිය නැහැ කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න පිරිමි නොවැදගත් බොහෝ දේ ගැහැනුන් ඉස්සරහ කරන්නේ.

තමාගේ ගැහැනිය විදියට හඳුනාගත්ත පෙම්වතියගෙන් එහෙමත් නැත්නම් බිරියගෙන් ඔය කියන පාලනය නැති වෙනකොට, ඔය කියන නියාමනය නැති වෙනකොට, ඔය කියන නීතිරීති සීමා අණ පනත් නැති වෙනකොට තමන්ව පාලනය කළ හැකි. තමන්ව නියාමනය කළ හැකි තමන්ට වැට කඩුලු නිර්මාණය කළ හැකි විකල්ප අවස්ථාවන් සොයාගෙන පිරිමි නික්මෙනවා. සමහර තැන්වල එහෙම නික්මීම්, ආදරය අඩුකම, අදහස් නොගැළපීම වගේ කරුණු ගොනු කරලා සාධාරණීකරණය කළත් සැබෑ හේතුව තමාව පාලනය නොකරන ගැහැනියක් සමඟ රැඳෙන්නට පිරිමියා සතු අකඥමැත්ත වෙනවා. තමාව මෙහෙයවන ගැහැනියක් තෝරාගන්නට පිරිමි සෑමවිටම කැමැති වෙනවා. සමහරු එය ප්‍රසිද්ධියේ පිළිගන්නවා. සමහරු අප්‍රසිද්ධියේ පිළිගන්නවා.

ගැහැනියක් තමන්ගේ පාලනය අතට ගන්නකොට තමයි පිරිමින්ට තමන්ගේ ගමන තුළ සුවපහසු බවක් දැනෙන්නේ. ගැහැනියක් සීමා, අණපණත්, නීතිරීති, වැඩ කඩුලු බඳිනකොට තමයි පිරිමි තමන්ගේ මාර්ගය තුළ වූ අනාරක්ෂිත හැඟීමෙන් ඉවත් වෙන්නේ ගැහැනියක් බලය අතට ගන්නකොට තමයි පිරිමින්ට තමන් පිළිබඳව වූ විශ්වාසය තහවුරු වෙන්නේ. සමහරවිට බලවත් ගැහැනුන් සමඟ ලිංගිකව හැසිරෙන්න පිරිමි වැඩි කැමැත්තක් දක්වන හේතුවත් ඒක වෙන්න පුළුවන් ගැහැනියක් අතිප්‍රබල නිරීක්ෂණ සහ අධීක්ෂණ සහිතව තමා පසුපස වැටෙනකොට තමයි පිරිමින්ට ජීවිතය තුළ සටන් කිරීම උදේ‍යාගයක්, උනන්දුවක්, ඇති වෙන්නේ. ගැහැනියකට යට වෙලා ජීවත්වෙන කොට තමයි පිරිමියකුට ඒ සටනේදී විසල් ආරක්ෂිත බවක් දැනෙන්නේ.