මවකගේ සිතුවිලි ගැන ගැයෙන නෙතුපියන් යටම

0
334

“නෙතුපියන් යටම” ගීතය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

 ගීතය එළිදක්වලා ලොකු කාලයක් ගත වුණේ නැතත් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගීතයේ පද රචනය, සංගීතය සහ ගායනය පිළිබඳව හොඳ ඇගයීමක් ලැබුණා. ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා.

මෙම ගීතය නිර්මාණය වෙන්නේ කොහොමද?

මිනිසුන්ගේ රසවින්දනය වෙනුවෙන් හොඳ නිර්මාණයක් කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා. ඒ අදහස මත මම තරින්ද ගුණවර්ධනට කතා කරලා කිව්වා අලුත් ගීතයක් කරන්න ඕනෑ කියලා. ඉන් පසුව ඔහු විසින් රචනා කළ ගීත කිහිපයක්ම මට ලබා දුන්නා. මම ඒ අතරින් “නෙතුපියන් යටම” ගීතය තෝරාගත්තා. තරින්ද ගුණවර්ධනගේ පද රචනයට විශාරද මාලක රත්නායකයන් විසින් තනු නිර්මාණය කළා. ඒ විධියට තමයි ගීතය නිර්මාණය වූයේ.

ගීතයේ පසුබිම් කතාව ගැන කතා කළොත්?

අපි බොහෝ වෙලාවට අහන්නේ, දකින්නේ අම්මාගේ ගුණ වර්ණනාවන් ගැන. නමුත් ඇයගේ සිතුවිලි මොන වගේද, ඇයට දේවල් දැනෙන්නේ කොයි විධියටද කියන කාරණය ගැන ගීතයක් හරහා අහන්න ලැබෙනවා අඩුයි. මෙම ගීතයේදී අම්මා කෙනෙක්ගේ සිතුවිල්ලක් පිළිබඳව තමයි පද රචනය කරලා තිබෙන්නේ. දරුවෝ උස්මහත් කරලා ඔවුන් ඔවුන්ගේම ලෝකයක් සොයාගෙන දුරබැහැරට ගිහින් විවාහ වෙලා, දරුමල්ලෝ එක්ක, රැකියාව එක්ක කාර්යබහුල වෙලා සිටින විට අම්මා කෙනෙක්ට ඒ දුරස්වීම දැනෙන විධිය තමයි මේ ගීතයෙන් කියැවෙන්නේ. ඇය තවමත් බලා සිටිනවා දරු මුනුපුරෝ එනතුරු. මෙය සමාජයට හොඳ පණිවිඩයක් වේවි කියලා මම සිතනවා.

මොනවද ඉදිරි සැලසුම්?

තවත් ගීත කිහිපයකම වැඩකටයුතු කරගෙන යනවා. ඒවා ඉදිරියේදී ප්‍රේක්ෂකයාට රසවිඳින්න අවස්ථාව ලැබේවි.

පවුලේ විස්තර?

මගේ පවුලේ සිටින්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මම විවාහකයි. මගේ සැමියා චන්දන සුසිල ලංසකාර. මගේ දුව සහ පුතා පාසල් වියේ පසුවෙනවා. ඔවුන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ වැඩකටයුතුවලට.

නිකේෂලා රණතුංග