විෂමභාග මේ තරම් දුරක් යයි කියලා හිතුවේ නැහැ pansilu wickramarathna

0
159

කුඩා කලම රංගනයට අත්පොත් තැබූ පළමු නිර්මාණයෙන්ම ජාත්‍යන්තර සම්මානයක් දිනා ගන්නවා කියන්නේ ඔහු හෝ ඇය අති දක්‍ෂයෙකි. පන්සිළු වික්‍රමරත්න කියන්නේ ෂැන්හයි අන්තර්ජාතික සම්මාන උළෙලේදී තරගකාරී අංශයෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත ළමා නළුවෙකි. ඒ වගේම විදේශීය සම්මාන 70කට අධික ප්‍රමානයක්ද දිනාගෙන ඇති මොහු පසුගියදා Signis සම්මාන උළෙලේදීද සම්මානයට පාත්‍ර වුණා. එය පන්සිළුට මෙරටදී ලැබුණු පළමු ඇගයීම් සම්මානයද වනවා. විෂමභාග චිත්‍රපටයේ හොඳම නිර්මාණශීලී නළුවාට හිමි සම්මානය තමයි එලෙසින් ඔහු දිනාගත්තේ. ඒ නිසා මෙවර හදගැස්ම අපි පන්සිළු වික්‍රමරත්න සමඟ කතා කරන්නට අමතක කළේ නැහැ.

කොහොමද මේ දිනවලදී වැඩකටයුතු?

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන්න ඕනි නිසා අධ්‍යාපන වැඩකටයුතුවලට ප්‍රමුඛතාවක් දී තිබෙනවා.

Signis සම්මාන උළෙලේදී ලැබුණු සම්මානය ගැන කතා කළොත්?

2019 වර්ෂයට අදාළ ප්‍රතිඵලයක් විධියට තමයි 2022 Signis සම්මාන උළෙලේදී මා සම්මානයට පාත්‍ර වුණේ. මෙය ලංකාවෙන් විෂමභාග චිත්‍රපටය සඳහා ලැබුණු පළමු සම්මානයයි. මීට පෙර විෂම භාග චිත්‍රපටය සඳහා ෂැන්හයි අන්තර්ජාතික තරගාවලියේදී තරගකාරී අංශයේ හොඳම නළුවා සම්මානය මා දිනා ගත්තා. මගේ මල්ලිත් හොඳම සහාය නළුවා සම්මානයට නිර්දේශ වුණා. ඊට අමතරව විදේශ සම්මාන 70කට අධික ප්‍රමාණයක් මා ලබා තිබෙනවා. Signis සම්මාන උළෙලේදී මට ලැබුණේ හොඳම නිර්මාණශීලී නළුවාට හිමි සම්මානයයි.

ඔබට ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍රවීමට ලැබීම පිළිබඳව පැවසුවහොත්?

ඇත්තටම අපි හිතුවෙත් නැහැ විෂමභාග චිත්‍රපටය මේ තරම් දුරක් එයිද කියලා. බොහෝ වෙලාවට චිත්‍රපට සඳහා ඇගයීම් සහ සම්මාන ලැබෙන්නේ ලංකාව ඇතුළෙදී විතරයිනේ. නමුත් මල්ලිගෙයි, මගෙයි, පළමු චිත්‍රපටයෙන්ම ජාත්‍යන්තර සම්මාන ලැබීමට හැකිවීම පිළිබඳව ලොකු සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් තිබෙනවා.

ක්ෂේත්‍රයට පිවිසීමට මාර්ගය සකස් වුණේ කොහොමද?

මමයි, මල්ලියි 2012 සහ 2017 වර්ෂවල කැලැන්ඩර්වලට තෝරා ගත්තා. ඒ වනවිට අපි අධ්‍යාපනය ලැබුවේ අහුන්ගල්ල රාජපක්‍ෂ විද්‍යාලයේ. මෙහිදී අපේ සංගීත ගුරුවරිය ආදරයෙන් මතක් කරනවා. ඇයගේ නම නයනා ගෝදාහරිනි මිස්. ලලිත් රත්නායක මාමා කියන්නේ මිස්ගේ මහත්තයා වන ගෝදාහරිනි මාමාගේ හොඳ යහළුවෙක්. ලලිත් රත්නායක මාමා කරන වැඩකට නිවුන් සහෝදරයන් දෙදෙනෙක් හොයලා තිබුණා. ඒ වෙලාවේදී ගෝදාහරිනි මාමා සහ ගෝදාහරිනි මිස්ට අපි දෙන්නව මතක් වෙලා අපිට එන්න කිව්වා. ඉන්පසුව අපි ඔඩිෂන් එකට සම්බන්ධ වුණා. එහිදී නිවුන් සහෝදරයන් 70 දෙනකු අතරින් මමයි, මගේ මල්ලියි විෂමභාග චිත්‍රපටය සඳහා යොදා ගත්තා.

