ලොවක් ස්වර ලතාවෙන් නැළවූ ඇය නික්ම ගියාය

0
428

ලොවක් සැනසූ ගීත කෝකිලාවිය ලතා මංගේශ්කාර් පසුගියදා මෙලොව හැර ගියාය. කොවිඩ් වයිරසයෙන් රෝගාතුර වූ ඇය මිය යන විට 92 වැනි වියෙහි පසු වූවාය. රූපය දිරා ගිය ද නාමය නොදිරන බව තහවුරු කරමින් ලතා මංගේශ්කාර් යන නාමය තවත් සියවසක් ඉන්දියාව තුළත්, මුළු මහත් ලෝකය පුරා සිටින සංගීත රසවතුන් තුළත් රැව් පිළිරැව් දෙනු ඇත.

ජීවිතය තුළ පැමිණි අපමණ බාධාවන්ට මුහුණ දෙමින්, ඉන්දීය සිනමා කර්මාන්තය තුළ සිය අණසක පතුරවන්නට සමත් වූ දිරිය කාන්තාවක් ලෙස හ¾දුන්වා දිය හැකි ඇය එදා සිට අද දක්වාම රසිකයන්ගේ හදවත් තුළ ඉහළින්ම වැජඹීමේ දුර්ලභ භාග්‍ය හිමිකරගත් වාසනාවන්තියකි.

1929 සැප්තැම්බර් 18 වැනි දින මධ්‍යම ඉන්දියානු ඒජන්සිය, බි්‍රතාන්‍ය ඉන්දියාව ලෙස එකල හැඳින්වූ වර්තමාන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි බ්‍රාහ්මීය පවුලක දීනත් මංගේශ්කාර් සහ ශිවාන්ති යන යුවළට දාව වැඩිමහල් දියණිය ලෙස උපත ලැබූ ඇය දිනෙක මුළු ලොවක් සනහාලන ගීත කෝකිලාවියක් වන බව ඇයගේ මවුපියන් වන දීනාත් මංගේශ්කාර් සහ ශිවාන්ති සිහිනයකින්වත් නොසිතන්නට ඇත. දීනාත් මංගේශ්කාර් ශාස්ත්‍රීය සංගීත ශිල්පියෙක් මෙන්ම වේදිකා නාට්‍ය නළුවෙක් ලෙසද කටයුතු කළ අයෙකි. ඔහු සිය පළමු දියණියගේ උපතේදී ඇයට හේමා මංගේශ්කාර් ලෙස නම් තැබුවද පසු කාලීනව තමාගේ නාට්‍යයක් වූ ‘භාව බන්ධන’ තුළ එන චරිතයක් වන ‘ලතිකා’ ගේ චරිතයට ඇති කැමැත්ත නිසාම සිය දියණියගේ නම ලතා ලෙස වෙනස් කළේය. ලතාට පසුව මංගේශ්කාර් පවුලේ මීනා, ආශා, උෟශා ලෙස බාල සහෝදරියන් තිදෙනකුත් හයිද්‍රයනාත් ලෙස එක් බාල සහෝදරයකුත් සිටියහ. ඔවුන් සියලු දෙනාම පසු කාලීනව සංගීත අංශයෙන් ඉදිරියට ගමන් කළ අය වූහ. කුඩා අවධියේ සිටම සිය පියාගෙන් සංගීතය උගත් ලතා වයස අවුරුදු 5දී පියාගේ සංගීතමය නාට්‍යවල (Sangeeth Naatak) රඟපෑමට යොමු විය.

ලතා එතෙක් ගෙවූ සුන්දර ජීවිතයට ළමා කාලයට තිත තබමින් 1942 ඇයගේ පියාවූ දීනාත් හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය. ඒ වන විට ලතා වයස අවුරුදු 13ක ගැහැනු දරුවෙක් වූවාය. කෙසේ වෙතත් පියාගේ මරණයෙන් පසුව තම සහෝදර සහෝදරියන්ගේ වගකීම ලතාගේ උර මත පැටවුණි. ‘නවයුග්’ නම් චිත්‍රපට සමාගමේ හිමිකරු මාස්ටර් විනායක් තම මිතුරාවූ දීනාත්ගේ දරුවන් රැක බලා ගැනීමට ඉදිරිපත් විය. ඒ අනුව මාස්ටර් විනායක් ලතාට ගායිකාවක් හා රංගන ශිල්පිනියක් වීමට අවස්ථාව සලසා දුන්නේය.

