මැගලන්ගේ   රත්රන් සොයා ගිය Uncharted

0
635

රත්රන් ගැන කතන්දර කෝටියයි. මතකයිද විරාගයේ අරවින්ද රත්රන් හදන්න ගිහින් අහගත්ත බැනුම් ගෝනිය. එක්තරා මතයක් තියෙනවා මිනිස්සු කියන්නේ රත්රන් කැණීම සඳහා පිටසක්වළකින් මේ ලෝකයට ගෙනල්ල දාපු ජීවීන් කොට්ඨාසයක් කියලා. රත්රන් වෙනුවෙන් මිනිස්සු මරාගත්ත මරාගැනීම් ගැන බලා ගන්න එලීනා කාටන්ගෙ ලුමිනරීස් (The Luminaries) පොත කියවන්න වෙනවා. මේකත් රත්රන් කතාවක් තමයි, ඒත් ටිකක් වෙනස් විදිහේ කතාවක්.

Uncharted කියන සිනමාපටය නිකුත් වුණේ ගෙවී ගිය පෙබරවාරියේ 18 වැනිදා. මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Ruben Fleischer. ඔව් Venom සිනමාපටයේ අධ්‍යක්ෂවරයම තමයි. මේ සිනමාපටය නිර්මාණය වෙන්නේ PS Game එකකින්. මේ ගේම් එක නිෂ්පාදනය කරන්නේ Noughty Dog කියන සමාගම. මේ විධිහට Unchartedවල නිර්මාණ පහක් වගේ එළියට ඇවිත් තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන්නේ නේතන් ඩේ්‍රක්. Tom Holland තමයි ඒ චරිතයට පණ පොවන්නේ. ඒ වගේම අනෙක් චරිත දෙක වන සලීගේ චරිතයට Mark Wahlberg සහ ක්ලෝයිගේ චරිතය වෙනුවෙන් රඟ දක්වන්නෙ Sophia Ali. ඒ වගේම සුපිරි නළු ‘Antonio Banderas’ මෙහි සන්තියේගෝගේ චරිතයට පණ පොවනවා. ස්ටීවන් ස්පිල්බර්ගේ Indiana Jones බලපු කවුරු වුණත් දන්න දෙයක් තමයි පුරාවස්තු සොයා යෑම. 1985 ආපු The Goonies මතකද? ඒකත් මේ වගේම තමයි. Unchartedමේ සිනමාපට යුගලයට හරිම සමීප අමුතුම රසයක් ලබා දෙන සිනමා පටයක්. මේ අමුතු දේවල් සොයාගෙන යන එක දඩයම් යුගයෙදි මිනිස්සුන්ට ලැබුණු උරුමයක්. මෙහෙම නිර්මාණය වුණු ගොඩක් සිනමාපට ගැන ඕන තරම් කතා කරන්න පුළුවන්. ‘Uncharted’ සිනමාපටයට පාදක වෙන්නේ රසවත් කතන්දරයක්.

සෑම් කියන්නේ නේතන්ගේ සහෝදරයා. මේ දෙන්න වෙන්වෙන්නේ සෑම් මැගලන්ගේ පළමු සිතියම හොරකම් කරන්න ගිහින් කෞතුකාගාර ආරක්ෂකයන්ට හසුවීමත් සමඟ. එදා සෑම් නේතන්ගෙන් සමුගන්න වෙලාවෙ එයාට දෙනවා තෑග්ගක්, ඒක මුද්දක්. ඒ මුද්දේ කතන්දරය දැනගන්න නම් දෙවැනි චිත්‍රපටය වෙනකල් ඉවසීමෙන් ඉන්න කියලා කියන්න වෙනවා. සෑම් එකපාරටම අතුරුදහන් වෙනවා. අවුරුදු පහළොවකට පස්සේ නේතන්ට මුණගැහෙනවා සුලීව. සුලී කියන්නේ සෑම්ගේ සගයෙක්. නේතන් හා සෑම් අතර ඒ වනවිටත් අමුතු විදිහේ තැපැල්පත් මාරුවක් සිදුවනවා. ඒ තැපැල්පත් තුළ සැඟවිලා තියෙන්නේ නේතන් තමන්ගේ ක්‍රියාන්විතයන්වලදී සිදු කරන්න ඕනේ දේවල්. ඒක තේරෙන්න නේතන්ට ගොඩ කාලයක් යනවා. සුලී සහ නේතන් මැගලන් සහ මැගලන්ගේ කාර්ය මණ්ඩලය සඟවපු රත්රන්  සොයා යන්න එකතු වෙනවා.  ලෝක ඉතිහාසයේ ගවේෂකයන්ට ලැබෙන්නෙ ඉහළම තැනක්. ඇත්තටම මේ ගවේෂණයන් සිදු වුණේ නැත්නම් අද ලෝකය මේ විදිහට එකෙනෙකා දැනගන්නෙ නෑ.