ඔබ පාසලේදී රංගනය විෂයක් විධියට හදාරනවාද?

ඔව්. අපි දෙන්නම රංගනය විෂයක් විධියට හදාරනවා. අපි උසස් පෙළ විෂය ධාරාවට තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ නාට්‍ය හා රංග කලාව විෂයයි.

රංගන කටයුතුවලට පාසලෙන් සහ ගෙදරින් ලැබෙන සහයෝගය කොයි වගේද?

අම්මයි, තාත්තයි අපි දෙන්නට කිසිම දෙයක් සඳහා බල කරන්නේ නැහැ මේ මේ දේවල් කරන්න කියලා. අපිට කැමැති දේ සිදු කිරීමට නිදහස ලබලා දීලා තිබෙනවා. අපේ පවුලේ අපි දෙදෙනාත් ඇතුළුව සහෝදර සහෝදරියන් හත් දෙනෙක් සිටිනවා.

ඔවුන්ද අපි දෙදෙනාට විශාල සහයෝගයක් දක්වනවා. ඊට අමතරව පාසලෙන් ගොඩක් උදවු කරනවා. ඇතැම් වෙලාවට රූපගත කිරීම් මාසයක් පමණ තිබෙනවා. එවැනි අවස්ථාවලදී මඟහැරෙන අධ්‍යාපන කටයුතු ගුරුවරු විසින් වෙනම අපිට උගන්වනවා.

ඔබ අමතර පොත්පත් කියවනවාද?

විභාග කටයුතු නිසා කියවන්න බැරි වෙනවා. නමුත් වෙලාවක් ලැබුණු වහාම ලංකාවේ සහ විදේශීය නාට්‍ය කලාව සම්බන්ධයෙන් කියවනවා. ඒ චරිත අධ්‍යයනය කරනවා. ඔවුන් රඟපාන විධිය බලනවා. ඒ දේවල් අපි රඟපානකොට වැදගත් වෙනවා.

ඔබට ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?

මින් පෙර අපි දෙදෙනා වේදිකාවකට නැඟලා ගීතයක්වත් ගායනා කරලා නැහැ. පළමුවැනි වතාවට තමයි කැමරාවක් ඉදිරිපිටදී රඟපෑවේ. ඒ නිසා මුලදී නුපුරුදු බවක් තිබුණා. නමුත් ලලිත් මාමා අපි දෙන්නව එයට හුරු කළා. ඔහු අපව කිහිප දිනයක්ම කොළඹ එක්කරගෙන ඇවිත් ඒ දේවල් කියලා දුන්නා. ඒ වගේම ජැක්සන් ඇන්තනී මාමා වැනි ගොඩාක් ප්‍රවීණයන් අපෙන් සිදුවන අඩුපාඩු මඟහරවාගෙන සාර්ථක රංගනයකට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

ඔබගේ ගමනට උදවු කළ අය ගැන මතක් කළොත්.

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වත් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානාන්ද ස්වාමීන් වහන්සේගේ මූලික සංකල්පයකට අනුව සමාජ සේවාවක් විධියට තමයි මෙය නිර්මාණය වෙන්නේ. ඒ වගේම නයනා ගෝදාහරිනි මිස් සහ ගෝදාහරිනි මාමා, ලලිත් රත්නායක මාමාවත් මතක් කරනවා. විශේෂයෙන්ම මගේ අම්මයි, තාත්තයි, සහෝදර සහෝදරයින් වගේම පාසලේ ගුරුවරුන් ඇතුළුව නම් කියූ නොකියූ සියලු දෙනාම මතක් කරනවා.

අනාගත බලාපොරොත්තුව?

අනාගත බලාපොරොත්තු කාලයෙන් කාලයට වෙනස් වෙනවා. මගේ සහ මල්ලිගේ ලොකු පරමාර්ථයක් තමයි කලාවට යම් දෙයක් කරන එක. මොකද කලාවෙන් පුළුවන්, මිනිස්සු වෙනස් කරන්න වගේම මිනිස්සු අඬවන්න සහ ඔවුන් සතුටු කරන්නත්. ඒ නිසා කලාවෙන් විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

දුමිදු ලංකා බණ්ඩාර