මම මේ දවස්වල ඉන්නේ ගේමෙම තමයි Janith Wickramage

0
169

කොහොමද මේ දවස්වල?

මේ දවස්වල මම ‘ගේමේ’ තමයි ඉන්නේ. ඒ කියන්නේ The Game ෆිල්ම් එකේම වැඩත් එක්කම තමයි මේ දවස්වල ගෙවෙන්නේ. ඊට අමතරව තිබෙන වැඩ කරගෙන ශේප් එකේ, සතුටින් සමාදානයෙන් ඉන්නවා.

ඔබ රංගනයෙන් දායක වූ ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙන “The Game” චිත්‍රපටය පිළිබඳව කියමු?

බොහෝ බලාපොරොත්තු තබාගෙන සහ බොහොම මහන්සිවෙලා කරපු චිත්‍රපටයක්. කොවිඩ් වසංගතයත් හා පවතින අර්බුදය තත්ත්වයන් සමඟ අවසානයේදී අපේ චිත්‍රපටයට ප්‍රදර්ශනය කිරීමට දින නියම කරලා තිබෙනවා. මැයි මාසයේ 20 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිතව තිබෙනවා. තිරගත කිරීම සඳහා ඉතා දැවැන්ත සිනමා ශාලා ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. අපිට විතරක් නොවෙයි ප්‍රදර්ශකයන් ඇතුළු සියලු දෙනාට සහ සිනමාවට, හොඳ ධනාත්මකව යොදාගන්න පුළුවන් චිත්‍රපටයක් ලෙස “The Game” චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. ඒ ගැන බොහෝම සන්තෝසයි.

ඔබට රංගන සහ නිවේදන ජීවිතය ගොඩනඟා ගැනීමට ඔබේ පවුල් පසුබිම ආධාරකයක් වුණාද?

කවුරුත් නිර්මාණවලට එහෙම සම්බන්ධ කර ගන්නේ නැහැ. මුලදී අපට හිතන්න පුළුවන් එක නිර්මාණයකට සල්ලි දීල හරි හිතවත්කමක් නිසා සම්බන්ධ කරගන්නවා කියලා. නමුත් දීර්ඝ කාලීනව එහෙම කරන්න බැහැ. කෙනෙක්ව නිර්මාණයකට දායක කරගන්නෙම එයාට රඟපාන්න පුළුවන්ද, එයාව ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙනවද හා Channelsවලින් ඉල්ලුමක් තිබෙනවද වගේ බොහෝ කාරණා සැලකිල්ලට ගෙනයි. ඒ නිසා ඔය කතාව එහෙම අර්ථකථනය කරන්න බැහැ. නමුත් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමේදී නවකයෙක් ලෙසම සම්බන්ධ වීමට වඩා මවුපියන් ක්ෂේත්‍රයට සම්බන්ධ වී තිබීම තුළ යම් සහයෝගයක් ලැබෙනවා තමයි. නමුත් පසුකාලීනව රඳා පවතින්නේ ප්‍රේක්ෂකයාගේ අවධානය තිබෙන්න ඕන. ඒ මත තමයි තමයි මෙයාව තවදුරටත් තබා ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

රටේ පවතින ප්‍රශ්න සමඟ සමාජ මාධ්‍ය තුළ ඔබ විශාල හඬක් නඟනවා. රටේ පවතින තත්ත්වය සහ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

කලාකරුවෙක් විදිහට මම කිසිම කෙනෙක්ගේ පක්ෂයකට අදාළ නැහැ කියන එක තමයි මුලින්ම කියන්න ඕනේ. කිසිම දේශපාලන පක්ෂයක් ගැන මට සහතිකයක් දෙන්න බැහැ. මේ අය හොඳයි, මේ අය මෙහෙමයි කියල මට කියන්න බැහැ. නමුත් මට මනුෂ්‍යයෙක්ව බ්භඤඨඥ කරන්න පුළුවන්. පසුගිය අවුරුදුවල සහ මෑත ඉතිහාසයේ දේවල් මත පදනම්ව ඒ කෙනා හොඳයිද නැද්ද කියන්න හැකියාවක් තිබෙනවා. මම කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැහැ. මනුෂ්‍යයකු විදිහට මේ වෙන දේවල් බලාගෙන ඉන්න බැහැ. පුළුවන් සෑම විදිහටම ඒ වෙනුවෙන් හඬක් නඟන්න උත්සාහ කරන්නේ එම නිසයි.

රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ කලාවට ඇති බලපෑම සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

