හොර බ්‍රහස්පතින්දා  බෙල්ලත් කපා දමයි

0
73

ශ්‍රී  ලංකාවේ සිංහල බෞද්ධ, දමිළ හින්දු ජාතීන්ට සෑම වර්ෂයකදීම අප්‍රේල් මස නව වසරක් උදාවනු ලබයි. මෙම ජනවර්ග දෙවර්ගයම ඉතාමත් හරසරින් නව වසර පිළිගන්නා අතර ජන දෙවර්ගයම පිළිගනු ලබන්නේ පරණ අවුරුද්ද ගෙවී නව වසරක් උදා වීමෙන් සෞභාග්‍ය, සැනසීම ලැබෙන බවයි. සිංහල, දමිළ ජාතීන්ට අප්‍රේල් 14 වැනිදා නව වසරක් උදාවනු ලබන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එළැඹුණු පසුය.

ඇතැම් අය පවසන්නේ දමිළ හින්දු ජනවර්ගයට අලුත් අවුරුද්දක් එළැඹෙන්නේ ජනවාරි මස 14 වැනිදා නැති නම් තෛපොංගල් දිනයේ බවයි. එහෙත් හින්දු ජනතාව එම දිනය හඳුන්වන්නේ හිරුදෙවි වන්දනය නමිනි. එම දිනය හින්දුන් එසේ හඳුන්වා ඇත්තේ කෘෂි කර්මාන්තයට උදවු උපකාර කරනු ලබන සියලුම ජීවරාශිවලට කෘතවේදීත්වය දැක්වීම සඳහාය.  එහෙත් එහිදී ඔවුන් අලුත් අවුරුදු චාරිත්‍ර කරනු දකින්නට නොලැබෙයි.

එහෙත් හින්දුන් අප්‍රේල් මාසය එළැඹෙන විට අප්‍රේල් 14 වැනිදා පාරම්පරික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් ජේ‍යාතිෂයට අනුකූලව නැකැත් ශාස්ත්‍රයට අනුව ආගමික වතාවත් සිදුකරනු ලබයි.

හින්දු ජනතාවට ජේ‍යාතිෂය සමඟ ඇත්තේ විශාල බැඳීමකි. ඔවුනට ජේ‍යාතිෂයෙන් තොර ජීවිතයක් නැති තරම්ය. ඔවුන් අලුත් අවුරුදු නැකැත් දැනගත් පසු ඒවා ඉමහත් භක්තියෙන් පිළිගෙන නිවෙස් පවා පිරිසුදු කර අලුත් අවුරුදු උදාවීම පිළිගනිති. හින්දුන් විසින් සෑම නිවෙසකම පොල්තෙල් පහනක් දල්වා එය අසල පිරුණු දිය කළයක් තබා මකර තොරණකින් සරසාගෙන අවුරුදු උදාව ලබන තෙක් බලාගෙන සිටිති. එසේම සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවන විට හින්දු කෝවිල්වල සීනු නාද පවත්වනු ලබති. සාමාන්‍යයෙන් හින්දු ජේ‍යාතිෂයට අනුව සෑම වසරකටම වෙන් වෙන් වශයෙන් නම් දී ඇත. එක් වටයකට වර්ෂ (60) ඇත. අලුත් අවුරුදු උදාවන වෙලාව බලා එම අවුරුද්දේ ග්‍රහයන් පිහිටන ආකාරයෙන් ඒවාට එම නම් ලැබී ඇත.

සිංහල අපි පුණ්‍ය කාලය සමරනවා වගේම දමිළ මිනිසුන්ද පුණ්‍ය කාලය සමරයි. එය “විෂු’ පුණ්‍ය කාලය නම් වේ. මෙම පුණ්‍ය කාලයේදී හින්දුන් ස්නානය කරනු ලබයි. සිංහල අපි හිසතෙල් ගෑම සිදුකරන්නේ අලුත් අවුරුද්දෙන් පසු වුවත් හින්දු ආගමිකයන් හිසතෙල් ගෑම සිදුකරන්නේ පුණ්‍ය කාලයේදීමය. එය  ඔවුන් හඳුන්වනු ලබන්නේ “මරුත්තු නීර් වෙත්තු කුලිත්වාල්” යනුවෙනි. ඔවුහු දේවස්ථාන පොකුණුවල ස්නානය කිරීමෙන් පව් සෝදා හැරිය හැකි බවද විශ්වාස කරති.

අසුබ නැකැත්වලින් ඉපදුණු අයට ග්‍රහ ‍ෙදාස්වලින් මිදීමට මෙම “මරුත්තු නීර්” ස්නානය බොහෝ වශයෙන් වැදගත් වේ.

සිංහල අපි අලුත් අවුරුදු උදාවේ, ආහාර  පිසීම නැකැතටම සිදුකරන අතර දමිළ හින්දුන්ට නම් එයට නැකැතක් නොමැත. නමුත් ඔවුනට ගනුදෙනු කිරීමට නැකැතක් ඇත. හින්දුන් මුදල් හඳුන්වන්නේ ලක්ෂ්මී ලෙසය. ගනුදෙනු කිරීමට වෙලාව පැමිණෙන තුරු ඔවුන් මුදල් අතින් අල්ලන්නේ නැත. ගෘහ මූලිකයා තම බිරිය සමඟ මුලින්ම ගනුදෙනු කිරීම සාම්ප්‍රදායික සිරිතකි. ඔවුන් වට්ටියක බුලත් කොළ එළා එයට ධාන්‍ය වර්ගයක් දමා මල්, පුවක්, කෙසෙල් දමා ඒ මත මුදල්ද දමා තමාට ධන ලාභ වස්තූන් ලැබේවායි ප්‍රාර්ථනා කරයි.