1942 දී ප්‍රථම වරට මරාති චිත්‍රපටයක් සඳහා ලතාට ‘Naachu Yaa Gade’ නම් ගීතයක් ගායනා කිරීමට මාස්ටර් විනායක් අවස්ථාව සලසා දුන්නද චිත්‍රපටයේ අවසන් සංස්කරණයේදී එම ගීතය චිත්‍රපටයෙන් ඉවත් කෙරුණි. ඉන් පසුව ‘Pahili Mangalaa-gaur’ හි කුඩා චරිතයක් රඟපෑමටද ඔහු අවස්ථාව සලසා දුන්නේය. ඇයගේ ප්‍රථම හින්දි ගීතය වූයේ 1943 දී තිරගත වූ ‘Gajaabhaau නම් මරාති චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ ‘Maata Ek Sapoot ki’ නම් ගීතයයි. මෙයාකාරයට රංගන ශිල්පිනියක් මෙන්ම ගායිකාවක් වශයෙන්ද රැකියාව කළ ලතා 1945 දී මුම්බායි වෙත යන්නේ මාස්ටර් විනායක් ඔහුගේ චිත්‍රපට සමාගම මුම්බායි වෙත ගෙන යෑමත් සමඟයි.

මුම්බායි වෙත ගිය ලතා 1946 දී ‘Aap Ki Seva Mein’ චිත්‍රපටය සඳහා ගීතයක් ගායනා කළාය. එමෙන්ම විනායක් මාස්ටර්ගේ පළමු හින්දි සිනමා පටය වන ‘Badi Maa’ හි ලතා සහ ඇයගේ නැඟණිය වන ආශාද සුළු චරිත දෙකක් රඟපෑවාය. එමෙන්ම මුම්බායිහිදී ඇය උස්තාද් අමන් අලි ඛාන්ගෙන් හින්දුස්තානි ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවාය. විනායක් සිය දෙවැනි හින්දි චිත්‍රපටය පටිගත කරන අතරතුර ලතාව සංගීත අධ්‍යක්ෂ වසන්ත දේසායි වෙත හඳුන්වා දෙනු ලැබුවේය.

1948 දී මාස්ටර් විනායක් මිය ගිය අතර ඉන් පසුව ලතාගේ සංගීත ජීවිතයට මඟ පෙන්වන්නා වන්නේ සංගීත අධ්‍යක්ෂ ගුලාම් හයිඩර්ය. ඔහු විසින් ලතාව සාශාදාර් මුකර්ජිට හඳුන්වා දුන්නද ඇයගේ කටහඬ සිහින් වැඩි යැයි පවසමින් සාශාදාර් ලතාව ප්‍රතික්ෂේප කළේය. මෙයින් කෝපයට පත් හයිඩර් ඉදිරි වසර කිහිපය තුළ ලතා මංගේශ්කාර්ගේ පාමුල වැටී තමාගේ චිත්‍රපටවලට ඇයගේ හඬ ලබාදෙන ලෙස බොහෝ අධ්‍යක්ෂවරු ආයාචනා කරනු ඇතැයි අනාවැකි පැවැසුවේය. පසු කලෙක ලතා පැවැසුවේ තම ජීවිතයේ God Father ගුලාම් හයිඩර් බවයි. ඔහු තමාගේ දක්ෂතාව පිළිබඳව පූර්ණ විශ්වාසය තැබූ පළමු සංගීත අධ්‍යක්ෂවරයා බව ඇය පැවැසුවාය.

