පාන් කපන පිහියෙන්ම එළවළුත් කපනවා නම් මේ පිහි වර්ග ගැන දැනගත යුතුමයි

0
147

මෙවර ආර්යා අතිරේකය තුළින් තරමක් වෙනස් වූද නමුත් ඔබට ඉතාම වැදගත් වන මාතෘකාවක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අද අපි සිතුවා. විශේෂයෙන්ම ඕනෑම නිවෙසක මුළුතැන්ගෙය සඳහා නැතිවම බැරි මෙන්ම සෑම ගෘහණියකටම අතිශය වැදගත් උපකරණයක් ලෙස “පිහිය” හැඳින්විය හැකියි. පිහි ගැන කතා කිරීමේදී විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ හැඩයන් යුතු පිහි වර්ග රාශියක් හඳුනාගත හැකියි. එනිසාම එවැනි එක් එක් පිහි වර්ග මොනවාද? ඒවායින් සිදු කරගත හැකි කාර්යයන් මොනවාද යන්න පිළිබදව දැන් අපි පහතින් කියවා බලමු.

පළමුවෙන්ම එළවළු කැපීමට ගන්නා පිහි,  මස් – මාළු කැපීමට ගන්නා පිහි යනුවෙන් පිහි වර්ග කිහිපයක් හඳුනා ගත හැකියි. ඊට අමතරව කොස්, දෙල්, පොලොස් ආදිය කපා ගැනීමටත් වෙන් වූ පිහි වර්ග තිබෙනවා. ඒ සඳහා භාවිත කරන පිහි සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල වේ. තවද පොල් බිඳීම ආදී ක්‍රියාවන් සඳහාත් වෙනම පිහියක් තබා ගැනීම ඉතාම සුදුසුයි.

නිවෙසේ එළවළු – පලතුරු ආදිය කැපීම සඳහා භාවිත කරන පිහි මස් – මාළු කැපීමට භාවිත නොකළ යුතුයි. විශේෂයෙන්ම මස් – මාළු ආදිය කැපීම සඳහා භාවිත කරන පිහි හොඳින් මුවහත්ව තිබිය යුතුයි. නැතහොත් මුවහත් නොවූ පිහියා මඟින් මස් – මාළු කැපීමට යෑමේදී කපන පුද්ගලයාට පවා අනතුරු සිදුවිය හැකියි. තවද එවැනි පිහිවලින් මස් මාංස කැපීම සඳහා විශාල ආයාසයක් ද දැරිය යුතු වේ. එහිදී අපට අවශ්‍යය ගුණාත්මක ආකාරයෙන් මස් – මාළු ආදිය කපා ගැනීමටද නොහැකි වේවි. ඒ අතරම එළවළු – පලතුරු මෙන්ම මස් – මාළුද තැළීම, පොඩිවීම ආදී තත්ත්වයන්ද ඇති වේවි.

විශේෂයෙන්ම ඕනෑම පිහි වර්ගයක් භාවිතයෙන් පසුව හොඳින් සෝදා පිරිසුදු කොට වියළා නියමිත ස්ථානවල ගබඩා කිරීමද අනිවාර්යෙන්ම කළ යුතුයි. නැතහොත් බොහෝවිට කුඩා දරුවන් සිටින නිවෙස්වල හදිසි අනතුරු පවා සිදුවිය හැකියි. තවද නිවෙසක පිහි ආදිය විශේෂයෙන්ම කෑම මේසවල අයින්වල නොතැබිය යුතුයි. එවැනි තැන්වල තැබීමෙන් කුඩා දරුවන්ට පවා ඉතාම පහසුවෙන් පිහි ආදිය අත-පත ගෑමට හැකියාව ලැබෙනු ඇත.

ඕනෑම දෙයක් කැපීමෙන් අනතුරුව පිහිය (පිහි තලය) සහ පිහි මිට හොඳින් පිරිසුදු කළ යුතුයි. මන්දයත් දෙහි වැනි ආම්ලික දෑ කැපීමෙන් පසුව පිහි තලය මත ඉක්මනින් මල බැඳීම ඇතිවේ. එනිසා නිතරම සුදු යකඩ තලයක් සහිත පිහි භාවිත කිරීම වඩාත් සුදුසුය. මලකඩ සහිත පිහිවලින් ආහාර ද්‍රව්‍යය කැපීමෙන් විවිධ ලෙඩ රෝග මෙන්ම ආහාරවල ගුණාත්මක බවට හානි  සිදු විය හැකියි.

