ශ්‍රී ලංකාව පළමු ඉනිම _ 258/4 මැතිව්ස්ගෙන් ශතකයක්

0
61

සංචාරක ශ්‍රී ලංකා පිල හ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ (15දා) පළමු දිනය නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලු 4කට ලකුණු 258ක් ලබා සිටියේය. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් ඇන්ජිලෝ මැතිව්ස් කලකට පසු ශතකයක් රැස් කිරීම කැපී පෙනුණි.

බංග්ලාදේශයේ චිතගොන්හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සබඳතාවය ලකුණු 23කට සීමා කළ නයීම් හසන් ලකුණු 9ක් ලබා සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේය. කරුණාරත්නගේ නික්ම යෑමෙන් අනතුරුව ඕෂධ ප්‍රනාන්දුට එක් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 66 දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමමින් සිටියදී නැවතත් ක්‍රියාත්මක වූ නයීම් හසන් ශ්‍රී ලංකා පිලට දෙවැනි ප්‍රහාරයද එල්ල කළේය.

හතරේ 3ක් හා එක් හයේ පහරක් සමඟින් පන්දු 76කට මුහුණ දී ලකුණු 36ක් ලබා සිටි ප්‍රනාන්දු කඩුලු රකින ක්‍රීඩක ලිතන් දාස්ට උඩපන්දුවක් ලබා දී දැවී යන විට මෙන්ඩිස් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවක් එක්කර තිබිණි.

කෙසේ වෙතත් කඩුලු 2ක් ලකුණු 66කට දැවී ගොස් තිබූ අවස්ථාවක මෙන්ඩිස්ට එක්වූ ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට එසවීමට අඩිතාලම දැමීය.  දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සබඳතාවක් එක්ව තිබූ මොහොතක තයිජුල් ඉස්ලාම් ශ්‍රී ලංකා පිලට තෙවැනි කඩුල්ලද අහිමි කළේය.

ඒ අනුව පන්දු 131කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටි මෙන්ඩිස් ක්‍රීඩාගාරයට යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 158ක් වූ අතර, එය මෙන්ඩිස් ටෙස්ට් දිවියේදී ලැබූ 13 වැනි අර්ධ ශතකයද විය.

මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් අනතුරුව මැතිව්ස්ට එකත් වූ ධනංජය ද සිල්වාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ ප්‍රස්ථා ලබා නොදුන් සකිබ් අල් හසන් ලකුණු 6ක් ලබා සිටි සිල්වා ක්‍රීඩාගාරය වෙත හරවා යවන විට ශ්‍රී ලංකා පිල කඩුලු 4කට ලකුණු 183ක් ලෙස දැක්විණි.

මේ අවස්ථාවේදී කණ්ඩායම වැටී සිටි අගාධයෙන් ගොඩගැනීම සඳහා මැතිව්ස්ට එක් වූ දිනේෂ් චන්දිමාල් දිනය නිමා වනවිට තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගැනීමට සමත් වූයේ ලකුණු 34ක් ලබා ගනිමිනි.

කලකට පසු විශිෂ්ට ඉනිමක නිරත වූ ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 114ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ ‘මුදුන් මුල’ බවට පත්විය.

 පන්දු 213ක් පුරා විහිදුණු මැතිව්ස්ගේ එම ඉනිම  හතරේ පහර 14ක් හා එක් හයේ පහරකින් වර්ණවත් වී තිබූ අතර, එය ඔහුගේ ටෙස්ට් දිවියේ 12 වැනි ශතකයද විය.

මේ අතර කොරෝනා-19 වයිසරය ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පළමු තරගයට සකිබ් අල් හසන් සහභාගි නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර තිබුණද අවසන්වරට කළ පී.සී.ආර්. පරීක්‍ෂණය ඝෘණාත්මක වීම හේතුවෙන් ඔහුට මෙම තරගයට එක්වීමේ අවස්ථාව සැලසිණි.

අද තරගයේ දෙවැනි දිනයයි.