එක එක රටවල් වෙන වෙනම හුදෙකලා වුණු ලෝකයක් වෙනුවට අද තියෙන මනා සම්බන්ධතාවක් තිබෙන ලෝකය ගොඩනැඟුණේ ඔවුන් නිසා. මැගලන් උපදින්නේ පෘතුගාලයේ. ස්පාඤ්ඤය, ඕලන්දය, පෘතුගාලය වගේ රටවල පාලකයො මේ දේශගවේෂණයන් සඳහා බරපතළ විදිහෙ ගැටුමක් ඇති කරගන්නවා. මැගලන් කියන්නේ සයුරු තරණය පිළිබඳව දරුණු සාපිපාසාවකින් පිරුණු කෙනෙක්. ධනවත් බව බලවත් බව පිළිබඳව වහවැටුණු මැගලන්ට ඕන වෙනවා ලෝකය ජයගන්න. මැගලන් ස්පයිස් අයිලන්ඩ් නම් ඉන්දුනීසියාව අසබඩ නාඳුනන දූපතක් පිළිබඳව රජයට උනන්දුව ඇති කරනවා. කොන්ස්තන්තිනෝපලය තුර්කීන් සතු වුණාට පස්සෙ කුළුබඩු කියන්නේ මොන වගේ වටිනා දෙයක් බවට පත් වුණාද කියලා දන්නවනේ.

ස්පයිස් අයිලන්ඩ්ස් වෙත යන ගමන අතිශයින් දුෂ්කර වූවක්. එවකට සොයාගෙන තිබූ මුහුදු මාර්ගයට අනුව ඉන්දුනීසියාව කරා ළඟා විය යුතු වුණේ යුරෝපයේ සිට අප්‍රිකාවටත්, එතැන් සිට ඉන්දියාවටත්, නැඟෙනහිර ආසියා කලාපයටත්, අවසානයේ ඉන්දුනීසියාව සහ ස්පයිස් දූපත්වලටත් ලෙසය. මේකට කිව්වෙ නැඟෙනහිරදිග මුහුදු මාර්ගය කියලා. මේ මාර්ගය ඔස්සේ ගමන් කරන්න ගිය නැව්වලින් ඉතා සුළු පිරිසක් තමයි තමන්ගේ මවු රටේ අසිරිය බලාගන්න ආයිත් ආවේ. ඉතින් නේතන්ට සහ සුලීට මුහුණ දෙන්න වෙන්නෙත් ඒ වගේ ගමනකට. මේ කාර්ය ඉටුකරන්න කලින් පළමු මෙහෙයුම වෙන්නෙ රත්රන් කුරුසයක් වෙන්දේසියකින් හොරකම් කරන එක. නේතන්ගේ සහ සුලීගේ ප්‍රතිවාදියා වෙන්නේ සන්තියාගෝ මොන්කාඩා.

මොන්කාඩා පවුල කියන්නෙ මැගලන්ගේ ගවේෂණයන්ට අරමුදල් සැපයූ පිරිස. ඒ පවුලෙ අවසාන පුරුක තමයි සන්තියාගෝ කියන්නෙ. මැගලන් සහ ඔහුගේ පිරිස සඟවපු තමන්ගේ උරුමය සොයා ගැනීම තමයි සන්තියාගෝගේ එකම අරමුණ. මේ දෙපිරිස අතර ඇතිවෙන ගැටුම සහ ගවේෂණයේ වීරත්වය සමඟ තමයි මේ කතාව ‍ෙදා්ලනය වෙන්නේ. සන්තියෝගෝ අවසානයේ රත්රන් ටික හොයාගනීද, නැත්තන් නේතනුයි සුලීයි ඒක සොයාගනීද. ෆර්ඩිනනේ රන් නැව්වල තිබෙන්නේ රත්රන්ද? නැත්නම් කුරුඳුද? මේ හැමදේම හොයා ගන්න උදවු වෙන ජුවාන් සෙබස්තියන් එල්කානෝගේ දින පොත ඔවුන්ව නොමඟ හරිනවද? බලන්න රූබන් ෆ්ලෙෂර්ගේ Uncharted.

ගිහාන් සචින්ත