ජලය පිරුණු බේසම්, දෑත් සෝදන බේසම් (සින්ක්) ආදිය අද්දර පිහි ගබඩා කොට නොතැබිය යුතුයි. මක්නිසාද ඇතැම්විට ජලය සමඟ තැබීම නිසා පිහි තලය මත මලබැඳීමත්, බේසම් ආදිය පිරිසුදු කිරීමට යෑමේදී ඒ අසල තිබෙන පිහි නිසාවෙන් ඔබට හදිසි අනතුරු පවා සිදුවිය හැකියි.

පිහිය මුවහත් කිරීමේදීද එයට සුදුසු පිහි මුවහත් කරන උපකරණයක් හෝ වැලි කඩදාසියක් නැතහොත් පිරිසුදු ගලක් වැනි සුදුසු යමක් අනිවාර්යයෙන්ම භාවිත කළ යුතුයි. බොහෝ විට ඇතැම් අය පිහියට පිහිය ඇතිල්ලීමෙන් හෝ පිහිය වෙනත් දෙයක ඇතිල්ලීමෙන් පිහි තලය මුවහත් කිරීමට පුරුදුවී සිටිති. නමුත් එසේ වැරදි ක්‍රම මඟින් පිහි මුවහත් කිරීම තුළ මුවහත් කරනා පිහියට හා මුවහත් කරන්නාවූ පුද්ගලයාටද හානි සිදු විය හැකියි.

නිතරම සුදුසු දේ කැපීමට සුදුසු පිහි වර්ගය භාවිත කළ යුතුයි. බටර්, චීස්, පාන් වැනි දේ කැපීමට වෙනම පිහි භාවිත කළ යුතුයි. නමුත් බහුතරයක් නිවෙස්වල තිබෙන්නේ එළවළු, පලතුරු කපන පිහි සහ මස් මාළු කැපීමට තවත් එක් පිහියක් පමණි. ඇත්ත වශයෙන්ම මස් – මාළු හා එළවළු වර්ග කැපීමට නිතරම වෙන වෙනම පිහි භාවිත කිරීම වඩාත් සුදුසුය.

ඇතැම් නාගරික නිවෙස්වල මෙන් නොව ගම්බද ප්‍රදේශවල සෑම නිවෙසකම පාහේ  ඉහත සඳහන් කළ පිහි වර්ග දෙවර්ගයට අමතරව තවත් පිහි වර්ග රැසක් හඳුනා ගත හැකියි. ඒවා පහත පරිදි  වර්ග කොට දැක්විය හැකියි.

1. මන්නා පිහිය (කොස් පොලොස් කැපීම, පොල් බිඳීම සිදු කරයි)

2. කැත්ත

(කැතිවලද වර්ග කිහිපයක් තිබේ)

ඇඹුල් කැති

හේන් ආශ්‍රිත වගාවන්වලදී අවට පරිසරයෙහි ඇති කැලෑවන් කැපීමට ගන්නා දිග කැත්ත ආදී වශයෙන් කැති වර්ග කිහිපයක් හඳුනා ගත හැකියි. මෙවැනි කැති සහ පිහි වර්ග නගරබද ප්‍රදේශවලට වඩා ගම්බද ප්‍රදේශවල බෙහෙවින් ජනප්‍රිය වේ. එමෙන්ම එවැනි කැති බොහෝ කාර්යයන් හිදී බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය.

බහුතරයක් ගෘහණියන් බටර්, ජෑම් ආදිය ආලේප කිරීමට Butter Knife එක භාවිත කරයි. එය මුවහත් නොවූ පිහියකි. එය බොහෝවිට එය සුදු යකඩ ලෝහයෙන් නිපදවා ඇත. තවද කේක් කැපීමේදී ඒ සඳහාම සුදුසු සාමාන්‍ය ප්‍රමාණයේ පිහියට වඩා තරමක් කුඩා පිහියක් භාවිත කරයි. තවද පාන් කැපීම සඳහා තලයෙහි දැති සහිත පිහියකුත් භාවිත කරයි. (Butter Knife) මේ ආකාරයෙන් ඒ ඒ වැඩේට වෙන් වූ ඒ ඒ පිහි වර්ගය භාවිත කිරීම තුළ අපි කරන කාර්යය සාර්ථකවත් අලංකාරවත් අයුරින් කරගත හැකියි.

–             එළවළු, පලතුරු කැපීමට එක පිහියකුත්

–              මස් මාළු කැපීමට එක පිහියකුත්

–              කොස් පොළොස් කැපීමට එක පිහියකුත්

–             පොල් බිඳීමට එක් පිහියකුත්

–             ජෑම්, බටර් ගා ගැනීමට එක පිහියකුත්

–              ලොකු අතු වැනි දේ කපා ගැනීමට කැත්තකුත්

යන ආකාරයෙන් ඕනෑම නිවෙසක පිහි වර්ග කිහිපයක්ම තිබෙනවා නම් ඉතාම ප්‍රමාණවත්.

