අගමැතිවරයෙක්-ආණ්ඩුවක් නැති මොහොතේ කල්පිටියේ ලොකු ම දූපත බදු දීලා

0
869

හදිසි නීතිය ක්‍රියාත්මකව ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක කැබිනෙට්ටුව ද අක්‍රියව පැවති අවස්ථාවේ කල්පිටියේ, උච්චිමුනි දූපත තිස් වසරක් සඳහා ස්විට්සර්ලන්තයේ සමාගමක් වෙත බදු දී ඇතැයි සංචාරක ක්‍ෂේත්‍රයේ පිරිස් චෝදනා කරති.

මේ දූපත අමෙරිකානු ඩොලර් මිලියන 417කට ස්විට්සර්ලන්තයේ සමාගමකට වසර තිහක් සඳහා බදු දීමට අදාළ ගිවිසුමට පසුගිය 11 වන දා සංචාරක සංවර්ධන අධිකාරිය අස්සන් තබා ඇතැයි සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න පැවසීය. කල්මුණේ දූපත් සමූහයට අයත් දෙවන විශාලතම දූපත වන උච්චිමුනි දූපත සංචාරක අමාත්‍යංශයට අයත් දූපතක් බව ඔහු කීය. වර්ෂ 2000දී තක්සේරු කරන ලද මුදලකට 2022 වර්ෂයේදී මේ දූපත බදු දී ඇතැයි හෙතෙම චෝදනා කළේ ය.

පාසලක් ද ඇතුළුව ජනාවාසයකට අවශ්‍ය මූලික අංගෝපාංගවලින් සමන්විත මේ දූපත විදේශීය ආයෝජකයෙකුට බදු දෙන අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ම පැවතියේ බල ශූන්‍යවය.

අක්කර 1,500ක් විශාලත්වයකින් යුතු මේ දූපතේ ධීවර පවුල් 200ක් පමණ පදිංචි වී සිටිනා බව පැවසේ.

රටේ ගැටලුකාරී වාතාවරණය යටතේ සංචාරක ක්‍ෂේත්‍රයේ කිසිවකුත් නොදැන ම ගිවිසුම් අස්සන් කළද දේශීය සංචාරක ව්‍යාපාරය වළ පල්ලට යවන මේ ව්‍යාපෘතිය මහ පොළොව මත යථාර්ථයක් වීමට කිසිසේත් ඉඩ නොතබන බව ප්‍රියන්ත තිලකරත්න අවධාරණය කළේ ය.

ඩොලර් හිඟයට පිළියමක් ලෙස විදේශීය ආයෝජකයන්ට රටේ තැන් තැන්වලින් කෑල්ල කෑල්ල විකුණා දමමින් ඩොලර් උපයා ගැනීමට උත්සාහ නොකළ යුතු බව ද හෙතෙම සඳහන් කළේ ය.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය, විදේශීය ආයෝජකයෙකුට අවුරුදු 30ක කාලයක් සඳහා කල්පිටිය, උච්චිමුනි දූපත බදු දීම සඳහා වන ගිවිසුමකට අස්සන් තැබූ බව තහවුරු කළේ ය. අමෙරිකානු ඩොලර් මිලියන 417.5 ව්‍යාපෘතියක් සඳහා මැයි මස 11 වන දා සංචාරක සංවර්ධන අධිකාරිය හා විදේශීය ආයෝජකයාගේ නියෝජිතයන් එම බදු ගිවිසුමට අස්සන් තැබූ බව ද එහි දැක්වේ.

එම ව්‍යාපෘතියට අදාළ අනුමත ක්‍රියා පටිපාටිය 2021 වසරේ අග භාගයේදී අවසන් වුව ද විදේශීය ආයෝජකයාගේ ඉල්ලීම මත එම බදු ගිවිසුම අස්සන් තැබීම කල් තැබූ බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

විදේශීය ආයෝජකයාගේ නියෝජිතයන් පසුගිය 8 වන දා මේ ගිවිසුම අස්සන් තැබීම සඳහා මෙරටට පැමිණ ඇති අතර මැයි 11 වන දා අදාළ බදු ගිවිසුමට අස්සන් තැබීමෙන් අනතුරුව ඔවුන් එදිනම රාත්‍රියේ මෙරටින් පිටව ගිය බව ද එහි දැක්වේ.

සංචාරක පනත යටතේ සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා හෝ සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ආයෝජකයන්ට බදු දීමට හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඉතා ඉහළ ජෛව විවිධත්වයක් ඇති මේ දූපතේ යම් කිසි ඉදිකිරීමක් සිදු කිරීමට පෙර ලබාගත යුතුව ඇති EIA (Environmental Impact Assessment) සහතිකය ලබාගෙන නොමැති බවට පරිසරවේදීහු චෝදනා කරති.

කඩොලාන විශේෂ තුනක්, ශාක විශේෂ හයක්, සමනල විශේෂ අටක්, විවිධ සමුද්‍රීය පරිසර පද්ධතිවල සිටින පක්ෂි විශේෂත් සහ ගණන් කළ නොහැකි තරම් මත්ස්‍ය විශේෂ ප්‍රමාණයක් මේ දූපත හා ඒ අවට මුහුදු කලාපයේ වෙසෙන බව පරිසරවේදී සෙතිල් මුහන්දිරම් පැවසීය. ඒ අවට මුහුදු කලාපයේ තල්මසුන්, ඩොල්ෆින් විශේෂ සේ ම මුහුදු ඌරන්ද දැකිය හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

කිසිදු පාරිසරික ඇගයීමක් නොකරල කිසිදු නිවැරදි කියැවීමක් රහිතව මෙලෙස රටේ ඇති විවිධ ස්ථාන රටේ ජනතාවට අහිමි කිරීම ඉතාම ඛේදනීය තත්ත්වයක් බව ද හෙතෙම තවදුරට ත් පෙන්වා දුන්නේ ය.