1948 තිරගත වූ ර්චණඡධධප චිත්‍රපටයේ ‘Dil mera thoda’ ගීතය ගායනා කිරීමට හයිඩර් විසින් ලතාට අවස්ථාව සලසා දුන් අතර එම ගීතය තුළින් ඇය ප්‍රථම වතාවට ක්ෂේත්‍රය තුළ අවධානය දිනා ගැනීමට සමත් වූවාය. මුල් කාලයේදී ඇය ප්‍රසිද්ධ ගායිකාවක් වූ නූර් ජෙහාන්ව අනුකරණය කළ බව පැවැසුනද ඉක්මනින්ම ඇය තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සමත් වූවාය. නූතනත්වය මෙන්ම සාම්ප්‍රදායිකත්වය මුසුවූ ඇයටම ආවේණික ඉධනපචදධ හඬක් ඇය සතු විය. හින්දි ගීතවල උර්දු වචන වැඩියෙන් භාවිත කිරීම සාමාන්‍ය ලක්ෂණයක්. හින්දි ගීතවල ඇයගේ උර්දු උච්චාරණය පිළිබඳව වරක් බොලිවුඩ් නළු දිලීප් කුමාර් ඉතාමත් මෘදු ලෙස විවේචනය කළ බව සඳහන් වේ.

ලතා සිය ගායනය පිළිබඳව කෙතරම් සැලකිලිමත් වූවාද කිවහොත් ඇය දිලිප් කුමාර්ගේ එම විවේචනයෙන් පසුව ශාෆි නම් ගුරුවරයකුගෙන් උර්දු භාෂාවද ඉගෙන ගනු ලැබුවාය. 1949 දී Mahal චිත්‍රපටය සඳහා ඇය ගායනා කළ ‘Aayega aanewala’ ගීතය ඇයගේ ගමන් මඟ තීරණය කළ ගීයක් විය. 1950 වර්ෂයේදී ලතා මංගේශ්කාර් විවිධ සංගීත අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කළාය. ඒ වගේම ඇය 1955 දී ශ්‍රී ලාංකේය සිනමාපටයක් වූ ‘සැඩ සුළං’ චිත්‍රපටයේ ‘ශ්‍රී ලංකා මා ප්‍රියදර ජන්ම භූමී’ නම් ගීතය සඳහා සිය හඬ දායකත්වය ලබා දුන්නාය. 1963 දී ඉන්දු-චීන යුද්ධය පසුබිම් කරගෙන තැනූ “Ay mere watan ke logo” ගීතය එවකට ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාවූ ජවහල්ලාල් නේරුතුමා ඉදිරියේ ලතා මංගේශ්කාර් විසින් ගායනා කරන ලදී. ඇයගේ ගායනය අසා නේරුතුමා කඳුළු සැලූ බවද සඳහන් වේ.

ඇය සිනමා ගීත, ශාස්ත්‍රීය ගීත, ගසල් ගීත, භජන් ගීත, ජන ගී, බෙංගාලි ගීත ආදී ශානරයන්ගේ ගීත ගායනා කළාය. වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කරමින් ගිනස් පොතට ඇතුළු වූ මොහොමඩ් රාෆිගේ වාර්තාව බිඳ දමමින් ලතා ගිනස් පොතට ඇතුළු වන්නේ භාෂා 36කින් ගීත 30,000කට නොඅඩු ප්‍රමාණයක් ගායනා කරමිනි. කෙසේ වෙතත් පසුව ඇයගේ එම වාර්තාව බිඳ දැමුවේ ඇයගේම නැඟණිය වන ආශා බෝස්ලේ විසිනි. සහජයෙන් ලැබුණු දක්ෂතාව ඔප් නංවා ගනිමින් බාධක සහිත දුෂ්කර ගමනක් පැමිණි ඇය පසුකාලීනව ඉන්දියාවේ පමණක් නොව ලෝකය පුරාම ජනප්‍රසාදය ලබන්නට සමත් වූවාය. වරක් ඉන්දියානුවකු පවසා තිබුණේ ලතා මංගේශ්කාර්ට කිවිසුමක් ගියහොත් මුළු ඉන්දියාවටම සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙන බවයි.

