අන්තර්කාලීන ආණ්ඩුවක් හදමුද?

0
85

16 වැනි සියවසේදී යුරෝපා ජාතීන්ගේ ග්‍රහණයට අපේ රට හසුවූයේ පාලකයන් අතර පැවැති අසමඟිය සහ භේදභින්නතා නිසා බව ඉතිහාසයෙන් පැහැදිලිය. 16 වැනි සියවස වන විට මෙරට පැවැති ප්‍රධානතම රාජ්‍යය වූ කෝට්ටේ රාජ්‍යයේ 7 වැනි බුවනෙකබාහු රජු සහ උප රාජ්‍යයක් වූ සීතාවක රජ කළ මායාදුන්නේ යන දෙසොහොයුරන් අතර සිහසුන පිළිබඳ ඇති වූ ගැටුම් හේතුකොට මුලින්ම කෝට්ටේ රාජ්‍යයද, අනතුරුව සීතාවක රාජ්‍යයද අත්පත් කරගෙන මුහුදුබඩ ප්‍රදේශවල ස්වකීය ආධිපත්‍යය පැතිරවීමටත්, එහි ප්‍රතිඵල වශයෙන් රෝමානු කතෝලික ආගම ප්‍රධාන කොට ගත් යුරෝපීය සභ්‍යත්වය මෙරට ස්ථාපිත කිරීමටත් පෘතුගීසීහු සමත් වූහ.

එපමණක්ද නොව පෘතුගීසි සහ ලන්දේසි ග්‍රහණයට හසුවීමෙන් බේරාගෙන සිටි එකම දේශීය රාජ්‍යය වූ උඩරට රාජ්‍යයද 1735දී ඉන්දියානු සම්භවයක් ඇති නායක්කර් පෙළපතට උරුම වූයේ එකල ක්‍රියාත්මක වූ සම්ප්‍රදාය අනුව රජු පත් කර ගැනීමේ විශාල බලයක් තිබූ රදළ ප්‍රභූන්ගෙන් යුක්ත රාජ සභාවේ සිටි ප්‍රභූන් අතර වූ මතභේද නිසා බව ඉතිහාසය විමසීමේදී පැහැදිලි වේ.

සිංහල රජ පෙළපතේ අන්තිමයා වූ ශ්‍රී  වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට දාව අග මෙහෙසියට දරුවකු නොසිටි බැවින් සිහසුනේ උරුමය පිළිබඳ ගැටලුවක් ඇති විය. අගමෙහෙසිය දකුණු ඉන්දියාවේ වඩුග වංශයේ නායක්කර් පෙළපතට අයත් කාන්තාවක් වූවාය. ඒ අතර රජුගේ අන්ත–පුරයේ සිටි දේශීය වංශවත් ප්‍රභූ කාන්තාවකට දාව උපන් පට්ටිය බණ්ඩාර නම් වූ පුත් කුමරකු සිටි අතර ඔහු සිහසුනට පත්කර ගැනීමට රාජ සභාවට හොඳටම අවකාශ තිබිණි. එහෙත් තම තමාට රජවීමට නොහැකි තත්ත්වයක් තිබියදී එක් ප්‍රභූවරයකු සිහසුනට පත්වීම නොඉවසූ රාජ සභාවේ සිටි ප්‍රභූවරු සිංහල රජ පරම්පරාවට මළගම අත්කර දෙමින් පට්ටිය බණ්ඩාර කුමාරයා සිහසුනට  පත්කර ගැනීම ප්‍රතික්ෂේප කළහ. එහි ප්‍රතිඵලය වූයේ දකුණු ඉන්දියානු සම්භවයක් ඇති නායක්කර් පෙළපතේ සම්ප්‍රදාය අනුව මියගිය රජුගේ අගමෙහෙසියගේ සහෝදරයා වූ ශ්‍රී  විජය රාජසිංහ උඩරට සිංහල රාජ්‍යයේ සිහසුනට පත්වීමයි.

