මනාලියක් වීමට මාස 3කට පෙර ලස්සන වීමේ ක්‍රියාන්විතය පටන් ගන්න

0
130

මංගල දිනයේ හැමගේම ඇස් කාන්දමකින් මෙන් ඇදගන්නේ මනමාලියයි. ඒ නිසාම ඇයගේ සුන්දරත්වය පිළිබඳ විමසිලිමත් විය යුත්තේ එකී සොඳුරු දිනයට මාස තුනකටවත් පෙරදීයි. එසේ නොවන අවස්ථාවන්හිදී මේකප් එකෙන් සමෙහි දුර්වර්ණ බව ආවරණය කළ හැකි වුවත් මේකප් එකෙහි සම්පූර්ණ බවක් ඉන් ඉස්මතු වන්නේ නැත.

මනාලියක් දුටු සැණින් සිත දැහැන්ගත වන තරමටම සැහැල්ලුවක් දැනිය යුතුය. නමුත් වර්තමානයේ සිදුවන්නේ නිස්කලංක වූ සිතත් කැඩීබිඳී විසිරී යෑමයි. එසේ වන්නේ මුහුණට වෙස් මුහුණක් දැමුවා සේ එක් වර්ණයකුත්, බෙල්ල තවත් වර්ණයකිනුත් දිස්වන නිසයි.

මෙකී තත්ත්වය වඩාත්ම කැපී පෙනෙන්නේ ශරීරයේ වැඩි ප්‍රමාණයක් නිරාවරණය වන ඔසරියෙන් සැරසුණු විටයි. අද අප ඔබට කියා දෙන්නේ මනාලියක් වීමට මාස තුනකට පෙර සිට පැහැපත් කර දීප්තිමත් කර ගන්නා අන්දම වගේම සමේ සෑම ස්ථානයක්ම එකම පැහැයෙන් දිස්වීමට කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳවයි.

මනාලිය ඇයගේ සොඳුරු දිනයේ සාරියකින්, ඔසරියකින් හෝ ගවුමකින් හැඩවුවත් ඒවායේ සුන්දරත්වය කැපී පෙනීමට ඉදිරියට නෙරා ආ උදරය විශාල බාධාවකි. එකී තත්ත්වය මඟහරවා ගැනීමට මාස තුනකට පෙර තරමක් රස්නෙන් උණුවතුර හැකි සෑමවිටම පානය කළ යුතුය. මෙම ප්‍රතිකර්මය ආහාර ගැනීමෙන් පසු අනිවාර්යයෙන්ම කිරීම වැදගත්ය. එවිට අනවශ්‍ය මේද තට්ටු දියවී උදරයෙහි ඇති තරබාරු ගතිය තුරන් කරයි.

අධික සෙම තත්ත්වයන්වලදී වගේම ශරීරය උෂ්ණ වූ විට මුඛයෙන් ඇතැම්විට දුගඳක් වහනය වෙයි. මනාලියක් වන සොඳුරු යුවතියට එකී තත්ත්වය සැබවින්ම බාධාවකි. මෙම තත්ත්වය මඟහරවා ගැනීමට මාස 3කට පෙර මඳ රස්නය සහිත වතුරට ලුණු හා ගම්මිරිස් එක්කර කට සේදීම සුදුසුය.

මනාලියක් වන යුවතියන් බොහෝ විට සියලු ප්‍රතිකර්ම සිදුකරන්නේ මුහුණටයි. ඒ නිසාම දණහිස්, වැළමිට, බෙල්ල පිටුපස වැනි ස්ථානවල කළු පැහැ ගැන්වූ අවස්ථා දැකගැනීමට පුළුවන. ඒ වගේම බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන කිහිලි, ඉකිළි ආශ්‍රිත කළුපැහැ ගැන්වීම්ද බොහෝ මනාලියන්ට පවතින ප්‍රධාන ගැටලුවකි.

මෙකී සෑම තත්ත්වයකටම මාස තුනකට පෙර නිවෙසේදීම ස්ක්‍රබ් එකක් සාදා ගැනීමට පුළුවන. මේ සඳහා කොකුම් පොතු, වෙනිවැල්ගැට, සුදුහඳුන්, සැවැන්දරා යන අමුද්‍රව්‍ය අවශ්‍යය. මෙකී සෑම ද්‍රව්‍යයක්ම සම ප්‍රමාණවලින් ගෙන හොඳින් කුඩුකර කලවම් කර පිරිසුදු වියළි බෝතලයක දමා තබන්න. ඇඟ සේදීමෙන් හෝ නෑමෙන් පසුව තෙත ස්වභාවය පවතින විටම මෙම පවුඩර් එක මුළු ඇඟේම ආලේප කර මෘදුව හා සිහින්ව අත රවුම් කර තවරා ගන්න. මෙසේ තවරා ගැනීමෙන් අනතුරුව විනාඩි 10ක් පමණ වියළෙන තෙක් තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකර්මය මාස 3කට පෙර කිරීමට ඇරඹීමෙන් විවාහ මංගල දිනය වනවිට සිරුරෙහි හැම තැනක්ම දීප්තිමත්ව, වර්ණවත්ව බබළයි. මෙයින් සම රැලි වැටීම, සම වියළීම, කොරළ මතුවීමේ තත්ත්වයන්ද පාලනය කරගත හැකියි.

මෙම මිශ්‍රණය සාදා ගැනීමට අපහසු නම් මෙම ප්‍රතිඵලයම හිමිකර දෙන පේර කොළ පැක් එකද භාවිත කිරීමට පුළුවන. කහපාට හෝ ඉදුණු පේර කොළ හැර කොළ පැහැයෙන් වූ පේර කොළ තෝරා ගන්න. එම තෝරා ගැනීමේදී පේර කොළවල දෙපැත්ත හොඳින් පරීක්‍ෂා කර පිටි මකුණන්, මැසි බිත්තර ඇති කොළ ඉවත් කරන්න. ඉන් පසු මෙම කොළ මිරිස් අඹරන්නේ නැති බ්ලෙන්ඩරයකට දමා ජලය ස්වල්පයක් සමඟ මිශ්‍ර කොට තලපයක් සාදා එම තලපය මුළු ඇඟ පුරාම ආලේප කරන්න. පේර කොළ පැක් එක මුහුණේ ආලේප කරනවා නම් එය සෝදා ඉවත් කරනතුරු කතා කිරීම සුදුසු නැත. මෙම මිශ්‍රණය සිරුරේ සෑම තැනකම ආලේප කර වියළෙන තෙක් පැය භාගයක් තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකර්මයද මනාලියක් වීමට මාස තුනකට පෙර සිදුකිරීම වැදගත්ය.

විශ්මි ජයනිකා