කලකට පසු මැතිව්ස්ගෙන් සුපිරි ඉනිමක්

0
46

ඇන්ජිලෝ මැතිව්ස් ලබාගත් විශිෂ්ට ඉනිම හේතුවෙන් බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 397ක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා පිලට අවකාශය සැලසුණු අතර ඊයේ දිනය (16දා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශය කිසිවකු නොදැවී ලකුණු 76ක් ලබා සිටියේය.

බංග්ලාදේශයේ චිතගොන්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයේදී නොදැවී ලකුණු 114ක් ලබා සිටි මැතිව්ස් ඊයේ දිනයේදීද ඉවසිලිවන්තව එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ශක්තිමත් දායකත්වයක් සැපයීය.  තම ටෙස්ට් දිවියේ දෙවැනි ද්විත්ව ශතකය ලබාගැනීමට ආසන්නව සිටි මැතිව්ස් ලකුණු 199ක් ලබා සිටියදී නයීම් හමුවෙ– දැවී ගියේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් පිතිකරුවා බවට පත්වෙමිනි.

 පෙරේදා දිනයේදී කඩුලු 4කට ලකුණු 258ක්  ලබා සිටි ශ්‍රී ලංකා පිලේ ඊයේ දිනයේදී බිඳවැටුණු පළමු කඩුල්ල බවට දිනේෂ් චන්දිමාල් පත්විය.  ඒ අනුව පන්දු 148කට මුහුණ දී හතරේ පහර 2ක් හා හයේ පහර තුනක් සමඟින් චන්දිමාල් ලැබූ අර්ධ ශතකය (ලකුණු 66) ඔහු ටෙස්ට් දිවියේ ලැබූ 21 වැනි අර්ධ ශතකයද විය.  කඩුලු 4ක් ලකුණු 183කට බිඳ වැටී අසරණව තිබූ ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර ලකුණු ප්‍රමාණයක් කරා ඇදගෙන ගිය මැතිව්ස් සහ චන්දිමාල් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් අගනා වටිනා ලකුණු 136ක සබඳතාවක්ද එක්ව තිබීම විශේෂත්වයකි.

ලකුණු 66ක් ලබා සිටි චන්දිමාල්ගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලට එතරම් සුබදායී නොවූ අතර කඩුලු 5කට ලකුණු 319ක් වූ ශ්‍රී ලංකා ඉනිම එක්වරම කඩුලු 8කට ලකුණු 328ක් ලෙස පත්විය.

ඒ අනුව චන්දිමාල්ගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි නිරෝෂන් දික්වැල්ල ලකුණු 3කට නයීම් හමුවේත්, රමේෂ් මෙන්ඩිස් එක් ලකුණක් ලබා සිටියදී හා ලසිත් ඇඹුල්දෙණිය මුහුණ දුන් පළමු පන්දුවේදීම සකිබ්ගේ පන්දු හමුවේ දැවී යෑම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම අසරණ වූ බවක් දිස්විය. එහෙත් ශ්‍රී ලංකා ඉනිමේ ‘මුදුන් මුල’ බවට වූ මැතිව්ස්ට එකතු වූ විශ්ව ප්‍රනාන්දු 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සබඳතාවක් එක්කරමින් ශ්‍රී ලංකා බිඳ වැටුණු ඉනිම පිළිසකර කිරීමට දායකත්වය ලබා දුන්නේය.

තේ පානයට පෙර පන්දු 77කට මුහුණ දී ලකුණු 17ක් ලබා සිටියදී ශොරිෆුල් ඉස්ලාම්ගේ බවුන්සර් පන්දුවක් හෙල්මටයේ වැදීම හේතුවෙන් විශ්ව ප්‍රනාන්දු තේ පානයෙන් පසු පන්දුවට පහරදීමට පිටියට පැමිණියේ නැත.  නයීම්ගේ පන්දුවක් හමුවේ ලකුණු 1ක් ලබා සිටි අසිත ප්‍රනාන්දු දැවීයෑමත් සමඟ මැතිව්ස්ට ද්විත්ව ශතකය ලබාගැනීමේ අරමුණින් පිටියට පැමිණි විශ්ව ප්‍රනාන්දු ඉන් අනතුරුවද පන්දු 7කට මුහුණ දී තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් මැතිව්ස් පන්දු 397කට මුහුණ දී හතරේ පහර 19ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණ 199ක් ලබාගත් අතර මෙම ලකුණු ප්‍රමාණය ඔහුගේ ටෙස්ට් දිවියේ දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය බවටද පත්විය.

මේ අතර මෙම ලකුණු ප්‍රමාණයේදී දැවී ගිය දෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවටද මැතිව්ස් පත්වූ අතර මෙයට පෙර එනම් 1997 වසරේදී සනත් ජයසූරිය ඉන්දියාව හමුවේ ලකුණු 199කට දැවී ගොස් තිබිණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලැබූ ලකුණු 397ට පිළිතුරු සපයන බංග්ලාදේශය කිසිවකු නොදැවී ලකුණු 76ක් ලබා සිටින අතර එහිදී තමීම් ඉක්බාල් 35ක් හා මහමුදුල් හසන් ලකුණු 31ක් ලබා කඩුල්ලේ රැඳී සිටී.

අද තරගයේ තෙවැනි දිනයයි.

ලකුණු පුවරුව

ශ්‍රී  ලංකාව පළමු ඉනිම

ඕෂධ ප්‍රනාන්දු ඇ. දාස් ප. නයීම්     36

දිමුත් කරුණාරත්න ක.මු.ක. නයීම්             09

කුසල් මෙන්ඩිස් ඇ. නයීම් ප. තයිජුල්         54

ඇන්ජිලෝ මැතිව්ස් ඇ. සකිබ් ප. නයීම්       199

ධනංජය ද සිල්වා ඇ. මහමුදුල් ප. සකිබ්      06

දිනේෂ් චන්දිමාල් ක.මු.ක. ප. නයීම්           66

නිරෝෂන් දික්වැල්ල ප. නයීම්       03

රමේෂ් මෙන්ඩිස් ප. සකිබ්             01

ලසිත් ඇඹුල්දෙණිය ක.මු.ක. ප. සකිබ්        00

විශ්ව ප්‍රනාන්දු නොදැවී     17

අසිත ප්‍රනාන්දු ප. නයීම්    01

අතිරේක            05

මුළු ලකුණු

(පන්දුවාර 153කදී සියලු දෙනා දැවී)           397

කඩුලු වැටීම :- 1-23, 2-66, 3-158, 4-183, 5-319, 6-323, 7-328, 8-328, 9-390

පන්දු යැවීම – නයීම් හසන් 30-4-105-6,

සකිබ් 39-12-60-3

බංග්ලාදේශය පළමු ඉනිම

තමීම් ඉක්බාල් නොදැවී    35

මහමුදුල් හසන් නොදැවී   31

අතිරේක            10

මුලු ලකුණු (පන්දුවාර 19කදී කිසිවකු නොදැවී)        76

පන්දු යැවීම _ අසිත ප්‍රනාන්දු  4-1-19-0,

විශ්ව ප්‍රනාන්දු 4-0-17-0