ආදරවන්තයන්ගේ  දිනයේදී  ඔබේ දරුවාටත් ආදරය, සෙනෙහස ලබාදෙන්න

0
83

සෑම වසරකම පෙබරවාරි 14 ආදරය සැමරීමේ දිනය ලෙස සැලකෙන අතර මෙම දවස සැමරීමට පෙම්වතුන් සහ පෙම්වතියන් මල්, චොකලට්, තෑගි භාණ්ඩ හුවමාරු කිරීමට පමණක් සීමා නොවී හෝටල් කාමර සඳහා යෑමේ ප්‍රවණතාවක්ද වර්තමානය වන විට දැකගත හැකිය. මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ වැලන්ටයින් දිනය සැලකිය යුතු ආකාරයෙන් වාණිජකරණය වීමත් බොහෝදෙනා මෙම දිනයේ ඇති වටිනාකම අවබෝධ කරගැනීමට අපොහොසත් වීම හෝ ඒ සඳහා වැරදි අර්ථකථනයන් ලබා දීමයි.

ආදරවන්තයන්ගේ දිනය ශාන්ත වැලන්නටයින් මුනිතුමාගේ නමින් නම් කර ඇති අතර මෙම දිනයට මුල් වූ හේතු බීජය වන්නේ අපූරු කතාවකි. ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවස කාලයේදී රෝමයේ සිටි අධිරාජ්‍යයා වූ දෙවැනි ක්ලෝඩියස් විවාහ වූ පිරිමින් දක්ෂ සොල්දාදුවන් නොවන බව  සිතූ නිසාවෙන්  විවාහ වීම තහනම් කිරීමත් සමඟ ශාන්ත වැලන්ටයින් මුනිවරයාට මෙය අසාධාරණ යැයි හැඟුණු නිසා ඔහු රහසේ පෙම් යුවළවල් විවාහ කිරීමේ කටයුතු කිරීම කළ අතර  ක්ලෝඩියස් විසින්  ශාන්ත වැලන්ටයින් මුනිතුමාව සිරගෙට දමා මරණ දඬුවමට නියම කරන්නට විය. එහිදී, ඔහු ජේලර්වරයාගේ දියණිය සමඟ ආදරයෙන් බැඳුණු අතර පෙබරවාරි 14 වැනි දින ඔහුව ඝාතනය කිරීමට ගෙන යන දිනයේදී ඔහු ඇයට “ඔබේ වැලන්ටයින්ගෙන්” යැයි අස්සන් කරන ලද ආදර ලිපියක් යැව්වේය. මෙම සිදුවීම මුල්කොට ගනිමින් ආදරවන්තයන්ගේ දිනය ආරම්භ විය.           

මෙම දිනයේ ඇති සුවිශේෂත්වය නම්, මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් වන ආදරයට ප්‍රමුඛත්වය දෙමින් එය සැමරීමට ලොව පුරා ජනතාව උනන්දු කරවීමයි. නමුත් අප සැලකිල්ලට ගත යුතු කාරණාව නම් ‘වැලන්ටයින්’ යන්නෙහි සැබෑ අරුතෙන් බැහැරව වර්තමානයේ ඇතැම් පුද්ගලයන් තම යටි අරමුණු ඉටු කරගැනීමට ළමයින්ව පවා බිල්ලට ගැනීමට මෙම දිනය යොදා ගැනීමයි. ආදරය යනු සෑම පුද්ගලයකුම අත්විඳිය යුතු දෙයක් වන අතර එය යෞවන ආදරවන්තයන්ට පමණක් සීමා වූ දෙයක් ලෙස අප සමාජය සැලකුවද, මෙම දිනය මවුපියන්, තම දුවාදරුවන් හට ඇති ආදරයද සැමරිය හැකි දිනයක් ලෙසද සඳහන් කළ හැකි වේ.

සෑම මවකගේ සහ පියකුගේ බලාපොරොත්තුව තම දරුවන්ට සාර්ථකත්වය කරා යෑමට මඟපෙන්වීමත්  ඔවුන්ගේ සතුට  වෙනුවෙන් කැපවීමත් බව නොරහසකි. නමුත් ඇතැම් අවස්ථාවල දැකිය හැකි කනගාටුදායක කරුණක් වන්නේ මවුපියන් දරුවන්ට ලබා දිය යුතු වැදගත්ම දෙය වන  ආදරය, සෙනෙහස  ලබා දීමටත් මවුපියන්ගේ ඇති ආදරය දරුවන්ට හැඟවීමටත් අමතක කිරීමයි.

හාවඩ් විශ්වවිද්‍යාලය මඟින් කළ අධ්‍යයනයකින් පෙන්වාදී ඇති පරිදි මවුපියන්ගේ උණුසුම සහ ආදරය නොමැතිකම දරුවන් වඩාත් ආතතියට පත් කරන සාධකයකි. මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වාදී ඇත්තේ, මවුපියන්ගේ  සෙනෙහස ළඟා කරගැනීමට ඔවුන් තමන් මත අනවශ්‍ය පීඩනයක් යොදන බවත් ඇතැම් ළමයින්, මවුපියන්ගෙන් නොලැබෙන ආදරය වෙනත් පුද්ගලයකුගෙන් ලබා ගැනීමටද බොහෝ විට පෙලඹෙන බවත්ය. මේ නිසාවෙන් ඔවුන් ලිංගිකමය වශයෙන් සූරාකෑම් සහ අපයෝජයන්ට ගොදුරු වීමට දැඩි අවදානමක් ඇති බවත් ඔවුන් පෙන්නවාදී ඇත.

