අරගල කේස් සහ  සිස්ටම් චේන්ජ්-2

0
101

system change එක කියලා ඇත්තටම අදහස් කරන්නෙ නීතිය වෙනස් කිරීමක්. මූල්‍ය සහ විගණන නීති,  ව්‍යවස්ථා නීති පාලනය පිළිබඳ නීති, මහජන නියෝජිතයන් සම්බන්ධ නීති සහ ප්‍රතිපාදන විධායකය පිළිබඳ තීරණ, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර සාධාරණ තුලිතතාව, දැඩි සංවරණ සහ තුලන ක්‍රමය, පාලකයන්ගේ වරප්‍රරසාද සහ නැවත කැඳවීම පිළිබඳ නීතිය වෙනස් කිරීම, ඡන්ද ක්‍රමය සහ ඡන්ද නීති සාධාරණ ලෙස වෙනස් කිරීම, දේශපාලන පක්ෂ විගණනය, රාජ්‍ය – අර්ධ රාජ්‍ය ආයතන ඇතුළු මහජන මුදල් භාවිත වන සෑම ආයතනයක්ම දැඩි විගණනයකට ලක් කිරීම, සැබෑ නියෝජිතයන්ට පාර්ලිමේන්තු යන්න පුළුවන් ඡන්ද ක්‍රමයක් සැකසීම, මූල්‍යමය පාරදෘශ්‍ය බව සොරකම් කරන්න තියෙන අවස්ථා නීත්‍යනුකූලව නැති කිරීම, මුදල් නැති සාමාන්‍ය කෙනකුට වුණත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් විදිහට ඡන්ද ක්‍රමය සංශෝධනය, අදාළ විෂයයන් සම්බන්ධයෙන් ජාතික තීන්දු තීරණ ගන්න, ඒ

විෂයට අදාළ බුද්ධිමය කමිටුවක අනුමැතිය ලැබීම කියන දේවල් නීති බවට පත් කරලා ක්‍රියාත්මක කරන එක මේ system change එකට අදාළයි.

 මේ චේන්ජ් එකේදි ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ක්‍රමය අහෝසි කරන එක අදාළ නෑ. ගෝඨාභයගේ රජයට පස්සෙ පත්වන තාවකාලික රජයත් මේ දේවල් කරන්න උනන්දු වෙන්නේ නැහැයි කියලා කියන්නේ. ඉතින් අරගලය තවත් උත්සන්න වෙනවා කියන එක ඒ නිසා මේක හිතන තරම් ලේසි නෑ.

මෙතෙන්දි එන තවත් තර්කයක් තමයි මේ සිස්ටම් චේන්ජ් එක කරන්න ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයම තෝර ගත්තේ ඇයි කියන එක. මෙන්න උත්තරේ. පුද්ගලයන් පිරිසක් යකඩ දම්වැලක් අදිනකොට ඒ දම්වැල කැඩෙන්න බලපාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දම්වැලේ දුර්වල පුරුකක් තියෙන එක. අනිත් එක තමයි ඒක අදින පුද්ගලයන් පිරිසගේ ශක්තිය වැඩිවීම.

මේ වෙලාවෙදි අරගලය නිසා ගොඩක් මිනිස්සුන්ට සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. ඒ නිසා පුද්ගලයන්ගේ ශක්තිය අතිශය වැඩි වෙලා තියෙනවා. දම්වැල අදින පුද්ගලයන්ගේ ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා.

ඒ වගේම ජේ. ආර්. පුරුක, ප්‍රේමදාස පුරුක, ඩී.බී. පුරුක,  චන්ද්‍රිකා පුරුක, මහින්ද පුරුක, මෛත්‍රි පුරුක කියන පුරුක්වලට වඩා ‘ගෝඨා පුරුක’ අතිශය දුර්වල වෙලා තියෙනවා. ඒ දුර්වල වීමට බලපෑවෙ ඔහු ඇස්පනාපිටම ගත්ත වැරැදි තීරණ. ගෝඨාභය ගත්ත සමහර තීරණ ගැන දැන් ඔහුත් කනගාටු වෙනවා සහ සමාව ඉල්ලනවා. එහෙම සමාව ඉල්ලුවත් මේ වෙනකොටත් ඒ තීරණ නිසා මුළු රටම වන්දි ගෙවනවා. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අරගලයට බලපාපු එකම හේතුව ගෝඨා කියලා.

2005 ඉඳලා අධික ලෙස වාණිජ ණය ගත්තා. නව රජය බදු අඩු කළා. පාස්කු ප්‍රහාරය සහ corona නිසා සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටුණා. ඩොලරයේ අගය කෘත්‍රිමව අවහිර කරගෙන හිටියා. නෙළුම් කුලුණ වගේ ප්‍රමුඛත්වයක් නැති ව්‍යාපෘතිවලට ණය ගත්තා. දේශීය ආහාර නිෂ්පාදනයට අදාළව පොහොර අර්බුදයක් ඇති කළා. හරි වෙලාවෙදි IMF  ගියේ නැති එක ඇතුළු වැරැදි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් කළා. භාණ්ඩ මිල අධික වේගයෙන් ඉහළ ගියා. අත්තනෝමතිකව මුදල් අච්චු ගැහුවා. ඊළඟ ඡන්දෙ දිනන්නේ කොහොමද කියන එක පමණක් ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති හැදුවා. ඩොලර් සංචිත නිසි ලෙස

කළමනාකරණය කළේ නෑ. මේ වගේ කරුණු කාරණා නිසා ගෝඨා ප්‍රමුඛ රාජපක්ෂ පාලන සමයේ පුරුක ගොඩක් දුර්වල වුණා. ඉතින් මේ සිස්ටම් එකේ දම්වැල කඩන්න තියෙන හොඳම වෙලාව තමයි මේ කියලා ජනතාව තේරුම් ගත්තා.