මේ ප්‍රශ්නය හැම වෘත්තියකටම බලපෑමක් තිබෙනවා. කලාවට විතරක් විශේෂයෙන් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි සිනමාව තුළ සමහර කෙනෙක් අහන්න පුළුවන් “The Game” චිත්‍රපටය මේ වෙලාවෙ ප්‍රදර්ශනය කිරීම හොඳද කියලා. එහෙම හිතන එක වැරදියි. මොකද මේ චිත්‍රපටය අධික පිරිවැයක් දරපු චිත්‍රපටයක්. ඒකත් එක්කම මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තීරණය කළෙත් analysis එකකින් පස්සෙ. පසුගිය කාලයේ තිරගත වුණ ආශාවරී සහ ‘Happy Birthday’ චිත්‍රපට ඉතා හොඳින් තිරගත වුණා. නමුත් ඔබ කියන දේ ඇත්ත තමයි. මේක හැමෝටම බලපානවා. වෙනදට ‍ෙදාළොස්දෙනෙක් චිත්‍රපටය බලන්න එනව නම් අද දහයක් එන එක ඇත්ත. නමුත් දෙන්නෙක් එන මට්ටමට අඩු වෙලා නෑ. ප්‍රේක්ෂකයන්ට ticket එකක් අරගෙන hall එකට ගිහිල්ලා film එක බලන්න අමාරුයි. හැබැයි බලන කෙනා කොහොම වුණත් බලනවා. හොඳ නිර්මාණයක් අනිවාර්යෙන්ම බලනවා. මේ වගේ වෙලාවකදී මිනිස්සු තමන්ගේ පීඩනය අඩු කරගන්න තමන් කැමැති සින්දුවක් අහන්න හරි තමන්ගේ පවුලේ අයත් එක්ක කාලෙ ගත කරන්න හරි සිනමා ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටයක් නරඹන්න හරි කාලේ වෙන් කර ගන්නවා.

ජනිත් වික්‍රමගේ කියන රංගන ශිල්පියා, නිවේදන වෘත්තියටම කොටු වෙලා යැයි මම චෝදනා කළොත්?

නැහැ. එහෙම නැහැ! මම ඇත්තටම නිවේදකයෙක් ලෙස මම හඳුන්වා ගන්නේ නැහැ. මම programmes ඉදිරිපත් කරන්න presenter කෙනෙක් විතරයි. ඇත්තටම නිවේදන වෘත්තිය කියන්නේ විශාල පරාසයක් සහිත බැරෑරුම් විෂයක්. මම කරන්නේ මගේ voice එක පාවිච්චි කරලා නිකන් වචන ටිකක් කියන එක විතරයි. ඉතින් ඒකට නිවේදනය කරනවා කියලා කියන්න බැහැ. මම මගේ personality එක චැනල් එකක් තුළින් promote කරනවා. හුඟාක් වෙලාවට නළුවෝ පාවිච්චි කරන්නේ ඒ දේවල්වලටයි. නළුවාගේ personality එක තුළින් වැඩසටහන promote කිරීම තමයි කරන්නේ. ඒක තුළ මම enjoy කරනවා. ඒක නිසා තමයි මම presenter කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඒ ඇරුණම මම මහා ලොකු නිවේදකයෙක් නෙවෙයි.

ඔබ ටෙලි නාට්‍ය සඳහා දායක නොවෙන්නේ ඔබගේ choice එකට ගැළපෙන නාට්‍ය නැති නිසාද? නැතිනම් පෞද්ගලික හේතූන් මතද?

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න වගයක් තිබෙනවා. තිබෙන budget එකත් එක්ක, ගන්න කාලය සහ කොයිතරම් දුරට නිර්මාණාත්මකව වැඩක් කරනවාද කියන එක ප්‍රශ්නයක්. හොඳට කරන වැඩ තියෙනවා. නමුත් එහෙම වැඩ ඉතා අල්පයි. නළුවකුගේ අවසාන බලාපොරොත්තුව විශේෂයෙන්ම මගේ බලාපොරොත්තුව සිනමා නළුවකු වීම. මගේ වයසත් ගෙවෙමින් තිබෙනවා. ඒ නිසා වැඩි බරක් සිනමාවට දෙන්න තමයි මගේ ආසාව. මම කරන්න කැමැති සිනමා නිර්මාණ කරමින් ඉදිරියට යන එක. හොඳ ටෙලි නාට්‍ය නිර්මාණයක් ලැබුණොත් මම වැඩ කරන්න පුළුවන්. දීර්ඝ කාලීන ටෙලි නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක්  නෑ.

ඔබගේ ඉදිරි වැඩ ගැන සඳහන් කළොත්?

මේ අවුරුද්දේ චිත්‍රපට දෙකක රූගත කිරීම් කරන්න තිබෙනවා. ඒවා ඉතා බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපට දෙකක්. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒ පිළිබඳව ප්‍රේක්ෂකයාට දැනගන්න පුළුවන්. The Game චිත්‍රපටය වගේම ඉතාමත් හොඳ change එකක් බලාගන්න පුළුවන් චිත්‍රපට දෙකක්. මම කරපු පළමුවැනි නිර්මාණයට වඩා ඊළඟ නිර්මාණය හොඳ නිර්මාණයක් කරන්න මම මහන්සි වෙනවා. ඉදිරියේදී ඒ චිත්‍රපට බලාගන්න පුළුවන්.

මං කවදාවත් මගේ ප්‍රේක්ෂකයන්ට බොරු කියපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට කියන්න තිබෙන්නේ රෂ් චිත්‍රපටය කොයිතරම් දුරට ඔබ enjoy කළාද ඊටත් වඩා සිය ගුණයක් මගේ චරිතය සහ මේ චිත්‍රපටය විඳිනවා කියලා මම හොඳටම දන්නවා. ඒ නිසා සිනමා ශාලාවට ඇවිල්ලා චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න.

රමෝද් ජයවර්ධන