මේ ඕනෑම පිහි වර්ගයක් භාවිත කළද ඉතාම පරිස්සමින් තම ආරක්ෂාව පළමු කොට ගෙන කටයුතු කළ යුතුයි. පිහියකින් වැඩ කටයුතු කරන අතර තුරදී යම් අනතුරක් සිදුවුව හොත් හැකි ඉක්මනින් තුවාලය පිරිසුදු ජලයෙන් හොඳින් පිරිසුදු කොට අවශ්‍යය වෛද්‍ය උපදෙස් පැතීම ඉතාම සුදුසුයි.

පිහි මිට වැනි ස්්ථානවල තෙල් බටර් තැවරී ඇත්නම් ඒවා හොඳින් පිරිසුදු කළ යුතුයි.  එමෙන්ම පිහි ආදිය අතැතිව තවත් අයකු සමඟ කතාබහ කිරීම සහ කුඩා දරුවන් සමඟ ගනුදෙනු කිරීමත් නොකළ යුතුයි. එනිසා පිහිවලින් කටයුතු කරන විටදී සිදුවන අනතුරු අවම කර ගැනීමටත් සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කිරීමත් ඉතාම සුදුසුයි.

සාමාන්‍යයෙන් හෝටලයකට ගොස් හෝ විවිධ උත්සව අවස්ථාවන්ට සහභාගි වූ පසු ආහාර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම පිහි වර්ග තුනක් තබා තිබෙනු දැක ගත හැකියි. එනම් බටර්වලට එක පිහියකුත්, මස්, මාළු වැනි දෑ අනුභව කිරීමට තවත් පිහියකුත්, අතුරුපස ආහාරයට ගැනීමට තවත් පිහියක් ලැබේ. එතැනදී වම් අත පැත්තෙන් Butter Knife එක සහ Meat Knife එකත්, බොහෝ විට Desert Knife එක ඉදිරියෙන් තබා තිබෙන අයුරු දැක ගත හැකියි.

ආහාර ගැනීමේදී සාමාන්‍යයෙන් බහුතරයක් දෙනා ආහාර අනුභව කරන්නේ දකුණු අතිනි. එනිසා දකුණු අත ගෑරුප්පුව ඇල්ලීමටත්, වම් අත පිහිය හැසිරවීමටත් යොදා ගනියි. එහිදී වැඩි ජවයක් යෙදිය හැකි ඔබට පහසු අතින් පිහිය හැසිරවිය හැකියි. ඊට අමතරව පීසා ආදිය කැපීම සඳහා සාමාන්‍යයෙන් රවුම් පිහියක් භාවිත කරයි. එය අපි Pizza Cutter යනුවෙන් හඳුන්වයි. තවද මුවහත් නොවූ (කැපෙන්නේ නැති) පිහි වර්ගද තිබේ. ඒවා අපි Plate Knife යනුවෙන් හඳුන්වනවා. ඔම්ලට්, මස්, මාළුවල පෙති  ආදියෙහි දෙපැත්ත මාරු කිරීමටත් කේක්, ගැටෝ ආදිය කැබලිවලට කැපීමෙන් පසුව පහසුවෙන් ගැනීමටත් මෙවැනි පිහි භාවිත කරයි.

සාමාන්‍යයෙන් හොටෙල් එකක මුළුතැන්ගෙයක කටයුතු කරන චෙෆ් කෙනෙක් ළඟ “Chef Knife” ලෙසින් හඳුන්වන පිහියක් අනිවාර්යෙන්ම තිබේ. එය ඕනෑම දෙයක් පහසුවෙන් කපා ගැනීමට භාවිත කළ හැකි පිහියකි. ඊට අමතරව මස්, මාළු ආදියෙහි කටු ඉවත් කිරීමට Poling Knife එක, Bread Knife එක, Chopping Knife (මෙය තරමක් ප්‍රමාණයෙන් විශාල පිහියකි), Carving Knife (ප්‍රමාණයෙන් කුඩා පිහියකි) මෙය කුඩා දේවල් කැපීම සඳහා භාවිත කරයි. මේ ආකාරයට හොටෙල් එකක මුළුතැන්ගෙයි වැඩකරන චෙෆ් කෙනෙක් විවිධ වර්ගයේ පිහි වර්ග 10ක් පමණ භාවිත කරයි.

ඉහත ආකාරයට ඔබත් ඒ ඒ කාර්යය සඳහා සුදුසු ආකාරයට පිහි වර්ග භාවිත කිරීම තුළ ඔබටත් කාර්යබහුල ඔබගේ දිවිය කාර්යක්ෂම සහ පහසු දිවියක් බවට පත්කරගත හැකියි.

දිනූෂා මනෝරි නිශ්ශංක