එකී වඩුග වංශික නායක්කර් පෙළපතේ උරුමකරුවෝ 1815 දක්වා උඩරට සිහසුන දැරූහ. එම වසරේදී රට තුළ උද්ගත වී තිබූ දේශපාලන වාතාවරණය යටතේ යළිත් සිංහලයකුට උඩරට සිහසුන ලබාගත නොහැකි වූයේ සිංහල රදළ ප්‍රධානීන් ශ්‍රී  වික්‍රම රාජසිංහ රජු සමඟ භේදභින්න වී සිටි බැවිනි. රජුගේ මහ අදිකාරම්වරයා වූ පිළිමතලාවේ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමේ වරදට රජු විසින් ඔහුගේ හිස ගසා දැමීය. ඊළඟට මහ අධිකාරම් තනතුරට පත්වූ ඇහැළේපොළ නිලමේවරයා සබරගමුවේ සිට රජුට විරුද්ධව කැරලි ගැසීමේ වරදට ඔහු අත්අඩංගුවට ගැනීමට විධි විධාන යොදද්දී ඔහු ඉංග්‍රීසීන් වෙත පලා ගියේය. එපරිද්දෙන් රදළ ප්‍රභූවරුන් අතර පැවැති විවිධ මතභේද සහ උඩරට රාජ්‍යය තුළ පැවැති ව්‍යාකූල දේශපාලන තත්ත්වය හමුවේ ගිවිසුමක් අස්සන් කොට ඉංග්‍රීසීන්ට උඩරට රාජ්‍ය භාරදීමට උඩරට ප්‍රභූවරුන්ට සිදුවීම පුදුම විය යුතු කරුණක් නොවේ.

ඕනෑම රටක දේශපාලන නායකයන් අතර කුමන මාදිලියේ හෝ භේදභින්නතා දිගින් දිගටම පවත්වා ගැනීම ඔවුන්ට මෙන්ම රටටද අවැඩක්, විනාශයක් මිස සෙතක් නොසැලසෙන බව මෙම ඉතිහාස තොරතුරු ඇසුරින් හෝ වර්තමාන නායකයන් ඉගෙනගත යුතුව ඇත.

වර්තමානයේ අපේ රටේ දේශපාලනඥයන් අතර ඇති වී තිබෙන තොරක් නැති ගැටුම් සහ මතභේද තවදුරටත් එලෙසම පැවැතුණහොත් වර්තමානයේ ජීවත්වන අපට හෝ අපගේ බාල පරපුරට හෝ අනාගත පරපුරුවලට හෝ රටක් නැතිවන බව නිසැකය.

16 වැනි සියවස තරම් කාලයේ යුරෝපා ජාතීන්ට අවශ්‍ය දෑ සපයාගැනීමට ඔවුන්ගේ රටවල සම්පත් නොතිබූ බැවින් සම්පත් බහුල ලංකාව පමණක් නොව ආසියා, අප්‍රිකා සහ ඇමෙරිකා මහද්වීපවල විවිධ ප්‍රදේශ යටත් කරගෙන අධිරාජ්‍ය පිහිටුවාගෙන එම රටවල සම්පත් සූරාකමින් තම රටවල් සමෘද්ධිමත් කර ගත් ආකාරය ලෝක ඉතිහාසයේ ලියවී ඇත. එකී යුරෝපා රටවල් පමණක් නොව කලක් ඔවුන්ගේ යටත්විජිත ලෙස පැවැති ඇමෙරිකාව සහ ආසියාවේ ඉන්දියාව ප්‍රධානකොට ගත් චීනය වැනි රටවල්ද වර්තමානයේ නව උපක්‍රම අනුගමනය කරමින් විශේෂයෙන් නායකයන් අතර පවතින භේදභින්නතා නිසාම දුප්පත් තත්ත්වයට පත්වී සිටින අප වැනි රටවලට ණය ආධාර සහ පොලියට ණය මුදල් ලබා දෙමින් නව ආරක යටත්විජිත ගොඩනඟමින් සිටින බව රහසක් නොවේ. ඒ නිසා වසර 450ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී යුරෝපීය ජාතීන්ගේ ග්‍රහණයට හසු වී සිට 1948දී නිදහස ලබාගත් අප රට යළිත් අසල්වැසි හෝ වෙනත් ආසියාතික හෝ දුර බැහැර හෝ බලවතකුට හෝ යටත් කර ගැනීමට අප විසින්ම ‍ෙදාරටු විවෘත කර දෙනවාද? යන වග අපේ රටේ දේශපාලකයන්, පරිපාලකයන්, වෘත්තිකයන් මෙන්ම පොදු ජනතාවද යනාදී සියලු ජන කොටස් ගැඹුරින් සලකා බැලිය යුතු තීරණාත්මක අවධියක් උදා වී ඇත.

පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් අතින් අත මාරුකරගෙන වසර 450ක් පමණ වූ කාලයක් අපේ රටේ සම්පත් සූරා කෑ ආකාරයටත් වඩා බිහිසුණු කාලපරිච්ඡේදයකට අප රට ගොදුරු වීමට ඉඩ ඇත. එබඳු තත්ත්වයකට ඉඩ නොදීම වර්තමාන වැඩිහිටි පරම්පරාව වෙත පැවරී ඇති බරපතළ වගකීමකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ මැතිවරණ පැවැත්වීම හෝ සඳහා ගතවන කාලයට සහ වියදමට ඔරොත්තු දීමට අපට පුළුවන්කමක් නැත. වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළම වැඩි කාලයක් හෝ වියදමක් හෝ වැය නොකොට මෙම ගැටලු විසඳාගත යුතුය. ගැටලු විසඳීමට කාලය මිඩංගු වන තරමට සහ වියදම් ඉහළ යන තරමට ජනතාව මෙන්ම රටද කබලෙන් ළිපට වැටෙනු ඇත. මා විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලබන යෝජිත සැලැස්ම 1933දී ලංකාවේ පැවැති ව්‍යවස්ථාමය ගැටලු විසඳීම සඳහා මෙන්ම දේශීය ජනතාවට යම් තරමක හෝ බලතල ලබාදී රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීම සඳහා ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් වූ කොමිසම ඉදිරිපත් කළ සැලසුම වන අතර එය වර්තමානයට ගළපාගත හැකි බව මගේ නිගමනය වනුයේ එය දේශපාලන පක්‍ෂ නොමැතිව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් වන බැවිනි.

වර්තමානයේ අපේ රටේ පවතින ප්‍රධාන ගැටලුවක් වන ආර්ථික අර්බුදය විසඳා ගත යුතුව ඇති නමුත් ඒ සඳහා මුලින්ම වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවර බව විසඳාගත යුතු වේ. මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා සියලුම දේශපාලනඥයන් මෙන්ම ප්‍රධාන පෙළේ නිලධාරීන්ද එකමුතු වීම අත්‍යවශ්‍ය වුවත් දේශපාලන පක්‍ෂ භේදය හේතුකොට කිසිසේත්ම එපරිද්දෙන් එකමුතු වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව දේශපාලනඥයන් හැසිරෙන හා වාද විවාද පවත්වන ආකාරයෙන් පැහැදිලි වේ.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම ගැටලුව විසඳා ගැනීමට උචිතම ක්‍රමය ලෙස අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට යෝජනා ඉදිරිපත් වී ඇත. ගරුතර මහා සංඝරත්නය ජනාධිපතිවරයා අමතා ඇති ලිපියෙන්ද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. අවස්ථාවෝචිත පරිදි දේශපාලන අස්ථාවරභාවය විසඳා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි හොඳම වැඩපිළිවෙළද එබඳු අන්තර්කාලීන පාලනයක් ගොඩනැඟීම බව පැහැදිලිය.

එපරිද්දෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේදී කිසියම් එක් පක්‍ෂයකින් තෝරාගනු ලබන අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවා ගැනීමද ප්‍රතික්‍ෂේප කරනු දැකිය හැකිය. එනිසා මේ අවස්ථාවේ පහත යෝජනා කරනු ලබන ක්‍රමය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙන පරිදි සකසා ගැනීමෙන් අන්තර්කාලීන ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිවනු ඇත. එහිදී දේශපාලන පක්‍ෂ භේද ඉදිරිපත් වීමටද අවකාශ නැත. මෙම යෝජිත ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම ව්‍යවස්ථාදායක මෙන්ම විධායක කටයුතුවලට සම්බන්ධ කර ගැනීමද කළ  හැකිවේ.

යෝජිත ක්‍රමය යටතේ විධායක කටයුතු පැවරෙන්නේ සීමිත අමාත්‍යවරුන් සංඛ්‍යාවකින් සමන්විත අමාත්‍ය මණ්ඩලයකට නොව විධායක කාරක සභා කිහිපයකටය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම හැකි පමණ සමාන සංඛ්‍යාවකින් යුක්ත වන පරිදි හෝ විශේෂ වැදගත්කමක් ඇති බව සැලකෙන ක්‍ෂේත්‍රවලට එක් අයකු හෝ දෙදෙනකු වැඩිපුර ලැබෙන පරිදි හෝ කාරක සභා කිහිපයකට බෙදිය යුතු වේ.

මෙම ක්‍රමය යටතේ ඇමැතිවරුන් හෝ රාජ්‍ය ඇමැතිවරුන් හෝ නියෝජ්‍ය ඇමැතිවරුන් හෝ අවශ්‍ය නැත. මෙතෙක් අමාත්‍යාංශ පැවැති පරිදි විධායක කාරක  සභාද 30ක් 40ක් වැනි සංඛ්‍යාවක් අවශ්‍ය නැත. එක් විධායක කාරක සභාවකට පැවරිය හැකි විෂය ක්‍ෂේත්‍ර ඒකාබද්ධ කොට විධායක කාරක සභා 20කට පමණ සීමා කළ හැකි වේ. දළ වශයෙන් අවස්ථාවෝචිත පරිදි කාරක සභා 20ක් පමණ පිහිටුවීම ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව එක් කාරක සභාවකට මන්ත්‍රිවරුන් 11 දෙනකු පමණ ඇතුළත් කළ හැකි අතර ඉතිරි හතර දෙනා වැදගත් විෂය ක්‍ෂේත්‍ර පැවරෙන කාරක සභාවලට අනුයුක්ත කළ හැකිවේ. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අගමැතිවරයාටද කැමැති නම් එක් විධායක කාරක සභාවකට ඇතුළු වීමට පුළුවන.

