ආගමේ නාමයෙන් ලෙල්ලම් වන සෙල්ලම්

0
475

ඔබ ආගමක් අදහනවද?

දර්ශනයක් අනුගමනය  කරනවද?

පුංචි දරුවෝ දෙන්නෙක් හරිම ප්‍රීතියෙන් චිත්‍ර අඳිමින් ඉන්න මොහොතක් කල්පනා කරන්න. දරුවන් දෙදෙනාම වර්ණවත් පැහැයන්ගෙන් ආකර්ෂණීය ලෙස සිතුවම් නිම කරාවි.  ඔබට එයට විවිධ අර්ථකථන දිය හැකියි. ඒ සිතුවම් ආශ්‍රයෙන් දරුවන්ගේ මනෝභාවය නිරීක්ෂණය කිරීමට දැනුමක් සමහර විට ඔබ සතු විය හැකියි. එසේ දැනුමක් නොමැති කෙනෙක් නම් ඔබ එදෙස බලා සිටීවි. ඔබේ දෑසට සුන්දරව පෙනෙන සිතුවම ඔබ අගය කරාවි. ඔබත් සමඟ මේ සිතුවම නරඹන තවත් කෙනෙක් සිටී නම් ඔබ ඔහුගේ තීරණය අනුව වඩා හොඳ සිතුවම තීරණය කරාවි. නමුත් සිතුවම් ඇඳීමේ දක්ෂතාව ඇසට පෙනෙන දේ මතම තීරණය වන්නේ නෑ. වර්ණ සංකලනය, චිත්‍රය ඇඳීමේදී යොදාගෙන තිබෙන ටෙක්නික් එක, එහි අවසන් නිමාව ආදී සියල්ල මෙහිදී අදාළ වනවා.

ආගම සහ දර්ශනය අතර වෙනසත් මෙයයි.

ආගමක් කියන්නෙ පිළිපැදීමක්. එය පුරුද්දක් මත, උපතින් යම් ආගමික පසුබිමක් තිබෙන පවුලක ඉපදීම මත, ඔබ දකින දේ මත හෝ බොහෝම කලාතුරකින් අවබෝධය මත සිදුවිය හැකියි.

නමුත් දර්ශනයක් අනුගමනය කිරීමක් ඊට බෙහෙවින්ම වෙනස්. දර්ශනයක් වටහා ගැනීම අවබෝධයෙන්ම පමණක්  සිදු විය යුත්තක්.

අපි සියල්ලගෙන්ම බලාපොරොත්තු වන්නේ තෘප්තියක්. ආහාරයක රසයකින්, සුන්දර ඇ¾දුමක් ඇඳීමෙන්, තමන් ප්‍රිය කෙනකු ඇසුරු කිරීමෙන්, මුදල් ඉපැයීමෙන් ආදී එකී නොකී සියල්ලන්ගේම අවසන් පරමාර්ථය තමන් තෘප්තිමත් කර ගැනීමයි.

බොහෝ විට ආගම මඟින් සිදු වන්නේද එවැනිම තෘප්තියක්. එය බොහෝ විට යහපතට මෙන්ම අයහපතටද හේතු වෙන උපාංගයක් කියලා අමුතුවෙන් පවසන්න අවශ්‍ය නෑ. මිනිසුන්ගේ පැවැත්ම තීරණය වන, රටක දේශපාලනය තීරණය වන ඉහළ සාධකයක් බවට ආගම නිරන්තරයෙන් රැඳී තිබෙනවා.

ආගම් ඇති වූයේ සමාජය සහ සංස්කෘතිය ගොඩනැඟීමට සමගාමීවයි. මෙය කාලයක් පුරා පැවතීමට එක් පදනමක් වූයේ පුරාවෘත්තයි. මනුෂයා ස්වභාවයෙන්ම මායාකාරී දෑ මවාගෙන රස විඳීමට කැමැත්ත දක්වන්නෙක්. අතීතයේ සිට යම් සීමාවකින් ඔබ්බට සිතන්නෝ හැරුණු විට සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයා යම් මායාකාරී ස්වයං වින්දනයන්හි ගැලී ඒ මත විශ්වාසයන්හි එල්බ ගැනීමට අති දක්ෂයන් වනවා. මනුෂ්‍ය වර්ගයා හට අතීතයේ සිටම හිරු, ගස් ගල් වන්දනාවේ පටන් ආගමික ශාස්තෘවරුන් දක්වා වන්දනා කිරීමේ ඉතිහාසයක් පවතිනවා. මෙහි බලාපොරොත්තුව වූයේ ආධ්‍යාත්මික ජීවිතයේ වර්ධනයයි.

කෙසේ වුවත් ඒක දේව වාදියෙක් වුවද, බහු දේවවාදියෙක් වුවද, පවට ඇති බිය හේතුවෙන් මිනිසුන්ගේ ඇතිවන ආගමික නැඹුරුතාව බොහෝ විට සමාජයට වාසිදායකයි.

ඕනෑම කෙනෙක්ගේ ජීවිතය නන්නත්තාර වන සහ දරා ගන්න බැරි යම් සිදුවීම් මතු වන කාල වකවානු කිහිපයක්ම පැමිණෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක තමන් අදහන ආගමට අනුව කටයුතු කිරීමෙන් ලැබෙන මානසික සුවය   බහුතරයක් මනුස්ස ප්‍රාණීන් හයක් හතරක් නොතේරෙන වයසකදී හෝ අත්විඳ තිබිය හැකියි. 

