BREAKING NEWS: ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන “දුෂ්කර ම මාස කිහිපය” ගෙවන්න වෙන හැටි රනිල් කියයි (VIDEO)

0
395

ඉදිරි මාස කිහිපය මෙරට ජනතාව ජීවිතයේ ගත කරනු ලබන දුෂ්කර ම කාල පරිච්ඡේදය වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (මැයි 16) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කෙසේ වෙතත්, එය කෙටි කාලීන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, මිත්‍ර රටවල උපකාරය සහ සහය ලැබෙනු ඇති බව ත් එතෙක් ගතවන කාලය මෙරට ජනතාවට දරා ගැනීමට සිදු වන බව ය.

“ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කර ම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝ ම කැපවීමෙන් මුහුණ දිය යුතුයි.

මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත් ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්ව ය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි.

ඉදිරි මාස කිහිපයේදී අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනව. නමුත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්.ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා.”

මෙරට ආර්ථිකය මේ මොහොතේ දරුණු තැනක ඇති බව ඔහු අවධාරණය කළේ ය.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට ශ්‍රී ලංකාව සතුව පෙට්‍රල් සංචිත ඇත්තේ එක් දිනක් සඳහා පමණක් බව ය.

කෙසේ වෙතත්, ඊයේ (මැයි 15) මෙරටට පැමිණි ඩීසල් නෞකාව හේතුවෙන් ඩීසල් හිඟයට යම් සහනයක් ලැබෙන ඔහු පැවසීය. එමෙන් ම, මැයි 19 සහ ජූනි 1 වන දින තව ත් ඩීසල් නෞකා දෙකක් හා මැයි 18 හා මැයි 29 වන දින පෙට්‍රල් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බව ඔහුහ් සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉන්ධන හිඟය හේතුවෙන් ඉදිරියේදී දෛනික විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ විය හැකි බව ය. කෙසේ වෙතත් මේ වන විට ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගෙන ඇතැයි ඔහු පැවසීය.

යම් ප්‍රමාණයකින් හෝ ජනතාවට ගෑස් ලබා දීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ඉතා ඉක්මනින් සොයා ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

භූමිතෙල් සහ දැවිතෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මීට වඩා භයානක බව ඔහු අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සියලු බැංකු ඩොලර් නොමැති වීමෙන් ගැටලුවලට මුහුණ දී සිටින බව ඔහු පැවසීය.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රට තුළ ඖෂධ සහ ශල්‍ය උපකරණ රැසක දැඩි හිඟයක් පවතින බව ය.

ඉන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් හිඟ වී ඇති බව ත් ඉන් හෘද රෝගීන්ට ලබා දෙන සහ ජලභීතිකා රෝගීන්ට දෙන ඖෂධ වර්ග දෙක හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක මෙරට පසුවන බව ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධ නොමැති බව ය.

මෙම වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

“එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම.”

අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ වන විට දැඩි ලෙස අලාභ ලබමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය කිරීමට තමන් යෝජනා කරන බව ය.

අකමැත්තෙන් වුව ද මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීම සඳහා අවසර දීමට සිදු වන බව ඔහු පැවසීය.

රාජ්‍ය සේවකයින් සඳහා මේ මස වැටුප් ගෙවීමට සහ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ලබා දීම සඳහා එලෙස මුදල් මුද්‍රණය කරන බව ඔහු සඳහන් කළේ ය.

පවතින තත්ත්වය හමුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, රට තුළ උද්ගතව ඇති ගැටලු සඳහා පිළිතුරු සෙවීමට සියලු පක්ෂවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් වහා ම පිහිටුවීමට කටයුතු කළ යුතු බව ය.