අරගලයේ හැරවුම් ලක්ෂ්‍යය

0
123

‘ගෝඨාගෝගම’ ගාලුමුව‍ෙදාර අරගල භූමිය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වී තිබේ. නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීවේ ‘ගෝඨාගෝගම’ අරගලය යෞවන අපේක්ෂාවන්හි සංකේතය බවය. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දින කිහිපයකට පෙර ප්‍රකාශ කොට තිබුණේ අරගලයේ යෙදී සිටින පිරිස පිරිස් බලය යොදා ඉවත් කිරීමට කිසිදු අදහසක් හෝ සැලසුමක් නැති බවය. ගෝල්ෆේස් අරගල බිම එසේම තබාගත යුතු බවත් ඔවුන්ගේ ගැටලු හා අරමුණු පිළිබඳ සොයා බලා පහසුකම් සැලසීම සඳහා තමා කමිටුවක් පත්කළ බවත් අග්‍රාමාත්‍යවරයා අවස්ථා කිහිපයකම අවධාරණය කළේය.

ධුරය අතහැර දැමූ මහින්ද රාජපක්ෂ එවැනි තත්ත්වයකට හිත හදාගන්නට ඇත්තේ ධුරයේ රැඳී සිටින්නට ක්‍රියාවට නැඟූ අවසාන තුරුම්පුවත් වැරදී ගිය තැනය. සහෝදරයා කීයටවත් මට යන්නට කියන්නේ නැතැයි කියා මුලදී බලා සිටියත් අන්තිමට සහෝදරයා කීවේ පුටුවෙන් බැස යන ලෙසයි. ‘ගෝඨාගෝහෝම්’ අරගලය එමඟින්  කිසියම් දුරකට අඩපණවනු ඇති බවක් ගෝඨාභය රාජපක්ෂ මහතා හිතන්නට ඇත. එහෙත් සිදුවුණේ නොසිතූ විරූ දෙයකි.

අගමැති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයට කැඳවාගත් සහචරයෝ ආගන්තුක සත්කාර රිසි සේ භුක්ති විඳ සුපුරුදු මදාවි පන්නයේ කටයුත්තට අවසරය හා ප්‍රතිශක්තිය ලබාගෙන පොලු මුගුරු හා සඟවාගත් ආයුධවලින්ද සන්නද්ධව මර්දනය දියත් කළහ. මුලින්ම මයිනාගෝගමේ අරගලකරුවන්ට පහරදී එළවා දමා දෙවනුව ගෝඨාගෝගමට කඩා වැදුණේ පොලිසිය, ජල ප්‍රහාරක රථ හා කඳුළු ගෑස් අවිද සමඟය.

සටනක් ඇති වන්නට ඉඩ දුන් පොලිසියේ ප්‍රමාදය සැක සංකා උපදවයි. කෙසේ වෙතත්, අරගල භූමියේ අරගලකරුවන් ප්‍රහාරයට මුහුණ දුන්නේ ආත්මාරක්ෂාව ගැන පමණක් සිතා බව පෙනෙන්නට තිබිණි.

ආදරයේ අරගල භූමියේ රුධිරය සැලීම වෛර වැඩකි. අරලියගහ මැඳුර කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් දියත්වන බවට යම් යම් තොරතුරු ලැබී තිබුණද එය මේ තරම් කුරිරු වේ යැයි තරුණයෝ නොසිතූහ. අහිංසක තරුණ තරුණියන්ට පොලු මුගුරු ගෙන  බිම දමාගෙන පහරදෙන හැටි ජනතාව බලා සිටියහ. ඒ ඒ මොහොතේත් අරගල බිමෙහි මාධ්‍යකරුවන් රැඳී සිටි බැවිනි.

ප්‍රහාරකයන් හඳුනාගන්නට ජනතාවට වැඩි වේලාවක් ගතවූයේ නැත. විදුලිය නැතිව පැය ගණන් අඳුරේ සිටි, තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල පැය ගණන් දුක් වේදනා විඳිමින් සිටි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අසා කෝපයට පත්ව සිටි ජනතාවට මේ සියල්ලට වගකිව යුත්තේ කවුරුදැයි අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය වුණේ නැත. අරලියගහ මැඳුරෙන් ප්‍රචණ්ඩත්වය මුදාහරින්නට උල්පන්දම් දුන් දේශපාලකයන් හා අනුගාමිකයන් සොය සොයා රට පීරන්නට ජනතාව සූදානම් වූහ.

ප්‍රතිඵලය සාහසිකය. මරණ 9කි. මැති ඇමැති දෙසැටකගේ නිවාස දේපොළ ගිනි ඇවිළිණි. අරගල භූමියේ හා පිටස්තරයේ ගණනින් තුන්සියයකට ආසන්න පිරිසකට තුවාල සිදුවිය. ඇතැමුනට බරපතළය.