දශක 7ක් තිස්සේ ටිකෙන් ටික ගලාගෙන ආපු මේ අර්බුදකාරී ආර්ථික සහ දේශපාලන ක්‍රමය ටිකෙන් ටික වැඩි වෙලා කූටප්‍රාප්තියට ඇවිල්ලා පුපුරලා යන්නෙ 2022දී. අවසාන මොහොතේ පවා වැරැදි තීරණ ගත්ත වගකීම පැවැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂට.

දශක තුනකට ආසන්න කාලයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එක්ක ජේ.ආර්., ප්‍රේමදාස, ඩී.බී., චන්ද්‍රිකා කියන හැමෝම යුද්ධ කළා. මේ යුද්ධය ඉවර කරන්න ඒ අයත් දායක වුණා. ඒත් යුද්ධය නිමා කරපු ගෞරවය හිමිවෙන්නෙ යුද්ධයේ අවසාන කොටසෙ හිටපු මහින්දට. ඔහු මේ යුද්ධය ඉවර කරන්න ඕන කරන තීන්දු තීරණ ගත්තා. ඒ වගේම තමයි දශක හතකට වැඩි කාලයක් තිබ්බ මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕන මේ ආර්ථික අර්බුදය තීව්‍ර කරන්න තීන්දු තීරණ අරගත්ත ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල. ඉතින් මේ වෙලාවෙදි ඔවුන් මේ අර්බුදවලට වගකියන්න ඕන නිසා මේ අරගලය ඔවුන්ට විරුද්ධව දියත් වෙන එක අතිශය සාධාරණයි.

හරි දැන් ගෝඨා ගෙදර ගිහිල්ලා ඊට පස්සෙ තාවකාලික ජනාධිපති කෙනෙක් පත් වුණාම මේ අර්බුද නැති වෙයිද? රට ස්ථාවර වෙයිද?  අඩුම තරමින් මේ අර්බුද උග්‍ර වෙන එක නවතීද? පිළිතුර තමයි “නැත.” අපි නිකමට හිතමු රනිල් ජනාධිපති වෙනවා කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තුව මීට වඩා අර්බුදයකට යනවා. බල කේන්ද්‍ර පැටලිලා ලොකු අවුලක් වෙනවා. ඊළඟ මහමැතිවරණය වෙනකම් ඔය අවුල තියෙනවා. ඒත් අරගලයේ බලපෑම නවතින්නෙ නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න අයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ අර්බුද මැද්දේ අලුත් ව්‍යවස්ථාවක්, අලුත් නීති රාමුවක් ගේන්න වෙනවා. එළියෙන් තියෙන පීඩනය තමයි ඒකට හේතුව. මෙතෙන්දි අර මම කියපු අරගලයේ දෙවැනි කොටසේ ඉන්න බුද්ධිමතුන්ගේ දායකත්වය ඕන වෙනවා.

අපේ ආර්ථිකයට යන්න ඕනේ +100ට නම් දැන් රට තියෙන්නේ -10 නම් ගෝඨාභය ගියාට පස්සේ මේක -20, -30, -40 වෙන්න පුළුවන්. ඒත් තවත් අවුරුදු 10කින් විතර මේක + අගයකට හරවගන්න පුළුවන්. අවුරුදු 70ක් තිස්සෙ සෘණ පැත්තට ගිය මේ සිස්ටම් එකෙන් නම් කවදාවත් ධන කරන්න බෑ.

ඒත් මේ වෙලාවෙදී ආර්ථිකය තවත් අවුල් වෙයි. රට අරාජික වෙයි කියලා ගෝඨාභය යන්නෙ නැතුව ඉඳලා මේ සිස්ටම් එකම දිගටම පවත්වාගෙන ගියොත් මොකද වෙන්නෙ. එතකොට තව අවුරුදු 20ක් 30ක්  ගියත් රට +1ට වත් ගන්න බෑ. මේ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට අගාධයට වැටිලා තියෙන රට සුළු කාලයකට තවත් අගාධයට තල්ලු වෙනවා. තවත් අගාධෙට ගිහිල්ලා පන්නරය අරගෙන තමයි වක්‍රය උඩට හැරෙන්නෙ. ඒ නිසා මේ අරගලයේ ඔබේ කාර්යභාරය මොකක්ද කියලා හරියට අවබෝධ කරගෙන ඉවසීමෙන් සහ නිවැරැදිව එය ඉටු කරන්න.

අවුරුදු හැත්තෑවක් තිස්සේ අගාධයට ගිය රට දැන් බංකොලොත් වෙලා තියෙන්නෙ. දැනටමත් රට අරාජිකයි. ගෝඨාභය හිටියොත් මේ සිස්ටම් එක මේ විදිහටම තියෙයි. ඒ නිසා රට අරාජික කරපු මේ සිස්ටම් එකෙන්ම රට සුඛිත මුදිත කරන්න බෑ. ඒ නිසා අලුත් නෛතික සිස්ටම් එකක් මේ රටේ හැදෙන්න ඕනේ.

මේ අරගලය ගැස්සෙන්න තියෙන අමාරුවෙන් දොවපු කිරි කළේට ගොම බිංදුවක් වැටෙන තැනකින් මම කතාව ඉවර කරන්නම්. සිංහලයට මතක සති 2යි කියලා වේලුපිල්ලේ ප්‍රභාකරන් කියලා තියෙනවා.

ලක්මිණ රණසිංහ