විකට් යද්දී හොරු අල්ලලා ක්‍රිකට්වලට සහාය දෙන Hawk eye උකුසු ඇස

0
248

මේ වෙනකොට ලොව පුරා රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රිකට් ලෝලීන් විශාල ප්‍රමාණයක් නරඹන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ භාවිත වන එක් තාක්ෂණයක් පිළිබඳව තමයි අපි අද මේ කතා කරන්න යන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වෙනකොට අනිවාර්යෙන්ම භාවිත වන තාක්ෂණයක් තමයි Hawk eye කියන්නේ. Hawk eye තාක්ෂණය සැබැවින්ම ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා නොවුණු තාක්ෂණයක් වන අතර මෙය ටෙනිස් සහ පාපන්දු ක්‍රීඩාවේදී පවා භාවිත වන තාක්ෂණයක්.

Hawk eye යන්නෙහි සාමාන්‍ය ව්‍යවහාර අරුත වන්නේ උකුසු ඇස යන්නයි. ටෙලිවිෂනය හරහා ක්‍රිකට් තරග නරඹන ඔබට නම් මෙය එතරම් නුහුරු දර්ශනයක් නොවෙයි. විශේෂයෙන්ම ඕවරයක් අවසානයේදී, පන්දු යොමු කරන්නා විසින් දැමූ පන්දු ගමන් කරන ආකාරය පෙන්වන ආකාරය මතක නම්, හයේ පහරක් එල්ල කළ පසු එය කොපමණ දුරක් ගියාද යන්න පෙන්වන ආකාරය මතක නම්, පන්දුව පිතිකරුගේ පාදයේ වැදුණු විටෙක පිතිකරු පාදයෙන් විකට්ටුව හරස් නොකළා නම් පන්දුව විකට්ටුවේ වැදී ඔහු දැවී යන්නේද නැද්ද යන්න පරීක්ෂා කරන ආකරය මතක නම්, අන්න ඒ තාක්ෂණය පිළිබඳව තමයි අපි අද කතා කරන්න යන්නේ.

Hawk eye කියන්නේ අති සංකීර්ණ මෙන්ම නවීන පද්ධතියක්. මෙහිදී සිදුවන්නේ ක්‍රිකට් පන්දුව ගමන් කරන ආකාරය ටෙලිවිෂන් කැමරා මඟින් ලබා ගත් පසු එහි ගමන් මඟ විශ්ලේෂණය කර එය ඩිජිටල් ක්‍රමයට නිරූපණය කිරීම. මේ ක්‍රමවේදයේදී පන්දුව ආ ගමන් මඟ කැමරාවෙන් පෙන්වූ පසු පන්දුවේ ඉතිරි චලනය විශේෂ ගණිතමය ආකාරයකට ගණනය කර එය එසැණින් රූප රාමුවකට ගැනීම සිදු වනවා. මෙය ක්‍රිකට් ක්‍රීඩාවේදී නරඹන්නාට නව අත්දැකීමක් එක් කරනවාක් මෙන්ම ක්‍රීඩා විස්තර විචාරයේදී මේ වනවිට බහුලව භාවිත වනවා.

2001දී හඳුන්වා දුන් Hawk Eye

Hawk Eye තාක්ෂණය මුලින්ම ලොවට හඳුන්වාදීම සිදු කරනු ලැබුවේ 2001 වර්ෂයේදීය. මෙය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ලෝක ප්‍රකට SIEMEN සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Rock Maner Research ආයතනයේ Paul Hawkins සහ David Sheriff යන ඉන්ජිනේරුවන් දෙදෙනාටය. මෙයට Hawk eye යන නම භාවිතා වන්නේ Hawk eye ගේ නම අනුවය.

ඔවුන් දෙදෙනා මෙය සොයාගත් පසු මේ සඳහා එක්සත් රාජධානියේදී පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළද පසුව එය ඉවත් කරගෙන Hawk Eye Innovations නමින් නව සමාගමක් පිහිටුවා ඒ යටතේ පවත්වාගෙන යෑමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා Sunset & Wine නම් ටෙලිවිෂන් නිෂ්පාදන සමාගමද හවුල් වී තිබෙනවා. 2011 වසරේ සිට මෙම තාක්ෂණය මුළුමුනින්ම සෝනි සමාගම සතුවනවා.

මුල් වරට භාවිතාව

Hawk eye තාක්ෂණය මුලින්ම භාවිත කිරීමේ අවස්ථාව හිමිවන්නේ Channel 4 රූපවාහිනී නාළිකාවට වන අතර එය 2001 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනි දින ලෝඩ්ස් පිටියේදී පැවති එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා යොදා ගනු ලැබුවා. එහිදී මෙම තාක්‍ෂණය යොදා ගත්තේ පන්දුව ගමන් කරන ආකාරය නැවත දක්වමින් රූපවාහිනි විස්තර විචාරය හරහා ප්‍රේක්ෂකයන්ට අසම සම අත්දැකීමක් ලබා දීමේ අරමුණිනි.

