හොර සිල් ගත්තවුන් හෙළිදරව් වෙයි

0
219

සෙනසුරු කේවල සිද්ධි යෝගයක් පවතින මොහොතක කුම්භ රාශියට පැමිණ බලවත් වී මාස 2 දින 12කින් නැවත පෙරළා මකර රාශියට පැමිණේ.

මෙම දින 72 තුළ සෙනසුරු කුම්භ රාශියේ බලවත්ව තුලා නවාංශකයේ උච්චව ගමන් ගනී. සෙනසුරුගේ බලය උපරිමව පවතී.

ශ්‍රී  ලංකා කුම්භ ලග්න කේන්දරයේ ලග්නාධිපති ලග්නයට පැමිණ සස යෝගය උදාකරන අතර 10 අධිපති කුජද ලග්නයේ ගමන් කරයි. ධනස්ථාන, අයස්ථාන අධිපති බ්‍රහස්පති සමඟ භාග්‍යස්ථාන අධිපති සිකුරු එම ධනස්ථානයේ ගමන් කිරීම ජනතාවගේ බලාපොරොත්තු නව මාවතකට යොමු කරනු ඇත. ජනතාවට තාවකාලික සහනයක් ලැබෙනු ඇත. මෙය සෙනසුරුගෙන් ලැබෙන සහන පැකේජයත් කිව්වොත් නැවැරැදියි.

එහෙත් 2022.07.12 කුජ දින පස්වරු 14.48 සෙනසුරු නැවත මකරයට පිවිසීමෙන් මෙම සැලස්මවල් අවුල් වේ. කෙසේ වෙතත් රට ගමන් කළ යුතු මාර්ගය ධර්මරාජ නොහොත් සෙනසුරු නිරවුල් කර දෙනු ඇත. 2023 ජනවාරි 17 පස්වරු 18.20ට සෙනසුරු කුම්භ රාශියට පැමිණ බලවත් වීමෙන් පසු රටට සුබ කාලයකට මාවත් එළි පෙහෙළි කරනු ඇත. රටේ ජනතාව ඒ සඳහා පෙළ ගස්වනු ඇත.

එහෙත් දැනට සෙනසුරු කුම්භයේ ගමන් කිරීම එතරම් සුබ පල නොදේ. වෙසක් පොහොය ගෙවීමට විනාඩි කිහිපයක් තිබියදී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවනු ඇත. වෘශ්චික රාශියේ විසා නැකැතේ සිවුවන පාදයේ මෙම ග්‍රහණය සිදුවේ.

චන්ද්‍රග්‍රහණයක් යනු හිරු සහ සඳු අතරට පෘථිවිය පැමිණීමයි. එනම් ඒ අතරින් පෘථිවිය ගමන් කිරීමයි. එහිදී සිදුවන්නේ, සඳු පෘථිවියට වඩා කුඩා බැවින් පෘථිවියේ සෙවණැල්ල සඳුට වැටී සඳු නොපෙනීයෑමයි. සමහර විට සඳු තද රතු පැහැයක් ගෙන බොඳවී යා හැකියි. සඳ රාහු අල්ලනවා යැයි ගැමියන් පවසන්නේ මේ සිදුවීමටයි. මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු විය හැක්කේ පුර පසළොස්වක දිනකයි.

මෙහි විශේෂත්වය වන්නේ සෙනසුරුගේ දස වැනි දෘෂ්ටියට නීච සඳු ලක් වීමයි. එනම් චන්ද්‍ර-ශනි චතුරස්‍ර තත්ත්වයක් පැවැතීමයි.

මෙම ග්‍රහ සංකලනයේ ප්‍රතිඵල ලෙස බලාපොරොත්තු රහිත හදිසි අනතුරුවලට මූණ දීමට සිදුවනු ඇත. ජල විපත් ඇතිවේ. විදෙස් කුමන්ත්‍රණවලට හසුවිය හැකිය. හොර සිල් ගත් අයගේ සිල් බිඳේ. රටේ පවතින අස්ථාවර තත්ත්වය යම් ස්ථාවර තත්ත්වයකට පත්විය හැකිය. එහෙත් එය තාවකාලික තත්ත්වයකි. ජලගැලීම් සහ සුළි සුළං නිසා රට තුළ යම් ආපදා තත්ත්වයක් ඇති විය හැකිය.

ප්‍රවීන ජේ‍යාතිෂවේදී සනත් ධර්මරාජ   

පානදුර

0716214612