Nightingale of India, Queen of Melody සහ Voice of the Millennium වැනි අන්වර්ථ ගෞරව නාමයන්ගෙන් හ¾දුන්වනු ලැබූ ලතා මංගේශ්කාර් 1999 සිට 2005 දක්වා කාලය තුළ ඉන්දීය රාජ්‍ය සභාවද නියෝජනය කළාය. පද්ම භූෂණ (1969), දාදා සහීබ් පල්කේ (1989), මහාරාෂ්ට්‍ර භූෂණ (1997) ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලැබූ ඇය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සහ වඩාත් බලපෑම් සහගත ගායිකාව ලෙසද හඳුන්වනු ලබනවා. 2007 දී ප්‍රංශ රජය විසින් ලබාදෙන ඉහළම සිවිල් සම්මානය වන National Order of the Legion of Honors සම්මානයද ඇයට හිමි විය. 1974 දී ලන්ඩන් රෝයල් ඇල්බට් හිදී ප්‍රසංගයක් කළ පළමු ඉන්දියානු ගායිකාව වන්නේද ලතා මංගේශ්කාර්ය. පසුබිම් ගීත ගායිකාවක්, සංගීත සංයෝජකවරියක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කළ ඇය 1953 දී ඍචචඤචත (මරාති), Jhaanjhar (හින්දි), 1955 දී Kanchan Ganga (හින්දි) හා 1990 දී Lekin (හින්දි) යන චිත්‍රපට නිෂ්පාදනය කරනු ලැබුවාය.

මොහමඩ් රාෆි, සම්ශාඩ් බෙගම්, කිෂෝර් කුමාර්, හරිහරන්, උදිත් නාරායන්, කුමාර් සානු, සෝනු නිගම් ආදී විවිධ යුග නියෝජනය කළ ගායකයන් සමඟ සිය හඬ මුසු කරන්නට තරම් ලතා මංගේශ්කාර් වාසනාවන්ත වූවාය. එමෙන්ම නූතන්, වෛජයන්තිමාලා, මධුබාලා වැනි නිළියන්ගේ සිට මධුරි ඩික්සිත්, ප්‍රීති සින්ටා වැනි නිළියන් සඳහා පසුබිම් ගායිකාවක් ලෙස කටයුතු කිරීමටද ඇයට හැකි විය.

ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත් ඇය අවිවාහක කාන්තාවක්. වරක් මාධ්‍යවේදියෙක් ඇයගෙන් විවාහ නොවූයේ මන්දැයි විමසූ විට “අහ්… විවාහ වෙන්න අමතක වුණා” යැයි පවසා තිබුණා. කෙසේ වෙතත් ඇය ශෝකාන්තයක් වූ අපූරු පෙම් කතාවක හිමිකාරියකි. ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ඉන්දීය ක්‍රිකට් සභාවේ හිටපු සභාපතිවරයෙක් ලෙසද කටයුතු කළ රාජ් සිං දුන්ගාපූර් සහ ලතා මංගේශ්කාර් අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබූ බව පැවැසේ. රාජ් සිං රාජකීය පවුලකින් පැවැත එන අයෙක් වීම හේතුවෙන් රාජ් සිංගේ පියා ලතා මංගේශ්කාර් සිය ලේලිය ලෙස පිළිගන්නට අකමැති විය.

සිය පියාගේ අකමැත්තෙන් විවාහ වීමට නොහැකි නිසාම ලතා හා විවාහ නොවන්නට රාජ් එකඟ විය. නමුත් ඔහු කිසිදාක වෙනත් කාන්තාවක් සමඟ විවාහ වූයේද නැත. රාජ්ගේ තීරණයට ගරු කරමින්, එකඟ වූ ලතාද සිය ප්‍රේමය සදාකාලිකව සිතෙහි තබා ගනිමින් මිය යන තෙක්ම තනිකඩව සිටියාය. හදවත් ප්‍රේමයෙන් මුසපත් කරන්නට හැකිවූ ඇයගේ හඬෙහි ප්‍රේමණීය බවට ඇයගේ හදවත නිහඬ සාක්ෂියකි.

කුශාන්ති අනුරාධා බණ්ඩා