මවුපියන්ගෙන්  ලැබෙන ආදරයේ අඩුකම නිසා නාඳුනන පුද්ගලයන් සමඟ කතාකිරීමට දරුවන් යොමු වී තිබෙන අතර මෙවැනි පිරිස්හි සූක්ෂ්ම උපක්‍රමයන්ට දරුවන් හසුකර ගැනීම් සිදු වූ ආකාරයන් පිළිබඳ ප්‍රවෘත්ති පසුගිය කාලයේ බොහෝ වාර්තා විය. මෙපමණක් නොව මවුපිය ආදරය නොලැබීම නිසාවෙන් දරුවන් අතර ඇතිවන සිත්තැවුල්, ආරවුල් සහ පළිගැනීමේ චේතනාවන් නිසා ඔවුන් නුසුදුසු පුද්ගලයන් සමඟ තමාට අහිතකර සබඳතා  ඇති කරගැනීමට පෙලැඹී සිටින ආකාරය අද සමාජයේ සුලබව දැකගත හැකිය. මෙම නිසා ඔවුන්ගේ ජීවිතයට සහ ඔවුන් වටා සිටින පුද්ගලයන්ටද දිගුකාලීන අහිතකර බලපෑම් ඇතිවීම නොවැළැක්විය කරුණකි. මේ සඳහා උදාහරණ ලෙස ළමා ගැබ් ගැනීම්, මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වීම් සහ බලහත්කාරයෙන් සිදුකරනු ලබන ළමා විවාහ දැක්විය හැකිය. 

එම නිසා ළමයාට මවුපියන්ගෙන් ආදරය නිසි ලෙස ලැබේ නම්, අපයෝජකයන්ගේ අඳුරු බලපෑමට ගොදුරු වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු වන අතර ආදරය සහ සෙනෙහස තම මවුපියන්ගෙන්  සෑම මොහොතකදීම  ලැබීම ඔවුන්ට සුරක්ෂිත බවක් දැනීමට උපකාර වේ. මෙය ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය ගොඩනඟා ගැනීමටද මහඟු පිටිවහලක් වේ. ඔබේ දරුවාට මනා අවධානයක් යොමු කිරීම, ඔහු/ඇයගේ එදිනෙදා වැඩ කටයුතු පිළිබඳව කතාබස් කිරීම, සතුටු සාමීචියේ යෙදීම වැනි ක්‍රියාවන් තුළින් මවුපියන් හට දරුවන් කෙරෙහි ඇති ආදරය පිළිබිඹුු කළ හැකි වේ.

ඉහත කරුණු කාරණා තුළින් ඉස්මතු කිරීමට උත්සාහ දරන ලද්දේ අප රටේ අනාගතය භාර ගැනීමට සිටින මල් කැකුළු වන් අහිංසක ජීවිත අප හැකි සෑම ආකාරයකින්ම ආරක්ෂා කළයුතු බවය. මෙම දරුවන් පාපතර අපයෝජකයන්ගේ උගුලට හසු නොවීමට ඔවුන්ට කරුණු පහදා දීම සහ ඔවුන්ගේ ජීවිතය පලුදු වීමට නොදී ආරක්ෂා කරගැනීමේ වගකීම මවුපියන් සහ වැඩිහිටියන් වන අප සියලුදෙනා සතු වේ. ඔවුන්ට හිමි නිසි ආදරය, කරුණාව සහ සෙනෙහස ලබාදීම තුළින් ඔවුන්ගේ අනාගතය සවිබල ගැන්වීමට අප අද සිටම ඇප කැප වී කටයුතු කළහොත් මෙම රටේ අනාගතයද ආලෝකවත් වීම නොඅනුමානයි. එසේ නම් මේ ආදරවන්තයන්ගේ දිනයේදී අපේ දරුවන්ට අප පෙන්වන ආදරය තවත් වැඩි කර ඔවුන්ගේ ජීවිතය ශක්තිමත් කරදීමට අදිටන් කරගමු.

සහන් වීරතුංග

ව්‍යාපෘති නිලධාරි

හිරුණි සේනානායක

ව්‍යාපෘති නිලධාරිනි

(මෙහි ලේඛකයන් පරිසරය සහ සැමතැන වෙසෙන ළමයින් සුරැකීමේ සංවිධානයට අනුයුක්ත වේ. මෙම සංවිධානය 1991දී  ආරම්භ වූ අතර සියලු ආකාරයේ අපයෝජන සහ සූරාකෑම්වලට එරෙහිව ළමයින් ආරක්ෂා කිරීම සඳහා කැප වූ ලාභ නොලබන සංවිධානයකි.)