එපරිද්දෙන් බෙදනු ලබන කාරක සභා 20ට දැනට පවතින ක්‍රමය යටතේ අමාත්‍යාංශවලට පවරනු ලබන විෂය ක්‍ෂේත්‍ර පැවරිය හැකිය. මෙලෙස සකසා ගනු ලබන එක් එක් විධායක කාරක සභාවේ වැඩ කටයුතු පවත්වා ගැනීම විධිමත් කිරීම සඳහා අදාළ කමිටුවේ සාමාජිකයන් එකතු වී ලේකම්වරයකු පත්කර ගත යුතුවේ. රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී සහභාගි වන පුද්ගලයන් අතුරෙන් කෙනකු රැස්වීමේ කටයුතු මෙහෙයවීම සඳහා සභාපතිවරයකු ලෙස පත්කර ගත හැකිය.

ඒ අනුව මන්ත්‍රිවරුන් 225 දෙනා එකට රැස්වෙන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාව වන අතර විධායක කාරක සභා මඟින් විධායක කටයුතු ඉටු කරනු ඇත.

විධායක ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයක ප්‍රධානියා නොවන නමුත් ඔහුට විධායක කාරක සභාවල සාමාජිකයන් පත් කිරීමට, කාරක සභා විසින් තෝරා පත්කරගනු ලබන ලේකම්වරු එකී තනතුරුවලට පත්කිරීමට සහ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගි වීමට සහ සියලුම කාරක සභාවලට උපදෙස් ලබාදීමටද බලය ලැබෙනු ඇත.

තම තමන්ගේ හැකියාව, දක්‍ෂතා, ප්‍රායෝගික අත්දැකීම් අනුව සෑම මන්ත්‍රිවරයකුටම තමා කැමැති කමිටුවකට ඇතුළු වීමට අවස්ථාව ලබාදීමටද පුළුවන. එලෙස මන්ත්‍රිවරයා විසින් තෝරාගනු ලබන විධායක කාරක සභාවට ඔහු පත්කිරීම සුදුසුද යන වග තීරණය කිරීමේ බලයද ජනාධිපතිවරයාට පැවරෙනු ඇත.

විධායක කාරක සභාවලට උපදෙස් ලබාදීම සඳහා ඒ ඒ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ බාහිර විශේෂඥයන් කිහිප දෙනකුගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක්ද පත්කළ හැකිය. එපරිද්දෙන් දේශපාලන පක්‍ෂ භේද අත්හැර කමිටු තුළ සාකච්ඡා කොට සාමාජිකයන්ගේ බහුතර කැමැත්ත පරිදි තීරණ ගෙන ඒ ඒ ක්‍ෂේත්‍රයට අදාළ විධායක තීරණ ගැනීමට හැකිවනු ඇත.

දැනට පවතින ක්‍රමය යටතේ එක් එක් අමාත්‍යාංශයට පත් කරනු ලබන ස්ථිර ලේකම්වරුන් වෙනුවට විධායක කාරක සභාවකට එක් ස්ථිර ලේකම්වරයකු බැගින් ජනාධිපතිවරයාට පත්කළ හැකි වේ. සෙසු අතිරේක ලේකම්, නියෝජ්‍ය ලේකම් වැනි තනතුරුද වර්තමානයේ සිදුවන පරිදි විධායක කාරක සභා පදනම් කොට පත්කළ හැකිය. මෙම ක්‍රමය යටතේ අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් දරනු ලබන වියදමද විශාල වශයෙන් අඩුකර ගත හැකි වේ. විශාල වැටුපක් ගෙවිය යුතුව පවතින අතර විශේෂ වාහන ඇතුළු කාර්යය මණ්ඩලයක් පවත්වා ගත්තා වූ අමාත්‍යාංශ රැසක් අඩුකර ගත හැකි බැවින් වියදම් අඩුකර ගැනීමටද අවකාශ ඇත.

මෙම යෝජනාව තවදුරටත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කොට වර්තමාන ආණ්ඩුව ඉදිරියට ගෙනෑමේ අසීරුතාව සහ දේශපාලන පක්‍ෂ භේද නිසා අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් සකසා ගැනීමට තිබෙන බාධක ඉවත්කර ගැනීමටද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් උදාවන තෙක් වසරකට හෝ දෙකකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සියලු දෙනාම සහභාගි කරවාගත හැකි අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවාගත හැකිවනු ඇත.

සම්මානිත මහාචාර්ය මාලනි ඇඳගම