අපි සියලු දෑ ධර්මයට අනුව සිදු කරන්න උත්සාහ කළත්, වර්තමානයේ ඒ සියල්ලගෙන්ම සිදු වී ඇත්තේ තවත් බොහෝ දේ තදින් අල්ලා ගැනීමක් පමණයි.

මේ අපේ පන්සල

මේ අපේ පල්ලිය

මේ අපේ කෝවිල

මේ අපිට අයිති කොටස

මේ සියල්ල ආත්මාර්ථය පමණයි

මිත්‍රවරුනේ.

ආගම කවුරුන් හෝ වේවා අන්ධ භක්තියකින් අදහන්නේ නම් එහිදී සිදු වන්නේ මහා විනාශයක් පමණයි.

කිසි දිනෙක ආගමික ප්‍රාතිහාර්ය වෙනකන් බලන් ඉන්න එපා. ඒ ප්‍රාතිහාර්ය මත ඔබේ ආගම අනික් ආගම් සමඟ සංසන්දනය කරනවා නම්, ඒ මත ප්‍රමාණාත්මකභාව, ගුණාත්මකභාව මනිනවා නම්  ඔබ තනිකරම පිළිලයක්.

කුසගින්නේ පීඩා විඳින මිනිසුන් දහස් ගණනක් සිටියදී අප නොපෙනෙන කිසියම් බලවේගයක් වෙනුවෙන් ආහාර පාන වැය කරනවා නම්, නොසැලෙන ගල් පිළිරූ කිරිවලින් නහවා අපතේ යවයි නම් ඔබ අප ඉන්නේ කොතැනද?

 ගැටලුව ඇත්තේ අෑතින් පෙනෙන කන්ද මුදුනතක නොවේ. ගැටලුව ඇත්තේ අප හිස තුළමයි. එවිට පිළිතුර ඇත්තේද අප තුළමයි.

ආගමේ නාමයෙන් එකිනෙකාගේ වාසියට ප්‍රාතිහාර්ය මවා පෑම වර්තමානයේ සුලබම ව්‍යාපාර කටයුත්තයි. අප හුරු වී ඇත්තේ යම් ප්‍රසිද්ධ  මතයක් පිටුපස පිස්සන් සේ යෑමට පමණයි.

උත්තරීතරම දෙවියන් වැඩ සිටින්නේ ඔබ තුළයි. අපි නිරන්තරයෙන් භ්‍රමණය වෙන්නෙ අපේ මනස වටා. ඉතින් විශ්වයක් වෙන කොහෙද? එතන  තමයි විශ්වය.

ඔබ අදහන සියලු ආගම්වල අසහාය ශාස්තෘවරුන් ඔවුන්ගේ දර්ශනයන් ලොවට ඉදිරිපත් කර ඇත්තේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් මිස ඒ මතින් වාසිදායක ව්‍යාපාර කිරීමට නොවේ.

මීට සියවස් ගාණකට කලින් ඉන්දියාවේ ගංගා නම් නදිය අසබඩ එක්තරා සුන්දර තරුණියක් ඈත ආකාශය දිහා බලා සිටීමට සෑම සවසකම පුරුදු වී සිටියා. ඇය ඉර බැස යන තෙක්ම එහි හිඳගෙන සිටීම ඒ අසලින් යන එන සියල්ලන්ටම කාලයත් සමඟ සාමාන්‍ය දෙයක් බවට පත් වුණා.

ආශාවන් ප්‍රහීන නොකළ තරුණ බ්‍රාහ්මණයෙක් මේ තරුණිය දිහා දින කිහිපයක්ම බොහෝ කෑදරකමින් බලා සිටියා.

ඇගේ හැඩැති සිරුරත්, සුළඟට ලෙල දෙන අකීකරු කෙහෙ රැල්ලත්, සරාගී බැල්මත්, දුටුවන් වසඟ කෙරූ සිනහවත් නිරන්තරයෙන් දුටු නිසා එමඟින් තමන්ගේ බ්‍රහ්මචාරී සිතිවිලිවලට බාධාවක් වූ බවත්, එමඟින් ඇය සිදු කර ගත් පව ගෙවීමට තමන් හා එක් වී ඔහුගේ අඹුව වන ලෙසත් තරුණ බ්‍රාහ්මණයා දිනක් තරුණියට යෝජනා කළා.

තරුණිය කට කොනකට සිනහවක් නඟාගෙන අෑතින් බැස යන හිරු ඔහුට අතින් පෙන්වූවා.

“මා සිටින්නේ මෙතැනයි. ඔබ සිටින්නේ අතනයි. ඔබේ දහම තිබෙන්නේ හිරු බැස යන තෙක් පමණයි. මගේ දර්ශනය පවතින්නේ සදාකාලිකවයි. ඔබ බ්‍රාහ්මණයෙක් පමණයි. මා හිරු බැස යෑම නිරීක්ෂණය කරන මේ විශ්වයේ සිසුවියක්.

මගේ ආදරණීය මිත්‍රයා,

මනසින් නොව මසැසින් ලෝකය දකින්න.”

තාරිකා ද සිල්වා