තෙවැනි විනිසුරුගේ සහායට Hawk eye

ඉන් පසුව 2008/2009 වර්ෂවලදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් මෙම තාක්ෂණය තෙවන විනිසුරුගේ විනිශ්චය සඳහාද යොදා ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ පිතිකරු කඩුල්ල මුවා කිරීමේ වරද හෙවත් LBW ආකාරයට දවා ගැනීමකදී දැවී යෑමක් ලෙස දැක්වීම හෝ දැවී යෑමක් නොවන ලෙස දැක්වීමකදී පිටියේ සිටින විනිසුරුගේ විනිශ්චය සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති විටකදී එය තෙවන විනිසුරුට යොමු කර නැවත පරීක්ෂා කිරීම සඳහායි. එහිදී පන්දු යවන්නා විසින් පන්දුව යොමු කළ පසුව පන්දුව පිතිකරුගේ පාදයේ නොවැදුණේ නම් එය විකට් එක කරා ඇදී යන්නේද සහ එහිදී විකට් ඉන්නේ ගැටෙන්නේද නොගැටෙන්නේද යන්න නිවැරදිව විනිශ්චය කරගැනීමේ හැකියාව හිමිවුණා.

මෙම තාක්ෂණය යොදා ගැනීමට ප්‍රථම තෙවන විනිසුරු විසින් මෙවැනි අවස්ථාවකදී ඔහුගේ තීරණය ලබා දුන්නේ පන්දුව පාදයේ වැදුණු ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීමෙනි. එහිදී නියමාකාරයෙන් පන්දුව විකට්ටුව වෙත ඇදී ගොස් එය දැවී යෑමක් බවට පරිවර්තනය වන්නේද නොවන්නේද යන්න පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීමේ හැකියාවක් නොතිබුණත් Hawk eye තාක්ෂණය ඔස්සේ එය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වුණා.

දැවී යෑමක් පරීක්ෂා කිරීමට පෙර පරීක්ෂා කරන කරුණු 3ක්

මේ වනවිට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමේදී තෙවැනි විනිසුරු විසින් තීරණය ලබාදීමට ප්‍රථමව Hawk eye භාවිත කරමින් කරුණු තුනක් සලකා බලනු ලබනවා.

01. පන්දුව පතිත වන එල්ලය.

02. පන්දුව පිතිකරුගේ පාදයේ වදින ස්ථානය.

03. පන්දුව පිතිකරුගේ පාදයේ නොවැදුණේ නම් පන්දුව ගමන් කරන ආකාරය දැක්වෙන ගමන් මඟ.

මේ කරුණු තුන විමසා බැලීමෙන් පසුව එය දැවී යෑමක්ද නැද්ද යන්න පිළිබඳව තීරණය ලබාදීම සිදු කරනවා.

දැවී යෑම්වලට පමණක් සීමා නොවුණ Hawk eye

මෙය හැරුණු කොට පන්දු යවන්නා පන්දුව යොමු කළ පසු එය සැබෑ වේගයෙන් පෙන්වීමෙන් පසුව පන්දු යවන්නා විසින් යොමු කළ පන්දුවල ගමන් මඟ සහ රටාව දැක්වීමටත් Hawk eye තාක්ෂණය යොදා ගනු ලබනවා. මේ හරහා විස්තර විචාරයේදී පන්දු යවන්නා යොමු කළ පන්දුවල සම්පූර්ණ වාර්තාවක් පවා විචාරය කිරීමට ක්‍රිකට් විස්තර විචාරයකයන්ට හිමි වී තිබෙනවා. මෙම විශේෂතාවලට අමතරව පන්දුවක් යොමු කළ වේගයත් ඒ වෙලේම මැන ගැනීමේ හැකියාව Hawk eye හරහා හිමිවනවා.

ක්‍රිකට්වලට සීමා නොවුණු Hawk eye

Hawk eye ප්‍රථමයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හඳුන්වා දුන්නද 2006 වර්ෂයෙදී ටෙනිස් ක්‍රීඩාවටත්, 2011 වර්ෂයේදී එංගලන්ත පාපන්දු ලීග් තරගාවලියකටත් යොදා ගැනීම සිදු කෙරුණා. එම ක්‍රීඩා දෙකේදීම ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගන්නා Hawk eye එකට වඩා වෙනස්කම් සිදු කරන්නට වූයේ ඒ ඒ ක්‍රීඩාවලට එම තාක්ෂණය භාවිත කළ යුතු ආකාරය එකිනෙකට වෙනස් වන බැවිනි.

ශෙනායා හේවාගම