පසුව ගෘහමූලිකයා බිරිය සමඟ ගනුදෙනු කරනු ලබයි. අනතුරුව නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල්වලට ගොස් සංග්‍රහ ආදිය භුක්ති විඳිති. ඔවුන් ඒවාටද නැකැත් ආදිය සකසා ගනිති. බ්‍රහස්පතින්දා, අඟහරුවාදා සහ ඉරිදා දිනවලට ඒවා සිදුනොකරයි. “කල්ල විසාලන් කලු තෛ අරුක්කුමි” යනුවෙන් ප්‍රස්තා පිරුළක්ද ගොඩනැඟී ඇති අතර එහි තේරුම වන්නේ “හොර බ්‍රහස්පතින්දා බෙල්ලත් කපා දමයි” යනුවෙනි. පුර අටවක, අව අටවක, අමාවක යන දිනයන්වලදී හින්දුන් නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ නොකරති. එයට හේතුව වන්නේ නරක වේලාවක නරක දිනයකදී නෑදෑ හිත මිතුරන්ට සංග්‍රහ කළොත් එම අවුරුද්ද පුරාවටම ඔවුන් සමඟ විරසක වී සිටීමට සිදුවන බව ඔවුන්ගේ මතයයි. තම මවුපියන්ට ගරු බුහුමන් දැක්වීම හින්දු ආගමේද සිදුකරන වැදගත් චාරිත්‍රයකි. සිංහල, දෙමළ, හින්දු අලුත් අවුරුදුවල මූලික ප්‍රාර්ථනය වන්නේද එකමුතුවයි.

ඊශ්වර, විෂ්ණු, කතරගම, සරස්වතී, ලක්ෂ්මී යන දෙවිවරුන්ට මහත් බැතියෙන් පුද පූජා පැවැත්වීම මේ ආගම් දෙකෙහිම ප්‍රධාන ලක්ෂණයකි. තවද සඳහන් කළ යුතුම කාරණයක් වන්නේ අලුත් අවුරුදු දිනය යෙදෙන දින උදෑසනින්ම නැකතකට අනුව හින්දු පවුල් තම මව, පවුලේ සාමාජිකයන් මුණගැසීමට යයි. පසුව තම මවගේ හෝ පියාගේ දෑස් තම අතින් වසා ඔවුන්ව පවුලේ දේව ප්‍රතිමාව තිබෙන තැනට කැඳවාගෙන යයි. එයට හේතුව නව වසරේ සුබ දසුනක් පළමුව පෙන්වීම සඳහාය. මෙම දේවල් දැකීමෙන් වසර පුරාවටම සෞභාග්‍ය උදාවන බව හින්දු ආගමිකයෝ විශ්වාස කරති.

අවුරුදු දිනයේදී නිවෙසේ කාන්තාවන්ට වැඩ වැඩි වේ. ඔවුන් නිවෙසේ ප්‍රධාන ‍ෙදාරටුව ඉදිරිපස කෝලම් හෝ රන්ගෝලි නමින් හඳුන්වන වර්ණවත් රටා ඇඳීම සිදුකරයි. එම කෝලම් ඇඳීමට යොදා ගන්නේ ධාන්‍ය අඹරා සකස් කර ගත් පිටි වර්ගයි. අවසානයේ එම පිටි පක්ෂීන්ට හා කෘමීන්ට ආහාරයක් වෙතැයි හින්දුහු විශ්වාස කරති.

එම කෝලම් රටා මැද තබන පහන හඳුන්වන්නේ “කුත්තු විලක්කු” නමිනි. ඉන්පසු කනි නම් චාරිත්‍රය කරති. කනි යනු සුබ දසුනයි. ඒ සඳහා රන් ආභරණ, මල්, සහල්, පලතුරු වට්ටියක් දෙස බැලීම සිදුකරයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් ‍ෙදාරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් එළියට පෙනෙන සේ එල්වා තබනු ලබයි. ඒ සෞභාග්‍ය සංකේතවත් කිරීම හේතුවෙනි.

දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. ආහාර තැබීමේදී  ඒ අසලින් කොහොඹ අතු තැබීම, නිවෙස සැරසීමට කොහොඹ අතු යොදා ගැනීම සිදුකරයි. කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමඟ මුසු කර ගැනීම මඟින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් දෙමළ ජනතාව අපේක්ෂා කරනු ලබයි.

හින්දු ජනතාවගේ අවුරුදු සිරිත් විරිත්වලත් සිංහල අවුරුදු සිරිත් විරිත්වලත් ඇත්තේ එකම තේමාවකි.  එනම් එළැඹෙන අවුරුද්ද සෞභාග්‍යවත්ව කවුරුත් සමඟ හිත හොඳින් ජීවත් වීමය. නමුත් අද නවීකරණය වූ ලෝකය සමඟ ඩිජීටල් සමාජයට අවුරුද්දේ අරමුණ අමතක වීම කනගාටුදායකය.

සචිනි බස්නායක