වාහන 231කට අලාභහානිය. මගී බස් 43ක් ගිනිබත්ය. පහරදුන් පිරිසකට බේරේ වැවේ දියේ ගිලී පැය ගණන් හීතලේ ගැහි ගැහී ඉන්නට සිදුවිය. ඇතැමුනට ඉතිරි වුණේ යට ඇඳුම පමණය. ගස් බැඳ සිටියෝද වූහ. මේ මහා විනාශයට වගකිවයුත්තේ කවුරුද? මෙරට දේශපාලන ඉතිහාසයේ ලේ හැලූ අඳුරු යුග පිළිබඳ දැනුමෙන් අත්දැකීමෙන් පොහොසත්ව සිටි වැඩිහිටි පරපුරේ අමන අඥාන අදූරදර්ශී බලලෝභී දේශපාලන නායකයෝය.

පසුගියදා මාධ්‍ය හරහා අරලිහගහ මැඳුරේ ගෝත්‍රික කුමන්ත්‍රණය ගැන තොරතුරු හෙළි කොට තිබිණි. හිටපු ඇමැතිවරයෙක් අරගල භූමිය පැයෙන් නැතිකොට දමන හැටි ගැන පුරසාරම් දෙඩූ බවද එයින් අනාවරණය කෙරිණි. ඒ සැලසුමේ මුල් අවස්ථාවය. ප්‍රමාද වී හෝ වර්තමාන අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය හමුවුණු ප්‍රථම සාකච්ඡාවේදීම ගෝඨාගෝගමට අත තියන්නට එපා කියා ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට තිබේ. අරගල භූමියෙන්ද නව අග්‍රාමාත්‍යවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත්ව තිබේ. ඒ අතර අරලියගහ මැඳුර ඉදිරිපිට අලුත් ගමකි. ඒ නෝඩීල්ගමය. රනිල් අග්‍රාමාත්‍ය පදවියට පත්වීම රාජපක්ෂවරුන් සමඟ පවතින ඩීලයක් ලෙස චෝදනා කරන පිරිසක්ද වෙති.

ශ්‍රී  ලංකාව තවමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඉල්ලා සිටින රටකි. දේශපාලන පක්ෂ ක්‍රමය පැන නඟින්නේ ඒ වෙනුවෙනි. එහෙත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ තත්ත්වයෙහි යම් යම් ගැටලු මතුකොට දී තිබේ. රනිල් අග්‍රාමාත්‍ය පදවියට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට තර්ක මතු කෙරෙන්නේද ඒ අනුවය. ගෝඨාගෝගම තරුණ අරගලයද නිර්පාක්ෂිකව මතුවන්නකි. සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය වෙනුවට ජනතාහිතවාදී දේශපාලන සංස්කෘතියක් ඉල්ලා සිටින ප්‍රවේශයකට වර්තමාන සමාජය අවතීර්ණ වෙමින් සිටී. ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව දේශපාලන නායකයන් ගෝඨාගෝගමට ගියත් අරගලකරුවන් ඔවුන් ප්‍රතික්ෂේප කොට තිබේ. එමඟින් නිරූපණය වන්නේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියට තිත තබා පවතින ක්‍රමයේ බරපතළ වෙනසක් ඔවුන් ඉල්ලා සිටින බවය.

මහ සඟරුවනෙහි අවවාද අනුශාසනාවලට ගරු නොකරන දේශපාලකයන්ට තමා හමුවන්නට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළේ මල්වතු මහ නාහිමියෝය. එහෙත් නිර්පාක්ෂික අරගලයේ නියෝජිත පිරිසකට එවැනි තහංචි වැටුණේ නැත. ප්‍රභූ ආරක්ෂක රථ හා රැකවලුන් පිරිවරාගෙන මහජනතාවගේ දෛනික ජීවිතයට හානි කරමින් එහෙ මෙහෙ සැරසරන දේශපාලකයන් දැන් දැන් දැක ගන්නට නැත. කවුරු කීවත් මම මේ  පුටුව දාලා යන්නේ නැහැ කිය කියා සිටි උදවියට දැන් සියල්ල අතහැර ගොස් රහසේ පලා යන්නට සිදුවී තිබේ. මේ නව දේශපාලන සංස්කෘතියේ නිර්මාතෘවරුන් අන් කිසිවෙකුත් නොව මේ රටේ තරුණ පරපුරය.

අදට වඩා යහපත් වූ රටක් හෙට ගොඩනැඟෙන තුරු අරගල භූමිය ආරක්ෂා විය යුතුය. ආරක්ෂා කොට දිය යුතුය.